2018 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකීය සිනමාපටය බවට පත්වෙමින් මහාචාර්ය සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) නම් වූ සිනමාපටය පසුගිය ඉරිදා (මාර්තු 18) ඉන්දියාවේ හයිද්‍රාබාද්හී නිමාව දුටු 02 වෙනි ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී (2nd Indian World Film Festival) ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර විය.
2017 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කල ඉන්දියානු ජගත් සිනමා උළෙලේ දෙවැනි අදියර සඳහා සිනමාපට සහ මියුසික් වීඩියෝ 110 ක් නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබූ අතර, එහිදී ‘පුත්තු සහ පියවරු’ ඇතුළුව සිනමාපට 16 ක් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Long Feature Films) අංශය සඳහා තරග වැදීමට සුදුසු කම් ලබා තිබුණි. ඒ අතුරින් උළෙලේ හොඳම වෘත්තාන්ත සිනමාපටය ලෙස (Best Film- Feature) ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක ලෝකේෂ් කුමාර්ගේ ‘My Son is Gay’ නම් වූ සිනමාපටය සම්මානයට පාත්‍ර වූ අතර , හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානය (Jury Award for Best Film- Feature) ‘පුත්තු සහ පියවරු’ සිනමාපටයට හිමිවිය.
සිංහල භාෂිත ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය සුමති සිවමෝහන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වන අතර, 2013 වර්ෂයේදී මෙරට තිරගත වුනු ඉංගිරුන්තු (Here and Now) නම් වූ දමිළ භාෂිත සිනමාපටය ඇගේ පළමු සිනමා නිර්මාණයවිය. මේ අනුව දමිළ භාෂිත දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කල පළමු ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරිය ලෙසින් මෙන්ම සිංහල භාෂිත දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කල පළමු ශ්‍රී ලාංකේය දමිළ සිනමා අධ්‍යක්ෂකවරිය ලෙසින්ද සැලකෙන සුමති සිවමෝහන්, සිය නිර්මාණයක් උදෙසා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද පළමු අවස්ථාව මෙය වේ.
සිංහල සිනමාව සමග කටයුතු කළ දමිළ සංගීතඥ පරම්පරාවන් දෙකක් පිළිබද පුවතක් පසුබිම් කොටගනිමින් තැනුනු ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර, අමාවස්යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේෂ්කුමාර්ගේ රංගනයෙන් හැඩවෙන අතර, තිර රචනය හා කැමරාව මෙහෙයවීම සුනිල් පෙරේරාගෙනි. එයට අමතරව එල්මෝ හැලිඩේ සංස්කරණයෙන්ද, ලාල් හරින්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන්ද, ඇන්තනි සුරේන්ද්‍ර සංගීත අධ්‍යක්ෂණයෙන්ද මෙම සිනමාපටයට දායක වී ඇත.
‘පුත්තු සහ පියවරු’ සිනමාපටය නියෝජනය කල දෙවැනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වන අතර, පළමු වරට එය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තිරගත විය.
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි