1912 අප්‍රේල් 15වැනිදා අලුයම උතුරු අත්ලාන්තික් සාගරයේදී ටයිටැනික් නෞකාව ගිලී යෑම ලොව බොහෝදෙනකුගේ හදවත් වේදනාවෙන් කැළඹූ සිද්ධියකි.
එවක විශාලතම මඟී ප්‍රවාහන නෞකාව ලෙස නම් දරා තිබුණු ටයිටනික් නෞකාව බෙහෙවින් සුව පහසු එකකි. ඒ තරමටම ආරක්ෂා සහිත එකක් ද වූයේය. එක්සත් රාජධානියේ සවුත්ඇම්ප්ටන්හි සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර බලා සිය කුළුඳුල් ගමන යමින් සිටි මේ යාත්‍රාව ඉතිහාසයේ බරපතළම අනතුරට මුහුණ දුන්නේය. අනතුර සිදු වූයේ නෞකාව අයිස් පරයක හැපීමත් සමඟයි. අධික වේගයෙන් ගමන් කළ නැවට අයිස් පරය මඟ හැරීමට හැකියාවක් තිබුණේ නැත. අත්ලාන්තික් සාගරයේ ඒ වනවිට දරුණු හිම තත්ත්වයක් පවතින බව ගුවන් විදුලි පණිවුඩ මඟින් හය වරක් නෞකාවට දන්වා තිබිණ. එසේ වුවත් ඒවා කිසිවකුගේ සැලකිල්ලට ලක් වී නොතිබුණේය. අයිස් පරයේ ගැටුණු නැව වේගයෙන් මුහුදු බත් වන්නට පටන් ගත් බව සඳහන් වේ. එවෙලෙහි එහි මඟීහු 2,224ක් ගමන් ගනිමින් සිටියහ. ප්‍රමාණවත් තරම් ජීවිත ආරක්ෂක බෝට්ටු නොතිබීමත්, පැවැති ජීවිතාරක්ෂක බෝට්ටු විධිමත් ලෙස කළමනාකරණය කර නොගැනීමත් නිසා 1500කට අධික පිරිසක් මරු දුටහ.
එදා එලෙස අනතුරට පත් නෞකාවේ සුන්බුන් අඩි 12,500ක් ගැඹුරු මුහුදු පතුලේ අද දිරා යමින් තිබේ. මේ සුන්බුන් තිබෙන්නේ නිව්ෆවුන්ඩ්ලන්ත වෙරළ තීරයෙන් සැතපුම් 370ක් පමණ ගිනිකොන දෙසට වන්නට ය. ටයිටැනික් සුන්බුන් සොයා කණ්ඩායමක් පසුගියදා ඒ ආසන්නයට ළඟා වූහ. මේ කණ්ඩායම සමඟ ඇමෙරිකා ජාතික ඡයාරූපශිල්පීනි බෙකී කාගන් ද සභාභාගී වූවාය. බෙකී වඩාත් ප්රකටව සිටින්නේ කිමිදී ගොස් සාගර පතුලෙහි ඡායාරූප ගැනීමට ය.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් මිනිත්තු 25ක පමණ කාලයක් පුරා ඡායාරූපවලට හසුකර ගැනීමට ඇයට හැකි විය. ඒ ඡායාරූපවලින් නිරූපණය වන අන්දමට නැවේ පියානෝවත්, පුටු, මේස ආදී ඇතැම් ගෘහ භාණ්ඩත් තවමත් මුළුමනින්ම දිරා පත් වී නැත. මේ සමඟ පළවන්නේ ටයිටනික් නැවේ වත්මන් තත්ත්වය පෙන්නුම් කෙරෙන බෙකීගේ ඒ ඡායාරූප පෙළයි.
මංජුලා විජයරත්න
-dinamina-