“ලොලිටා” තරුව දිවි රඟමඩලින් සමුගනියි
1962 දී තිරගත වූ ස්ටැන්ලි කුබ්රික්ගේ “ලොලිටා” සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනිය Sue Lyon දිවි ගමනින් සමුගෙන තිබේ.
මියයන විට ඇය 73 හැවිරිදි වියේ පසුවිය.
ව්ලැඩිමීර් නබොකොව්ගේ මතභේදාත්මක නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ “ලොලිටා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන විට 14 හැවිරිදි වියේ පසුවූ මේ එක්සත් ජනපද රංගන ශිල්පිනිය පසුගිය බ්‍රහස්පතින්දා (26) ලොස්ඇන්ජලීස් නුවර දී දිවියෙන් සමුගෙන තිබුණි.
මැදි වියේ සාහිත්‍ය ගුරුවරයෙක් සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා දැරියක් පිළිබඳ කතාවක් කියවෙන මෙම සිනමාපටයේ “ඩලෝරස් හේස්” නම් චරිතයට Sue Lyon තෝරාගෙන ඇත්තේ 800ක් දෙනා අතුරිනි.
ඒ අනුව රංගන ශිල්පී ජේම්ස් මේසන් සමඟින් “ලොලිටා” හි ප්‍රධාන චරිත රඟපෑ ඇය 1963 දී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබුවා ය. ඒ වඩාත් මතු බලාපොරොත්තු තැබිය හැකි නවක නිළිය ලෙසිනී.
වයස අවුරුදු 18ට වැඩි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසුයි වර්ගීකරණය යටතේ සිනමාහල්වලට පැමිණි මෙම සිනමාපටය නැරඹීමට එවකට 15 හැවිරිදි වියේ පසුවූ Sue Lyonට නොහැකි විය. ඉන්පසු සිනමාව තුල එ තරම් සාර්ථකත්වයක් අත්කරගැනීමට ද ඇයට නොහැකි වූවා ය.
ජෝන් හස්ටන්ගේ “The Night of the Iguana” සිනමාපටයේ චරිත නිරුපණය කළ Sue Lyon අවසන් වරට රංගනයෙන් එක්වුයේ 1980 දී ය. ඒ Alligator නම් සිනමාපටය සමඟිනි.