මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ නිර්දේශිත සිනමාපට අතරට තේරී පත් වූ “සුළඟ ගිනි අරන්” චිත්‍රපටයේ නිර්මාණ ශිල්පින් එම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමටත්, සම්මාන බාර නොගැනීමටත්, සිනමා උළෙල වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
වත්මන් සිනමා සම්මාන උළෙලවල් බොහොමයක් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට ඔසවා තබනවා විනා ප්රබුද්ධ සිනමාවට ඉඩ ලබා නොදෙන තත්වයක් උද්ගත වී ඇති බැවින් එය හුවා දැක්වීම සඳහා මෙම තීරණය ගත් බව “සුළඟ ගිනි අරන්” අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර මිරර් ආට් වෙත සිය අදහස් දක්වමින් පැවසුවේය.
ප්‍රසිද්ධ සහ ජනප්‍රියත්වය නිතැතින් හිමිවන සිනමාවට සම්මාන පිරිනැමීම පලක් නැති ක්‍රියාවක් බවත් හරවත් කලාත්මක සිනමාව සාමාන්‍ය ප්‍රේක්ෂකයාට දුරස්ථ බැවින් ඊට විශේෂ ජූරියක් විසින් සම්මාන පිරිනමා ප්‍රේක්ෂකයා එවැනි සිනමාපට නැරඹීමට පෙළඹවීමක් ඇති කිරීම සම්මානයක් ලබා දීමේ අරමුණ විය බවත් ඔහු පෙන්වා දෙයි.
“අද බොහොමයක් දේශීය සිනමා උළෙලවල් පවත්වාගෙන යන්නේ ලාභ ඉපයීම සඳහාම පමණක් වැනි සම්පුර්ණ විකෘති අරමුණක් වෙනුවෙන්. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ ආස්වාද වාණිජ සිනමාවට සම්මාන පිරිනමා ආකර්ශනීය වෙළඳපොළක් බවට පත් කරගන්න විතරයි. එහිදී පිරිනමන සම්මාන සඳහා ජාත්‍යන්තර ප්රබුද්ධ සිනමා භාෂාව සැලකිල්ලට ගන්නේ නැහැ. විවිධ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි වාර ගණනක් ජුරි සභිකයන් ලෙස අපි වැඩ කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ ප්‍රකාශය නිකුත් කරන්නේ,” යනුවෙන් විමුක්ති ජයසුන්දර පවසා සිටියේය.
එසේම දෙරණ සිනමා උළෙලේ ජුරි සභිකයන් ලෙස පත් කර ඇති බහුතරයක් පිළිබඳ පැහැදීමක් නැති බැවින් “සුළඟ ගිනි අරන්” සිනමාපටය මේ වනවිට හිමිකරගෙන ඇති ජාත්‍යන්තර සහ දේශීය ප්‍රේක්ෂක, විචාරක ඇගයීම් ප්‍රමාණවත් යයි ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් දෙරණ ආයතනය සමඟ තමන් ඇතුළු කණ්ඩායමට කිසිදු ගැටුමක් නොමැති බවත් පොදුවේ ලංකාවේ පවතින සිනමා උළෙලවල් පිළිබඳව මතුව ඇති ගැටළු සහගත තත්වයත් වත්මන් දේශීය කලාව සහ නොකලාව හඳුනාගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් මෙම තීරණය ගත් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ විමුක්ති ජයසුන්දර පැවසුවේය.
අදාළ සංවිධායකයන් වෙත යවන ලද ලිපිය පහතින්