සිනමාවේ පදනම හදන්න අතීත නිර්මාණකරුවන් දැරූ වෙහෙස අපමණයි:අනුෂා සිවලිංගම්
මාධ්‍යවේදිනියක, පරිවර්තිකාවක වශයෙන් කටයුතු කරන අනුෂා සිවලිංගම් රචිත කුළුඳුල් කෘතිය “දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය” හෙට දින ජනගත කිරීමට මේ වනවිට කටයුතු සුදානම්. එම කෘතිය සම්බන්ධයෙන් ඇය මිරර් ආට්ස් වෙත මෙසේ සිය අදහස් දැක්වූවා.
“දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය කියන්නේ මම ලියපු පළමුවැනි පොත. ඉන් ගෙන එන්නේ 1967 සමුදායන් සිට 2018 කෝමාලි කිංග්ස් දක්වා මෙරට දමිළ සිනමා ඉතිහාසය යි. සිනමාව ගැන පොතක් ලියන්න ඕන කියන අදහසින් කළ දෙයක් නෙවෙයි මේ. පොඩි කාලේ ඉඳලම සිනමාව ගැන තිබුණු ආසාව තමයි පොතක් විදියට එළියට එන්නේ කියලා මම හිතනවා. මම සිනමාවට පුදුම විදියට ආදරෙයි. ඒ වගේම දමිළ ප්‍රජාව සිනමාවට පුදුම විදියට ආදරෙයි, ලෝබයි. සිනමාව කියන්නේ ඔවුන්ගේ ලෝකය. ඉතින්, ලංකාවේ දමිළ සිනමාව පොතක් විදියට ලියන්න ඕන කියන දේ අවශ්‍යතාවක් විදියටයි මට දැනුණේ.
මොකද, ලංකාවේ සිනමාව කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ සිංහල සිනමාපට නිර්මාණය වෙලා තියෙනවා කියලා විතරයි. සමහර දමිළ ජාතිකයන් පවා දන්නේ නැහැ දමිළ සිනමා ඉතිහාසයක් තිබුණා ද කියන කාරණාව. මේ ඉතිහාසය සම්පුර්ණයෙන් කොතැනකවත් සටහන් වෙලා නැහැ. නමුත් මෙරට දෙමළ සිනමාව 1967 තරම් දුරට දිව යනවා, ලොකු ඉතිහාසයක් තියෙනවා කියන දේ ලියන්න මට අවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාව දැනුණු නිසයි මේ කෘතිය දමිළ සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම පළ කරන්නේ.
ලංකාවේ දමිළ සිනමාව ගැන දමිළ භෂාවෙන් ලියවුනු පොත් කිහිපයක් තියෙනවා. ඒ තියෙන්නෙත් ඉතිහාසය ගැන විතරයි. බොහෝ දුරට 1983 කළු ජූලියට කලින් ඉතිහාසය ගැන පොත් දෙකක වගේ සඳහන් වෙලා තියෙනවා. 1967 ආරම්භ වන දමිළ සිනමාව 83 දක්වා පොතකට ගෙන එන්නේ සිනමා විචාරක තම්බයියා දේවදාස්. ඒවගේම මාධ්‍යවේදීන්, විචාරකයින් පුවත්පත් සඟරා ආදියට සිනමාව ගැන ලිපි ලියලා තියෙනවා. 83ට පසු කාල සීමාව ඒ කියන්නේ කළුජූලි සමය ආරම්භයේ සිට 2009 යුද්ධය අවසන් වනතුරු දමිළ සිනමාව ගැන ලොකු සඳහනක් නැහැ. ඒ නිසා අවශේෂ කරුණු ඔස්සේ තොරතුරු සොයාගෙන ගොස් ඒ සියල්ල එකතැනකට ගොනු කිරීමයි මම සිදු කළේ. එහිදී අතීතයේ සිනමාවට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන් මම සොයාගෙන ගියා. මා මුණගැසුණු පුද්ගලයින් බොහෝ දෙනෙක් මේ වෙනකොට ඉතාමත් වයෝවෘද්ධ යි. සමහර සිදුවීම් ඔවුන්ට අමතකයි. ඒ වගේම ඔවුන් ගැන කිසිම තැනක ලියවිලා නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් 1970 ගණන්වල රඟපෑ රංගන ශිල්පියෙක් මම හමුවුණා. ඔහු 2006 දී ත් සිනමාපටවල රඟපාලා තියෙනවා. නමුත් ඔහු ගැන කොතැනක හෝ සඳහනක් වෙලා නැහැ. ඒ වගේ මට හැකි උපරිමයෙන් තොරතුරු එක්රැස් කිරීම කළ නමුත් මගහැරුණු කරුණු, සිදුවීම් අනිවාර්යයෙන්ම තිබිය හැකියි කියලා කියන්න මට අවශ්‍යයි.
ඒ කාලේදී සිනමාවට නැගුණු සමහර කතා විශිෂ්ටයි කියලා කියන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මට අනුව ඔවුන් ඒ චිත්‍රපට නිර්මාණය කරන්න දැරූ වෙහෙස පුදුම සහගතයි. සිනමාවේ පදනම හදන්න නිර්මාණකරුවන් හැමෝම එකතු වෙලා පුදුමාකාර වෙහෙසක් දරා තියෙනවා. ඒ ඉතිහාසය සුන්දර නැහැ. වසර දෙකක සොයායාමකින් අනතුරුව ලියූ මේ කෘතිය මෙරට දමිළ සිනමා ඉතිහාසය සොයා යන්නෙක්ට අත්වැලක්, අඩිතාලමක් වේවි යි කියා මම හිතනවා.”
දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය හෙට (13) දින පස්වරු 4.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී එළිදකියි.