සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 40 වන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ (Göteborg Film Festival) ඉංග්මාර් බර්ග්මාන් ( Ingmar Bergman) සම්මානය සදහා වන තරඟකාරි අංශයට තේරී තිබේ. ජනාවාරි 27 දින සිට පෙබරවාරි 6 වන දින දක්වා ස්වීඩනයේ ගොතන්බර්ග්(Gothenburg)නුවරදී පැවැත්වෙන සිනමා උළෙල ස්කැන්ඩිනේවියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම සිනමා උළෙල වේ. ඉංග්මාර් බර්ග්මාන් සම්මානය සදහා නිර්දේශවුණූ පළමු ශ්‍රී ලාංකික සිනමා කෘතිය දැවෙන විහඟුන් වේ.
මේ අතර දැවෙන විහඟුන් චිත්‍රපටය 46 වන අන්තර්ජාතික රොඩර්ඩෑම් සිනමා උළෙලේ (International Film Festival Rotterdam) දීප්තිමත් අනාගතයක් සහිත සිනමාකරුවා අංශයට (Bright Future) ද තේරි තිබේ. දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු යුරෝපීය සිනමා උළෙල නියෝජනය රොඩර්ඩෑම් සිනමා උළෙලයි. උළෙල ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 5 දින දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරදී පැවැත්වෙයි . ලොව ප්‍රධානතම සිනමා උළෙලක්වන රොඩර්ඩෑම් උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට සංජීවගේ ප්‍රථම සිනමා කෘතිය වන ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) 2011 වර්ෂයේදී සමත්විය.
පසුගිය ඔක්තෝම්බර් මස පැවති 21 එක්වන බුෂාන් අන්තර්ජාතික සිනමා උළෙලේ (21st Busan International Film Festival ) තරගකාරී අංශය (NEW CURRENTS AWARDS) සදහා තේරුණු දැවෙන විහඟුන් දැවෙන විහඟුන් චිත්‍රපටය ඉක්බිතිව 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival) ජුරියේ සුවිශේෂ සම්මානය ( Special Jury Prize / දෙවන ස්ථානය) ද දිනාගත්තේය.
දැවෙන විහඟුන්(Burning Birds) චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උළළේ 2012-2013 වසරේ සිනේෆොන්ඩේෂන් නේවාසික අංශයට (Cinéfondation Résidence, Cannes Film Festival) තේරුණු අතර පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සදහා 2014 දී ඊශ්‍රාලයේ, ජෙරුසුලම් තිර රචනා ඇකඩමියට (The Jerusalem International Film Lab) තෝරා ගන්නා ලදී. එහිදී සංජීව ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනය මාස හතක කාලයක් පුරා වැඩිදුරටත් රචනා කරන ලදී.
ප්‍රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්රපයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි. ලන්ඩනයේ (London) පිහිටි ෆිල්ම් රිපබ්ලික් (Film Republic) සිනමා සමාගම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අලෙවි සමාගම (World Sales Agent) ලෙස කටයුතු කරනු ලබයි.
මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka) , ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.