බොලිවුඩ් සිනමාපට තහනමින් වැඩි වේදනා පකිස්ථානයටම ද?
ඉන්දීය හමුදා පකිස්ථාන පාලන ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, පකිස්ථාන රජය බොලිවුඩ් සිනමාපට මෙන්ම ඉන්දීය රූපවාහිනී වැඩසටහන් ද සිය රට තුළ තහනම් කරන ලදී. එය ලබා දීමට පහසු දඬුවමක් වුවත් ඉන් පහර වැදුණේ වැරදි ඉලක්කයට විය හැකි බව BBC පුවත් සේවය වාර්තා කරයි.
1947 පටන් දෙරට අතර නිරතුරුව යුදමය තත්වයන් හටගත් නමුත් බොලිවුඩ් සිනමාව කෙරෙහි ඇති බැඳීම කෙසේ හෝ නොබිඳී පැවතුණි.
පකිස්ථාන සිනමාපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කිරීමට පියවර ගත් බවයි. තවත් පියවරක් ඉදිරියට තබමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඇතුළු කිසිදු ඉන්දීය අන්තර්ගතයන් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කළ නොයුතු බවයි.
කෙසේ වෙතත් මෙම තහනම එරට ආර්ථිකයට ද තරමක බලපෑමක් සිදු කරනු ඇතැයි පැවසේ.
රට තුළ සිනමාශාලා 120 ක් පමණ ඇති බවත් හොඳ සිනමාපටයක් අවම වශයෙන් සති දෙකක කාලයක් ප්‍රදර්ශනය කෙරෙන බවත් පකිස්ථාන සිනමා මාධ්‍යවේදියකු වන රාෆි මහමුද් පවසයි. ඔහුගේ ගණනය කිරීම්වලට අනුව එරට සිනමාව පවත්වාගෙන යාමට නම් අවම අවශයෙන් වසරකට චිත්‍රපට 25 ක් හෝ ප්‍රදර්ශනය කළ යුතුය. නමුත් ඔවුන් වසරකට නිෂ්පාදනය කරන්නේ චිත්‍රපට 12ත් 15 අතර සංඛ්‍යාවකි. ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට ඒවා සමත් නොවන ද බව ඔහු පවසයි.
එසේම පකිස්ථාන සිනමා කර්මාන්තයේ සමස්ත ආදායමෙන් සියයට 70ක් පමණ උපයා ගන්නේ ඉන්දීය සිනමාපට හරහා බව මාධ්‍යවේදී හසන් සයිදි පවසයි.
පකිස්ථානය බොලිවුඩ් චිත්‍රපට තහනම් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර දීර්ඝතම තහනම 1965 සිට 2005 දක්වා වසර 40ක කාලයක් බල පැවැත්වුණි.