ගම්පෙරළිය අද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත වේ
ආසියාවේ පැරණිතම අන්තර්ජාතික සිනමා උලෙළ ලෙසට ද, ලෝකයේ පැරැණිතම අන්තර්ජාතික සිනමා උලෙළයන් දහයෙන් එකක් ලෙසටද සැලකෙන, ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළ (International Film Festival of India) ඊයේ (නොවැම්බර් 20) ඉන්දියාවේ ගෝව නගරයේදී අති උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. 1952 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින සමාරම්භය සනිටුහන් කළ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ 50 වෙනි අදියර මෙම වසරේදී ක්‍රියාත්මක වන අතර, එහිදී රටවල් 73 කට අයත් සිනමාපට 265 කට ආසන්න සංඛ්‍යාවක් සිනමා කාණ්ඩ 23 ක් යටතේ මෙවර උලෙළ නියෝජනය කෙරේ. ඒ අනුව 'ස්වර්ණ මයුර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම' (Golden Peacock Retrospective) නම් වූ සිනමා ඛාණ්ඩය යටතේ උලෙළ නියෝජනය කිරීමට තෝරාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'ගම්පෙරළිය' සිනමාපටය අද සවස 3.15 ට උලෙළේ දී තිරගත වේ. 1965 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ කාලපරාසය තුල පැවති තරගකාරී අදියරයන් තුළ දී, උලෙළේ විශිෂ්ටතම සිනමාපටය උදෙසා වූ ස්වර්ණ මයුර සම්මානයෙන් (Golden Peacock Award) පිදුම් ලද සිනමාපට අතුරින් තෝරාගත් සිනමාපට 9ක් ඉහත කී 'ස්වර්ණ මයුර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම' යටතේ තිරගත වේ.
ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළ ඉතිහාසයේ ස්වර්ණ මයුර සම්මානයෙන් (Golden Peacock Award) පිදුම් ලද පළමු සිනමාපටය ලෙසට සැලකෙන 'ගම්පෙරළිය' සිනමාපටය, ඉන්දියානු සිනමා උලෙළේ තිරගත වන සිව් වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1965 වර්ෂයේදී 'අන්තර්ජාතික තරගකාරී අංශය' (International Competition) යටතේ ද, 1977 සහ 1983 දෙවර්ෂයන් හිදී 'ලෙසටර් ජේම්ස් පීරිස් උපහාර අංශය' (Tributes- Lester James Peries) යටතේද උලෙළ නියෝජනය කිරීමට 'ගම්පෙරළිය' සිනමාපටය සමත් විය. එසේම ලංකාවෙන් එපිට පැවැත්වෙන්නා වූ අන්තර්ජාතික සිනමා උලෙළක 'ගම්පෙරළිය' තිරගතවන 29 වෙනි අවස්ථාව මෙය වේ. 1963 වර්ෂයේ දී රුසියාවේ පැවති 03 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ (Moscow International Film Festival) නියෝජනය, 'ගම්පෙරළිය' සිනමාපටයේ පළමු ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජන අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්ව ඇත. 'අන්තර්ජාතික සිනමා උලෙළක දී සම්මානයකින් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය (Long Feature Film)' නම් වූ ඓතිහාසික වාර්තාවට හිමිකම් කියන'ගම්පෙරළිය', ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තෙවැනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි