දකුණු ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයන් දේවත්වයෙන් පවා අදහන ආසියාවේ වැඩිම ආදායමක් උපයනු ලබන රංගන ශිල්පින් අතර ඉහලම ස්ථානයක වැජඹෙන රජිනිකාන්ත් දේශපාලන වේදිකාවට ගොඩ වන බව ප්‍රකාශ කර තිබේ.
කොලිවුඩ් සිනමාවෙන් සිය ගමන ඇරඹු 67 හැවිරිදි සිනමා තරුව මීළඟ ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයට පෙර “තමාගේම දේශපාලන පක්ෂයක් පිහිටුවීම” සිය අරමුණ බව පවසා ඇත.
“පවතින ක්‍රමය වෙනස් කිරීම සිය රාජකාරිය බව” චෙන්නායි නුවර පැවති රැස්වීමක් අතරතුරදී 31 ඉරිදා රජිනිකාන්ත් සඳහන් කළේය.
තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් පසුගිය වසරේදී ජිවිතක්ෂයට පත් වීමෙන් පසු එම ප්‍රාන්තය දේශපාලනික වශයෙන් පවතින්නේ අස්ථාවර මට්ටමකය.
රජිනිකාන්ත්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගී වූ රැස්වීමේදී ඔහු ප්‍රකාශ කර තිබුනේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන 234 සඳහාම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමන් සැලසුම් කර සිටින බවයි.
“මෙම තීරණය මම දැන් නොගත්තා නම් ඉන් සිදුවන වරද මගේ ජිවිත කාලය පුරාම මා පසුපස පැමිණේවි. තනතුර හෝ මුදල් වෙනුවෙන් මා මෙම තීන්දුව ගත්තේ නැහැ. මට ඒවා ඕනෑ තරම් තියෙනවා. ”
රජිනිකාන්ත්ගේ මෙම තීරණය ඔහුගේ සිනමා රසිකයන් කුල්මත් කිරීමට සමත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.