‘සුජාතා’ ප්රදර්ශනයට එරෙහිව අතුරු නියෝගයක්
සුජාතා චිත්රපටය ප්රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත්රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ සිනමා සමාගමකට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර්.මරිකාර් මහතා අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය ලබන පෙබරවාරි 8 වැනිදා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
මියගිය චිත්රපට නිෂ්පාදක කේ.ගුණරත්නම් මහතාගේ වැඩිමහල් පුත්රයා වන ඒ.ආර්.පත්මරාජ් මහතා විසින් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබාදෙන ලදී.
සුජාතා චිත්රපටය ප්රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත්රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ සිනමා සමාගමකට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නැසීගිය චිත්රපට නිෂ්පාදක කේ.ගුණරත්නම් මහතාගේ වැඩිමහල් පුත්රයා වන ඒ.ආර්.පත්මරාජ් මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තිස්ස නාගොඩවිතාන සහ මූවි ප්රොඩියුසර්ස් ඇන්ඞ් ඉම්පෝටර්ස් ( ප්රයිවට් ) ලිමිටඞ් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මියගිය චිත්රපට නිෂ්පාදක කේ.ගුණරත්නම් මහතා ‘‘සුජාතා ’’ නමින් චිත්රපටයක් නිෂ්පාදනය කළේය. මෙම චිත්රපටයේ බුද්ධිමය දේපළ අයිතිය කේ.ගුණරත්නම් මහතා සතුවේ. 1983 වසරේ ශ්රී ලංකාවේ ඇති වූ ජනවාර්ගික අර්බුදය හේතුවෙන් කේ.ගුණරත්නම් මහතාගේ විශාල දේපළ ප්රමාණයක් අස්ථාන ගතවී ඇත.
මෙම අවස්ථාවේදී ඔහු විසින් නිෂ්පාදනය කළ ‘‘ සුජාතා ’’ චිත්රපටය ද අස්ථාන ගත වී ඇත. කෙසේ නමුත් 2019 ජනවාරි 17 වැනිදා වගඋත්තරකරුවන් විසින් මෙම චිත්රපටය ප්රචාරය කර ඇත.
මෙම ක්රියාව පෙත්සම්කරුගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කිරීමකි. එබැවින් සුජාතා චිත්රපටය ප්රදර්ශනය කිරීම , බෙදාහැරීම , සංයුක්ත තැටි මඟින් බෙදාහැරීම එම චිත්රපටය සම්බන්ධයෙන් මුදල් ලබා ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අනෝමා ගුණතිලක මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ එස්.පර්තලිංගම් මහතා පෙනී සිටියහ.
( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
ලංකාදීප