කෙටිකතාවක් ලියා හිරේ වැටුණු ලේඛක ශක්තික ඇප මත නිදහස්
“අර්ධ” නම් කෙටි කතාව ලියා බුදුදහමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් දින 125 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලේඛක ශක්තික සත්කුමාර ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද (5) නියෝග කර තිබේ.
ඒ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත විභාගයට ගත් අවස්ථාවේ දී ය. රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබාදීමට මහාධිකරණ විනිසුරුවරිය ඒ අනුව නියෝග කර ඇත.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ ලේඛක ශක්තික සත්කුමාර පසුගිය අප්‍රේල් 1 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කළ කෙටිකතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතුවිය හැකි බව සඳහන් කරමිනි.