“2020 ග්රැමී සම්මාන” රාත්රියේ තරුව බිලී එයිලිෂ්
හොඳම නවක ගායන ශිල්පියා සහ වසරේ ගීතය ඇතුළු සම්මාන 5ක් දිනා ගනිමින් “2020 ග්රැමී සම්මාන” රාත්රියේ අවධානය තමන් වෙතට හරවා ගැනීමට පොප් ගායන ශිල්පිනි බිලී එයිලිෂ් සමත් විය.
ඇයගේ පළමු ගීත ඇල්බමය වන “When We All Fall Asleep, Where Do We Go?” වෙනුවෙන් වසරේ ගීත ඇල්බමයට හිමි සම්මානය ද දිනා ගැනීමට 18 හැවිරිදි ඇය සමත් වුවා ය. ඒ අනුව බිලී, එම සම්මානය දිනූ ලාබාලම පුද්ගලයා බවට පත් විය. මින් පෙර එම සම්මානය දිනූ ලාබාලම පුද්ගලයා වූයේ ජනප්රිය ගායන ශිල්පිනි ටේලර් ස්විෆ්ට් ය.
“මම මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි වගේ දැනෙන්නේ,” වේදිකාවට ගොඩ වූ ඇය සරදමක් කළා ය. මට හිතෙන්නේ ඔවුන් රසිකයෙක් මෙතනට ගෙනල්ලා දැම්මා කියලා.”
“මම ගොඩක් විහිලු කළත් අවංකවම කියන්න ඕන, සම්මාන ලැබීම ගැන මම ගොඩක් කෘතවේදී වෙනවා කියලා.”
1981 දී ක්රිස්ටෝෆර් ක්රොස් ගෙන් පසුව මෙවැනි ජයග්රහණයක් අත්කරගත් පළමු නිර්මාණ ශිල්පිනිය වන්නේ බිලී එයිලිෂ් ය.
“2020 ග්රැමී සම්මාන” රාත්රියේ දී ඇය දිනූ සම්මාන මෙසේ ය,
වසරේ ගීත ඇල්බමය : When We All Fall Asleep, Where Do We Go? - Billie Eilish
වසරේ වාර්තා තැබූ ගීතය : Bad Guy - Billie Eilish
වසරේ ගීතය : Bad Guy - Billie Eilish O’Connell & Finneas O’Connell
හොඳම නවක ගායන ශිල්පියා : Billie Eilish
හොඳම පොප් හඬ ඇල්බමය “When We All Fall Asleep, Where Do We Go?” - Billie Eilish