ජනාධිපති තුමා ප්රමුඛ අපේ ගරු කටයුතු කැබිනට්ටුව, රටේ සංස්කෘතියට ගරු කරමින් කාන්තාවන් මත්පැන් මිලදීගැනීම සහ මත්පැන් වෙළඳසැල් වල රැකියා කිරීම තහනම් කරමින් පනවා තිබූ රෙගුලාසියක් ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කර තිබෙයි.
මීට පෙර අවස්ථාවක සමලිංගික විවාහයන් නීත්‍යානුකූල කෙරෙන යෝජනාවක් ද මේ ජනාධිපති තුමා ගේ ම මැදිහත් වීමෙන් අකුලා ගන්නට සිදුවූ බව අපට තවම අමතක වී නොමැත.
කිසියම් නීතියක් හෝ රෙගුලාසියක් සමාජයේ කිසියම් කුලයකට, පන්තියකට, ජාතියකට, ලිංගිකත්වයකට, ආගමකට අයත් පාර්ශවයක් ඉලක්ක කරගන ඒ පාර්ශවයට එරෙහිව හෝ පක්ෂව පැනවේ නම්, එය 'වෙනස් කොට' සැලකීමකි. ( discrimination) එබැවින් මේ බීම පිළිඹඳ හෝ සංසර්ගය පිලිඹද ප්‍රශ්නයක් නොවෙයි.
මට හිමි නිදහසක්, ඔබගේ ගේ ලිංගිකත්වය, කුලය, පංතිය, ජාතිය, ආගම නිසා ඔබට අහිමි නම් සහ එසේ වන්නේ අප දෙදෙනාම අයත් සංස්කෘතියේ නාමයෙන් නම්, අපේ සංස්කෘතිය අමානුෂිකය.
එම අමානුෂික සංස්කෘතිය අපි වෙනස් කල යුතුවෙමු. අප අපේම ඡන්දයෙන් පත්කරගන්නා පාලකයින් අපේ සංස්කෘතිය මානුෂික කිරීමට දෙගිඩියාවෙන් පෙළෙන්නේ නම් සහ එම අමානුෂිකත්වය වෙනුවෙන් පෙනී සිටීම වීරකමක් ලෙස සලකන්නේ නම් අපේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට සුදුසු කමක් නැත. ඔවුනට වේදිකාවෙන් බැස යාමට නියෝග කල යුතුය. !
අශෝක හදගම