“ඇමෙරිකන් අයිඩල්” නම් රුපවාහිනී රියලිටි සංගීත වැඩසටහනේ තෝරාගැනීමේ වටයකදී ලෝක ප්රකට ගායිකා කේටි පෙරී විසින් ලබාදුන් හාදුව තමන් “අපහසුතාවයට” පත් කළ බව 20 හැවිරිදි ගායන ශිල්පියෙක් හෙළි කරයි.
මෙම සිදුවීම වන අවස්ථාවේදී 19 වැනි වියේ පසුවූ බෙන්ජමින් ග්ලේස් පවසා සිටින්නේ ගැහැණු ළමයකුගෙන් ඔහු ලද පළමු හාදුව එය නිසා අපහසුවක් ඇති වූ බවයි.
සුප්රකට ඇමරිකානු රියලිටි වැඩසටහන අතරතුරදී කේටි පෙරී ඇතුළු අනෙකුත් විනිසුරු මඬුල්ල හමුවේ අදහස් දැක්වූ බෙන්ජමින් තමා කිසි දිනක ගැහැණු ළමයකු සිපගෙන නැති බව කියා තිබේ.
කම්මුලට හාදුවක් ලබා දීමට යන බව අඟවමින් ඔහු ළඟට කැඳවු කේටි, බෙන්ජමින් ගේ දෙතොල් සිපගෙන තිබුණි.
එය අදහා ගත නොහැකි වූ ගායකයා බිමට ඇදගෙන වැටෙන වීඩියෝ ව නරඹන විට පෙනී යන්නේ ඔහු බෙහෙවින් අපහසුතාවයට පත් ව ඇති බවයි.
වැඩසටහන සතිය ආරම්භයේදී රුපවාහිනිය ඔස්සේ විකාශය වීමෙන් පසුව බොහොමයක් දෙනෙක් එම අවස්ථාව විවේචනයට ලක් කර ඇත්තේ ලිංගික හිංසනයක් බව හුවා දක්වමිනි.
කෙසේ වෙතත් කේටි පෙරී තමන්ට ලිංගික හිංසනයක් කළ බව තමන් කිසිසේත්ම නොසිතන්නේ යැයි බෙන්ජමින් තරයේ ප්රකාශ කර තිබේ.