යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ අද පස්වරු 5.45 ට යාපනයේ කාගිල්ස් චතුරස්රයේ පිහිටි මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී ආරම්භ කිරීමට නියමිත ය.
සිව් වැනි වරටත් සංවිධාන කෙරෙන උළෙල දින 6 ක් පුරා එනම් ඔක්තෝබර් 8 වැනිදා වනතෙක් පැවැත්වෙනු ඇත.
වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වේ.
ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය, තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය, හොඳම දේශිය කෙටි චිත්‍රපටය හා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය යන කාණ්ඩ ඔස්සේ සම්මාන 05 ක් පිරිනැමෙන අතර එම සම්මාන ප්රදානය ඔක්තෝම්බර් 08 වැනිදා ප. ව. 6.15 ට පැවැත්වෙනු ඇත.
වාරණය එපා
මෙම සිනමා උළලේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ ජූඩ් රත්නම්ගේ “Demons in Paradise” සිනමාපටය චිත්‍රපට ප්‍රදර්ශන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කලාකරුවන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සිය විරෝධය එල්ල කරමින් සිටියි.
සංවිධායක මණ්ඩලය ගත් තීරණය නිසා තමන්ගේ මූලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත් කරන යාපනය චිත්‍රපට උළලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා පවසන්නේ විකල්ප ක්‍රමයකින් හෝ මෙම සිනමාකෘතිය උළෙලට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව මත සාකච්ඡා සිදු කළ නමුත් සාකච්ඡා අතරතුර අධ්‍යක්ෂකවරයා ඉන් ඉවත්ව ගිය බවයි.
සිලෝන් තියටර්ස් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය හා එක්ව Agenda 14 ආයතනය විසින් යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ඉදිරිපත් කරනු ලැබේ.