මනෝරම්‍ය මනෝ, සුමිතුරු මනෝ, ඉක්මනින් සුවය ලබන්න. එයයි අප හැමගේ එකම පැතුම.
ජයලත් මනෝරත්න හඳුන්වා දීමට විශේෂණ අවශ්‍ය යැයි නොසිතමි. ඔහු මනෝය. අපට සිටිනා එකම මනෝය. ජෝ අබේවික්රමලා, ගාමිණී ෆොන්සේකලා, අමරදේවලා, සේකරලා, ලෙස්ටර්ලා, පතිරාජලා සරච්චන්ද්‍රලා, සුගත්ලා, හෙන්රිලා, කේමදාසලා, ටෝනිලා, වසන්තලා, දයානන්ද ගුණවර්ධනලා, ගුණසේන ගලප්පත්තිලා ගැන මතක් කරනවා නම්, ඒ හැමෝම ඔවුන් ම පමණි. ජෝලා දෙන්නෙක් හෝ ගාමිණීලා දෙන්නෙක් අපට නැත. සරච්චන්ද්‍රලා, සුගත්ලා වගේම ලෙස්ටර්ලා ද දෙන්නෙක් අපට නැත. අපට සිටිනා මනෝ එකම මනෝ ය.මනෝලා දෙන්නෙක් අපට නැත.
ටික කලකට පෙර හදිසියේ ම මනෝ රෝගී වූයේය. ඒ ද චිත්‍රපටයක රූ ගත කිරීම් කරන අතරතුර ය. මොළයට සම්බන්ධ රෝගී තත්වයක් නිසා ශල්‍ය කර්මයකට ද මුහුණ දෙන්නට ඔහුට සිදු විය.ප්‍රතිකාර ලැබීමෙන් කෙටි කලකට පසු, සුවය ලැබූ මනෝ සුපුරුදු ලෙස රඟපෑමෙහි ද නිරත වීය. ඔහුගේ ම හඬ නිහඬ නාට්‍යයෙන් ඔහු යළි අප අතරට ආවේය. රංගනයෙන්, ගායනයෙන් වියුක්ත මනෝ කෙනෙකු පිළිබඳ සිතන්නට අපට සිත් නොදේ. ඔහුගේ ජීවිතය එතරම් ම මේ කලාවන් හා බැඳී තිබිණ.
පසුගිය දිනෙක මනෝ යළි රෝගීව රෝහල් ගතව සිට නිවසට පැමිණියේය. ඔහුට විවේකය මෙන් ම අඛණ්ඩව ප්‍රතිකාර ද අවශ්‍ය බව වෛද්‍ය මතය වූ බැවින් ඔහු සුපුරුදු ක්‍රියාකාරකම්වලින් ඈත්ව බිරිඳගේ, දියණියගේ උපස්ථාන ලබමින් ඉඳ හිට මිතුරෙකු ද හමු වෙමින් කතා බහ කරමින් සිටි බව දනිමි. ඇඳ විවේකය අවශ්‍ය බැවින් ද සුපුරුදු ලෙස ඇවිදීම අමාරු බැවින් ද ඔහු ඇඳට ම වී සිටියේ ප්‍රතිකාර ද ලබමිනි. ඔහුගේ මිත්‍ර සමාගම විසින් ඔහුට ඉක්මන් සුවය පතා බෝධි පූජා ආදී සෙත් පැතීම් ද සිදු කරන ලද බව දනිමු.
ඊයේ හයවන දා (6) සවස් භාගයේ සිට මගේ දුරකථනය අවිවේකී වූයේ මනෝ පිළිබඳ මුහුණු පොතෙහි සත්‍යයෙන් තොර පුවතක් ඇතුළත් වූ පෝස්ටුවක් ඔහුගේ ඡායාරූපයක් ද සමග පළ වී සංසරණය වන්නට පටන් ගෙන තිබූ බැවිනි.මෙල්බර්න්හි වෙසෙනා මනෝගේ හා අපගේ මිතුරන් කිහිප දෙනෙකු ගේ මූලිකත්වයෙන් පවැත්වීමට සැලසුම් කොට ඇති මනෝරම්‍ය ගී සැඳෑව පිළිබඳ තතු පැවසීමට ඊයේ (6) උදෑසන මා ඔහු ගේ දියණිය ඇමතූ කල්හි ඔහුගේ තත්වයෙහි විශේෂ වෙනසක් නැති බවත් සුපුරුදු ලෙස ප්‍රතිකාර ලබමින් ආහාරපාන ගන්නා බවත් දැනුම් දී තිබුණු බැවින්, මුහුණු පොතට ගොතන ලද පුවතින් මම මවිතයට පත් වීමි.සැණෙකින් මා යළි ඔහු දියණිය අමතා විමසූයේ තාත්තාට කෙසේද කියායි. ඇගේ පිළිතුර වූයේ තත්තා ඒ මොහොතෙහි රාත්‍රි ආහාර ගනිමින් සිටිනා බවයි. මම සැබෑ තත්වය මගේ මුහුණු පොත පෝස්ටුවක් මගින් ව්‍යාජ පුවත් ගොතන්නන්ට මෙන් ම ඒ පුවතින් කම්පාවට පත්ව සිටි මනෝ රසික සමාජයට ද දන්වා සිටියෙමි. ඔවුන් විසින් ගොතා පළ කළ පුවත ඊයේම ඉවත් කරගෙන තිබුණ ද ඉන් සිදු වූ හානියෙහි අනිටු ඵල විපාක තවමත් අප අත් විඳින්නේ මනෝට ආදරය කරන පිරිස් ඒ පුවතින් කම්පාවට පත්ව එය සැබෑවක් ද කියා විමසන බැවිනි.
මනෝ රෝගීව නිවසෙහි සිටිනා බව සැබෑවකි. ඔහු ප්‍රතිකාර ලබමින් සිටී. මා මීට හෝරා කීපයකට පෙර ඔහු දියණිය විමසූ කල දැනගන්නට ලැබුණේ මනෝගේ තත්වයෙහි කිව යුතු වෙනසක් සිදු වී නොමැති බවයි.
ජීවත්ව සිටිනා කවරෙකු පිළිබඳ වුව මෙබඳු හානිකර අසත්‍ය පුවත් පළ කරන්නන් ඉන් කුමන ආස්වාදයක් , සතුටක් ලබන්නේදැයි නොදනිමු.මෙවැනි අමනුස්සයන් පිළිබඳ අනුකම්පා කරනු විනා අප කුමක් කළ යුතු දැයි කල්පනා කිරීම ඔබට පවරා නිහඬ වෙමි.
මනෝරම්‍ය මනෝ, සුමිතුරු මනෝ, ඉක්මනින් සුවය ලබන්න. එයයි අප හැමගේ එකම පැතුම.
බුද්ධි ගලප්පත්ති