දශක තුනහමාරකට ආසන්න කාලයක් කලාවේ රැඳී සිටි අනුර ශ්‍රීනාත්ගේ කලා දිවිය සමරමින් ඔහු වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උපහාර උලෙළක් මෙම මස 07 වැනිදා සවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පවත්වනු ලැබේ.
මෙහිිදී අනුර ශ්‍රීනාත් හට අතහිත දුන් කලාකරුවන් 25 දෙනෙකුට උපහාර සම්මාන පිදීමක් ද සිදු කෙරේ. එයට අමතරව තෝරා ගත් පාසල් දරුවන් 35 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමක් ද සිදු කෙරෙනු ඇත. අනුරගේ තිස්පස් කලා දිවිය හි මතක සැමරුම් අළලා සම්පාදනය කළ සුන්දර 35 සඟරාව ද මෙදින එළිදැක්වේ.
ඔහු ලියූ, ගැයූ ළමා ගීත ඇතුළත් සමනලයෝ රූප සංයුක්ත තැටිය ද මෙදින ජනගත කෙරෙනු ඇත. 1982 වසරේ අහස කඩා වැටේ වේදිකා නාට්‍ය සමඟින් වේදිකාවට පිවිසි අනුර අනතුරුව හීන්සැරය ඇතුළු වේදිකා නාට්‍ය හැත්තෑ පහකට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය සපයා තිබේ.
ක්‍රිස්තු චරිතයෙන් ඇරැඹි ඔහුගේ සිනමා චාරිකාව මධුර චාරිකා දක්වා විහිද වූයේ චිත්‍රපට විසි පහකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායකවෙමිනි. ටෙලි නාට්‍ය සියයකට අධික ප්‍රමාණයකට විවිධ චරිත ඔස්සේ අනුර ශ්‍රීනාත්ගේ හැකියාව අපට දැක බලා ගත හැකි විය. ඔහුගේ මෙම උපහාර උලෙළ සුන්දර අසූවේ සහෘදයින්ගේ එකමුතුව මඟින් සංවිධානය කෙරෙන්නකි.
සරසවිය