කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලිහිල් කරනු ලැබු ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නැවත හකුලාගන්න කටයුතු කිරීම විහිළු සහඟත බව වේදිකා නාට්‍ය රංගනශීල්පිනියක් හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන ලංකා බණ්ඩාරණායක පවසයි.
ඇය මේ බව සඳහන් කර සිටියේ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වෙලාව සංශෝධනය කරමින් මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්බන්ධව අදහස් දක්වමින්ය.
වැඩිදුරටක් ඇය දැක්වූ අදහස් පහතින්,
කාන්තා නියෝජනය සියයට විසිපහක් වැඩි කරන්නට සූදානම් වන මොහොතක, කාන්තාවන්ට තීරණ ගැනීමේ අයිතිය ලබාදෙමින් රටේ පාලන තන්ත්රයට සම්බන්ධ කරගන්න උත්සාහ කරමින් ඉන්න මොහොතක ජනාධිපති කාන්තාවන් වෙනුවෙන් තීරණ ගන්නවා. මේක මිනිසෙකුගෙ මූලික අයිතිවාසිකමක්. රටේ කාන්තාවන් කනව බොනවා වගේ දේකදිත් තීරණ ගන්නෙ ජනාධිපතිවරයා නම් ඇයව පාලන තන්ත්රයට කාන්තාවන් සම්බන්ධ කර ගන්නව කියන එක මාර අභියෝගයක් වෙනවා. ඇත්තටම මේ කරමින් ඉන්නෙ සම්පූර්ණ විහිළුවක්.
කාන්තාවන්ගෙන් සියයට විසිපහක් පාලන තන්ත්රයට සම්බන්ධ කරගන්න මේ ක්‍රියාවලිය ස්වාභාවිකව හැදුන එකක් නෙවෙයි කියල අපි හැමෝම දන්නවා. ස්වාභාවිකව සමාජය චලනය වීමත් එක්ක කාන්තා අයිතිවාසිකම් ලැබිල මේ විසිපහේ නියෝජනය හැදුනෙ නෑ. ඒක බලහත්කාරයෙන් කරන විකෘති ක්‍රියාවලියක්. එහෙම වෙද්දි මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියන අභියෝගයත් කාන්තාවන්ට තියෙනවා. මොකද සිංහල බෞද්ධ පසුබිමත් එක්ක කාන්තාවට එරෙහි ලොකු ප්රතිවිරෝධයක් තියෙනවා. මේ සමස්ථ ක්‍රියාවලියම හරිම තීරණාත්මකයි. ඒ වගේම විහිළු සහගතයි.
ජනාධිපතිවරයා තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. ඔහුගෙ කාර්යභාරය වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව කටයුතු කරල රටේ දියුණුවට වැඩ කරන එක. මෙතනදි කාන්තාවන්ට ලැබුණ රැකියා අවස්ථාවනුත් අහිමි වීමක් වෙනවා. කොහොමත් අපේ රටේ කාන්තාවන්ට කළ හැකි රැකියා කියල බෙදීමක් කරලනෙ තියෙන්නෙ. සමාජීය වශයෙනුත් කාන්තාවන්ට කළ හැකි යැයි සම්මත කරගත්තු රැකියා සමූහයක් තියෙනවා. ඒ කැටකැරියෙන් පිට කාන්තාවන්ට රැකියාවකට යන්න තියෙන ඉඩ සමාජීය වශයෙන් මෙන්ම දේශපාලනික වත් ඇහිරිලා තියෙනවා.
මේ පනතේ වගන්ති අහෝසි කිරීමත් එක්ක කාන්තාවන්ට බාර් එකක රැකියාව කරන්න අවස්ථාව තිබුණා නම් ඒ අවස්ථාව අහිමිවෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් අහිමි කරන්න ජනාධිපතිවරයා මැදිහත් වීම තුළ කාන්තා අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා. සැබැවින්ම කාන්තාවන් කළ යුතු රැකියාව මොකක්ද කියන එක සමාජය හෝ රටේ ජනාධිපතිවරයා තීරණය කළ යුතු නැහැ. ඒක තීරණය කළ යුත්තේ කාන්තාව. ඇයට ඒ නිදහස් චින්තන අයිතිය හිමිවිය යුතුයි. ඒක එහෙම නොවෙයි නම් මේ සමාජයේ මිනිසකු විදියට ඇයට තියෙන අයිතීන් උල්ලංඝනය කිරීමක් .
දිල්