නිදහසේ පියා ඩී. එස්. නමින් නිර්මාණය කිරීමට සූදානම් වන චිත්‍රපටය සඳහා ලබාදුන් අනුමැතිය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වූ බව ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය එහි අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාට දැනුම් දී ඇත.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ ජීවන චරිතය අළලා තැනෙන මෙම සිනමා පටය සඳහා සංගමය විසින් අවසර දී ඇති නම දොන් ස්ටීවන් යන්නය. නමුත් චිත්‍රපටය නිදහසේ පියා ඩී එස් යන නම තබා ඇති බව පවසන ඩී.එස්.සේනානායක ගුණානුස්මරණ සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අයි.දිසානායක මහතා එය තම කොන්දේසි බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර සිටී.
එමෙන්ම චිත්‍රපටය වෙනුවෙන් පසුගියදා වෝටර්ස් එඡ් හෝටලයේ පැවැති මුහුරත් උළෙල සඳහා සංගමයේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාට හෝ ප්‍රධාන ලේකම්වරයා වන තමාට හෝ කිසිදු විධායක සභිකයකු වෙත හෝ ආරාධනාවක් කර නැතැයිද දිසානායක මහතා සඳහන් කර සිටී.
තවද සංගමයේ කිසිදු පූර්ව අවසරයකින් හෝ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය ඔස්සේ වෙනස් කරන ලද නමින් එකී නිර්මාණය පිළිබඳ තොරතුරු එළිදැක්වීමද වරදක් බව පවසන දිසානායක මහතා චිත්‍රපටයේ තිර පිටපත සඳහාද මෙතෙක් තම සංගමයේ අනුමැතිය ලබාගෙන නැතැයි පවසා සිටී.
සංගමයේ සහභාගිත්වය සහ අධීක්ෂණය පිළිබඳ වූ කොන්දේසි නොතකමින් හා සුළුකොට තකමින් කටයුතු කරන බැවින් සේනානායක පරපුරේ වර්තමාන ජ්‍යෙෂ්ඨ දේශපාලනික චරිතය වන රුක්මන් සේනානායක මහතා සමග සාකච්ඡා කරගත් තීරණයට අනුව ඩී.එස්.සේනානායක චරිතය පිිළිබඳ චිත්‍රපටය නිර්මාණය කිරීමට ලබාදුන් අනුමැතිය සංගමය විසින් වහා අත්හිටුවන බව සුනෙත් මාලිංග ලොකුහේවා වෙත ලිතව දැනුම් දී ඇත.
අප මේ පිළිබඳව නිදහසේ පියා ඩී.එස්.චිත්‍රපටයේ අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාගෙන් විමසා සිටියා.
අපි මේ චිත්‍රපටය කරන්න කලින් ඔය කියන ඩී. එස්.සේනානායක ගුණානුස්මරණ සංගමයෙන් තිර පිටපත ඉදිරිපත් කරලා අවසරයක් ලබාගත්තා. එවිට ඔවුන් අපිට චිත්‍රපටය සඳහා අවසර ලබාදුන්නා.ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය බිහිකරලා තියෙන්නේ එතුමාගේ චරිතයට යම්කිසි විදිහකින් හානියක් සිදුවනවාද නැද්ද යන්න වග සොයාබැලීමටය. ඔවුන් පිටපත කියවලා චරිතයට හානියක් නෑ කියලා අපිට අවසර දුන්නා. නමුත් මේ දන්වා එවා තියෙන ලිපියේ ඔවුන් කරුණු දෙකක් දක්වලා තියෙනවා.
එකක් තමයි එහි නම වෙනස් කිරීම.අපි චිත්‍රපටයේ පිටපත එම සංගමයට ඉදිරිපත් කරන විට නම සඳහන් කර තිබුණේ දොන් ස්ටීවන් කියලා. නමුත් මුහුරත් උළෙල පවත්වා නිර්මාණය කරගෙන යන කොට හැමෝම වගේ කතා කළා මෙහි නම ගැනග අන්තිමේ හැමෝම කිව්වේ මේක ඉංග්‍රීසි නමක්.එයට අපි සිංහල නමක් යොදමු කියලා. ඒ නිසා අපි නිදහසේ පියා ඩී.එස්.නමින් නම් කළා. හැබැයි නම වෙනස් කළා කියලා අපි පිටපත වෙනස් කළේ නැහැ. ඔවුන් එවා තියෙන ලිපියේ සඳහන් එක් කරුණක් තමයි ඒ.
අනෙක් කරුණ තමයි දෙසැම්බර් පළමු වැනිදා වෝටර්ස් එඡ් හෝටලයේ පැවැති මුහුරත් උළෙලට එම කමිටුවට නිල වශයෙන් ආරාධනා කළේ නෑ කියන කාරණාව.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදක ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ මාර්ගයෙන් කථානායකතුමාට ආරාධනාවක් කළා. එවකට එතුමාගේ දියණියගේ හදිසි අභාවය හේතුවෙන් එතුමා විදෙස්ගතවෙලා හිටියේ. පසුව අපි රුක්මන් සේනානායක මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනාවක් කළා. හැබැයි එතුමාද මුහුරත් උළෙලට පැමිණියේ නැහැ. මේක දේශපාලන ඉතිහාසයේ පළමු සිනමා දේශපාලන චරිතාපදානය. මෙවැනි කරුණු දන්වා ඔවුන් මේ වන විට අවසරය අවලංගු කරලා තියෙනවා. අපෙන් කරුණු විමසීමක් නැතිව තමයි එහෙම කරලා තියෙන්නේ. හැබැයි පසුගිය අඟහරුවාදා දහවල් වන විටත් මට එම ලිපිය ලැබිලා තිබුණේ නැහැ. මටත් ඒ ගැන දැනගන්න ලැබුණේ වෙන අධ්යක්ෂවරු මාර්ගයෙන්. මොකද මට මුලින්ම ඒ ගැන කතා කරලා කිව්වේ සුරංගද අල්විස්. ඊට පසුව සරත් ධර්මසිරි මහතා පවා මට කතා කළා.
අපි චිත්‍රපටය නතර කරලා නැහැ.මේ ලිපිය සම්බන්ධයෙන් එම සංගමය සමග සාකච්ඡා කරනවාග.කොහොමත් මේ චිත්‍රපටයෙන් අපි ඩී.එස්. ගේ චරිතයට කිසිදු හානියක් කරන්නේ නැහැ. ඇත්තටම මට හිතෙනවා මෙතැන ඊට එහා ගිය කාරණාවක් තියෙනවා කියලා.
මීවිත පුවත්පතින් උපුටාගන්නා ලදී