ඊළඟ දඩයම “දඩබ්බරයා” ද ?
“දඩබ්බරයා” නම් කෘතිය එළිදැක්වීමේ උත්සවය සහ ඊට සහභාගී වූ පුද්ගලයින් පිළිබඳව විස්තර සහිතව ප්‍රකාශයක් ලබා දෙන ලෙස එම කෘතිය ලියූ රූපවාහිනී සම්ප්‍රවේෂක ඩිල්ශාන් පතිරණට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූනි 14 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.
මෙම නියෝගය ලබා දී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුවක විමර්ශන කටයුත්තකට අදාලව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කළ ඉල්ලීමක් අනුව යි.
ඒ අනුව, ලේඛක ඩිල්ශාන් පතිරණ අද (20) දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් ඔහු පවසන ආකාරයට එම නඩුව ගොනු කර ඇත්තේ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දේශනයක් සිදු කළ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීරට එරෙහිවයි. දිලිත් ජයවීර එම උත්සවයේ දී සිදුහත් චරිතය පිළිබඳ පළ කළ අදහස් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේඛක ඩිල්ශාන් පතිරණ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබේ,
“අද දින අධිකරණ නියෝගය ප්‍රකාරව මම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය වෙත ගොස් කට උත්තරයක් ලබා දුනිමි.
මෙම නඩුවේ පැමිණිලිකරු බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ අගුලුගලලේ සිරි ජිනානන්ද හිමියන් බව එහිදී දැන ගතිමි.
මෙම සමස්ථ සිදුවීම තුළ සතුටු විය හැකි කාරණා දෙකකි. ඉන් පලමු වැන්න නඩු දමා ඇත්තේ මට නොවීමයි. එනම් දඩබ්බරයා පොත නඩුවට ප්රස්තුත වී නොමැත.
දෙවැන්න නම් නඩු දමා ඇත්තේ දඩබ්බරයා එළිදැක්වීමේදි අදහස් දැක්වූ Dilith Jayaweeraට වීමයි. එහෙත් එහිදී මා සතුටු වන්නේ දිලිත්ට නඩු වැටුනු නිසා නොව එම නඩුවට මුහුණ දීමට අවශ්‍ය හැකියාව හා ශක්තිය දිලිත්ට ඕනෑවටත් වඩා තිබෙන බව හොඳින්ම දන්නා බැවිනි.
ඒ අනුව සියල්ලෝ නිරුපද්‍රිතයි යනුවෙන් සටහනක් තබා මේ කතාව අවසන් කල හැකිය. නමුත් මෙහිදී විශේෂ කරුණු කිහිපයක් සඳහන් කළ යුතුමයැයි සිතමි.
* මේ බරපතළ කප්පාදුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටයි. අප දන්නා කාලයේ පටන්ම පොත් එලිදැක්වීම් යනු සබුද්ධික සහෘදයෝ අමුවටම අදහස් බෙදාගත් සුන්දර , තාර්කික කතිකාවන් ය. ඒවාට කොන්දේසි තිබුනේ නැත. නමුත් දැන් එවැනි හමු ඇතැමුන්ට නොරුස්සන තැන් හිදී ඒවා වැටෙන්නේ සංවිධාත්මක අපරාධ ගණයටය.
* මෙහිදී දිලිත් වැනි සමාජ ,ආර්ථික ශක්තියක් ඇති අයෙකු චූදිත වූ නිසා තත්ත්ව මෙයාකාර වූවද, එවැනි බලයක් නැති සාමාන්‍ය නිදහස් චින්තයෙකුගේ අදහසක් මෙලෙසින්ම අභියෝගයට ලක් වුවහොත් තත්ත්වය මීට ඉඳුරාම වෙනස්වනු ඇත.
*මෙලෙස ප්‍රශ්න ඇති කරන්නේ කවුද යන්න ඊලඟ ප්රශ්නයයි. එනම් යමෙක් වරදක් කරයි නම් හෝ එසේ කරන බව හැඟෙයි නම් ධර්මධර භික්ෂුව කළ යුත්තේ වහාගොස් එම පුද්ගලයාට විරුද්ධව නඩු දැමීමද? සමාජය නිසිමගට ගැනීමෙහිලා භික්ෂුව සතු එකම සහ අවසානාත්මක ක්‍රමය නඩු කීමද?බණ කීම තව දුරටත් ඊට වලංගු නොවේද?
*හෙට කෘතියක් රචනා කරන ලේඛකයාට හෝ සභාවක් අමතන දේශකයාට සිය ප්රකාශනයේ නිදහස ආරක්ෂිත බවට ඇති සහතිකය කුමක්ද?
*මා අවසානයේ මතුකරන ප්රශ්නය නම් මෙවැනි ක්‍රියාමාර්ග වලින් ලබාගත හැකි ආගමික ජයග්‍රහණය කුමක්ද?
දඩබ්බරයා එළිදැක්වීමට මා විසින් ඇරයුම් කෙරුණු වීඩියෝ පටයේ පෙනෙන කිහිප දෙනෙකුගේම නම් සහ දුරකථන අංක පරීක්ෂණ නිලධාරී මහතුන්ගේ ඉල්ලීම මත ඔවුනට ලබාදීමට සිදුවූ බැවින් ඉන් අනාගතයේ අපහසුතාවට පත්වන සැමටම මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
නඩුව තවමත් අවසන් නැත. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකියී..
මේ සිදුවීමත් සමඟම, නිතැතින්ම මට ශක්තියක්වූ දයාබර ඔබට මගේ හෘදයාංගම ස්තුතිය.
මිත්‍රවරුනි ...
විකෘතිය අවසන්වන පාටක් හෝ ප්‍රකෘතිය ස්ථාපනය වන පාටක් පේනමානයකවත් නැත..”
සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරන ලද “අර්ධ” නම් කෙටිකතාව මඟින් බුදු දහමට අපහාසයක් සිදු කළේය යන චෝදනාව මත ICCPR පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර පසුගිය අප්‍රේල් මස සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර කර සිටින අතර ඩේලි මිරර් පුවත්පතට සැපයු ලිපියක් නිසා මාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවති.