සම්මානලාභී ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජ වයස අවුරුදු 74 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මහනුවර පෞද්ගලික රෝහලකදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේ.
සිංහල සිනමාවේ පෙරළිකාර යුගය නියෝජනය කළ ධර්මසේන පතිරාජ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට පිවිස අහස් ගව්ව තුළින් එහි සිය සළකුණ සනිටුහන් කිරීමට සමත්වුණා.
1975 වසරේදී ඔහු නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයට 9 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සම්මාන හිමිවූ අතර, කීර්තිමත් වැනිස් චිත්‍රපට උළෙලේදීද ප්‍රදර්ශනය කෙරුණා.
ඔහුගේ බඹරු ඇවිත් චිත්‍රපටයද මොස්කව්, වැනිස් සහ ලොස් ඇන්ජලිස් සිනමා උළෙලවලදී ප්‍රසාදයට ලක්වූ අතර, ඊට ජනාධිපති සම්මාන ද හිමිවීම විශේෂත්වයක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ධර්මසේන පතිරාජ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් බෙංගාලි සිනමාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමිකරගෙන තිබෙනවා.
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ දේහයේ අවසන් කටයුතු අද, ( 28 ) සවස 06.00 ට මහනුවර මහයියාව සුසානභූමියේ දී සිදුකෙරෙයි.