ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ රටම දන්නා කලාකරුවන් දෙදෙනෙක්. මේ අයගේ බාල දියණිය තාරුකී අමායා පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. මෙතෙක් කල් තමන්ගේ සෙවනේ හැදී වැඩුණු ආදරණීය දියණිය තමන්ගේ කැදැල්ලෙන් මිදී වෙන්ව යාම ගැන ශ්‍රියන්ත අපත් සමග කිව්වේ මේ වගේ කතාවක්.
තාරුකීගේ අතගත් මනාලයා ගැන මුලින්ම විස්තර කීවොත් ?
ඒ පුතාගේ නම ෂෙහාන් පෙරේරා. එයා ව්‍යාපාරිකයෙක්. යෝජිත විවාහයක් තමයි සිදුවුණේ. හැබැයි දෙන්නා අවුරුදු 5 ක් විතර ඇසුරු කරලා තමයි විවාහ දිවියට එළැඹුණේ.
මංගල දිනයේදී මනාලයාගේ තාත්තා පුතාට වටිනා බෙන්ස් රථයක් තෑගි කළාලු නේද?
පුතාගේ උපන්දිනය තිබුණේ ජනවාරි 4 වැනිදා. ෂෙහාන්ගේ තාත්තා ශාන්ත පෙරේරා විසින් පුතාට වටිනා බෙන්ස් රථයක් තෑගි කළේ උපන්දිනයට තෑග්ගක් විදියටයි. මේ තෑග්ග දෙනතුරුම ඒක රහසක් විදියට ඒ අය තබා ගත්තේ හැමෝම පුදුම කරන්නත් එක්කයි. මංගල දිනයේදීම තමයි පුතාට මේ තෑග්ග දුන්නේ.
ෂෙහාන්ගෙයි තාරුකීගෙයි මංගල්‍යය වෙනුවෙන් උත්සව කීපයක්ම පැවැතුණා නේද?
ජනවාරි 4 වැනිදා කිංස්බරි හෝටලයේ මංගල උත්සවය පැවැත්වුණා. දෙදෙනාම කතෝලික හින්දා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ පල්ලියේ පූජාව පවත්වලා තමයි මංගල උත්සවය ආරම්භ කළේ. කාදිනල් මැල්කම් රංජිත් පියතුමා තමයි පූජාව කළේ. 7 වැනිදා හිල්ටන් හෝටලයේදී දෙවැනි ගමනේ උත්සවය පැවැත්වුණා. පුතාගේ පළාතේ අයට 10 වැනිදා වෙන්නප්පුව ගංගාර හෝටලයේ තවත් දෙවැනි උත්සවයක් පැවැත්වූවා. 11 වැනිදා අපි දුවව මනාලයාගේ නිවසට භාර දුන්නා. 12 වැනිදා ඒ අය අපේ නිවසට ආවා.
මංගල්‍යයට නංගිව සැරසුවෙත් අක්කා කියලයි ආරංචි ?
ඔව්. ලොකු දුව නිපුනිගේ “නියන්දී බයි නිපුනි” එකෙන් තමයි මනාලියගේ ඇඳුම් නිර්මාණය කළේ. නාමල් බාලචන්ද්‍ර මනාලයාගේ ඇඳුම් නිර්මාණය කළා. මල් සැරසිලි කළේ ලස්සන ෆ්ලෝරා ආයතනයයි. සංගීතය සැපයුවේ මහේෂ් දෙණිපිටියයි.
විවාහයෙන් පස්සේ තාරුකී කලා කටයුතුවලින් ඈත්වෙයිද?
දුවලා දෙන්නම රඟපාන්න ආවේ නැහැ. ඒත් තාරුකී නම් හඬ කැවීම් ශිල්පිනියක් වුණා. “චන්ද්‍ර නන්දනී” ටෙලි නාට්‍යයේ “නන්දනීට” හඬ සපයන්නේ තාරුකී. එයා දිගටම ඒ කටයුතු කරයි. ෂෙහාන් පුතත් කලාවට ආසයි. එයා “රාස්ස පරාස්ස” නිෂ්පාදනයට එකතු වුණා.
දැන් ශ්‍රියන්තයි කුසුමුයි කැදැල්ලේ තනි වෙනවා. ඒ තනිකම දරාගන්න පුළුවන් වෙයිද?
දුවලා හැදුවම පිටට දෙන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒත් දුවලා දෙන්නාගෙම ජීවිත සාර්ථකයි. ඒ ගැන අපි දෙන්නාටම සතුටුයි. ලොකු දුව දැන් බොරලැස්ගමුවේ. එයාට අවුරුදු 4ක චූටි දුවක් ඉන්නවා. එයා ගාබ්‍රියෙලා. පුංචි මිනිපිරි නම් රඟපාන්න දක්ෂ බව පෙනෙනවා. සමහර විට ඉදිරියෙදී සීයගෙයි ආච්චිගෙයි අඩිපාරේ යයිද දන්නෙත් නැහැ.
චන්ද්‍රලතා තන්ත්‍රිගේ