අජිත් ගලප්පත්ති විසින් රචනා කළ “ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම” නම් පර්යේෂණ ග්‍රන්ථය දේශීය සිනමාවට වසර 71 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46 ක් පිරිම නිමිත්තෙන් ජනවාරි 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
කෘතිය ජනගත කිරීමේ උළෙල ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය කොට ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි චිත්‍රපට සියල්ල විධිමත් ක්‍රමවේදයක් අනුව ලැයිස්තු ගත කර ඇති මෙම ග්‍රන්ථය ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති, සිතේන්ද්‍ර සේනාරත්න යෝජනාවකට අනුව නිම වුවකි.
මෙම ජාතික චිත්‍රපටි නාමාවලිය සැකසීමේදී 1958 සිට පළවී ඇති විවිධ දේශීය චිත්‍රපටි නාමාවලි 15ක් පමණ විමර්ශනයට ලක් කර ඇත.
එසේම 1898-1947 යුගයේ මෙරට සිනමාවේ හා දේශීය දෙමළ සිනමාවේ ජාතිකත්ව ලක්ෂණ මෙන්ම මෙරට චිත්‍රපට නාමාවලියේ අර්බුදකාරී තැන් ගැනද ග්‍රන්ථය තුළ විමර්ශනය කෙරේ.
තව ද 1901දී ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට ප්‍රදර්ශනය අරඹා වසර 116කට පසු, 1922දී “රාජකීය වික්‍රමය” නම් මෙරට පළමු චිත්‍රපටය මෙහි තනා වසර 96කට පසු, 1947දී පළමු කතානාද චිත්‍රපටය ලෙස ඉන්දියාවේදී තැනූ “කඩවුණු පොරොන්දුව” මෙහි පෙන්වා වසර 71කට පසු හා 1972 දී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කොට වසර 46කට පසු පළමුවරට මෙරට මෙවන් විධිමත් ජාතික චිත්‍රපටි නාමාවලියක් සැකසීම විශේෂත්වයකි.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය එම්. රන්ජිත් මද්දුමබණ්ඩාර ප්‍රධානත්වයෙන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සහ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලට සහභාගී වීමට නියමිතය.
“ශ්‍රී ලංකාවේ චිත්‍රපටි නාමාවලිය විමසුම” කෘතිය ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්රකාශනයකි.