“Queen of Katwe” රංගන ශිල්පිනි නිකිතා පර්ල් වැලිග්වා දිවියෙන් සමුගනියි
උගන්ඩාවේ මුඩුක්කු පැල්පත් තුලින් බිහිවූ ලොව පළමු පෙළේ චෙස් ක්‍රීඩිකාවක් ගැන කියවෙන “Queen of Katwe” නම් ඩිස්නි සිනමාපටයේ රඟපෑ නිකිතා පර්ල් වැලිග්වා නම් රංගන ශිල්පිනිය මියගොස් ඇතැයි උගන්ඩා මාධ්‍ය වාර්තා කරනවා.
15 හැවිරිදි වියේ පසුවූ ඇය මොළයේ පිළිකා තත්වයක් නිසා දිවියෙන් සමුගත් බව යි වැඩි දුරටත් වාර්තා වන්නේ.
Queen of Katwe චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ෆියෝනාගේ යෙහෙළිය ලෙස නිකිතා පර්ල් වැලිග්වා රංගනයෙන් දායක විය.
Queen of Katwe සිනමාපටය පිළිබඳව උපාලි ජයසිංහ තැබූ සටහනක් පහතින්,
“විශිෂ්ට ඉන්දියානු සිනමාවේදිනිය මීරා නායර්ගේ - QUEEN of KATWE
“චෙස් කියන්නෙ එකිනෙකා මරා ගන්න ක්‍රීඩාවක්. හැබැයි ඒ ක්‍රීඩාවෙදි පුලුවන් ලෑල්ලෙ ඉන්න නෝන්ජල්ම ඉත්තට ලෑල්ලෙ ඉන්න බලවත්ම ඉත්ත වෙන්න. සැබෑ ජීවිතේදී අපිට ඒක බෑ.”
-ෆියෝනා මුටිසි-
දවසක් උගැන්ඩාවේ දස අතේ ගද ගහණ කුණුගොඩවල්වලිනුත් එදා වේල හොයන එක තම ජීවන සටන බවට පත්කරගත්තු මිනිස්සුත් ඉන්න මුඩුක්කු පැල්පත් වලිනුත් පිරුණු කැත්වේ කියන පුංචි ටවුමට එනව ක්‍රීඩා පුහුණුකරුවෙක්. මිනිහ ඉංජිනේරු අංශයෙන් හොදම ලකුණු ගත්තු ශිෂ්‍යයා වුනාට ක්‍රීඩා අමාත්‍යංශය එයාට ඉංජිනේරු පත්වීමක් නොදී ක්‍රීඩා පුහුණුකරු තනතුරක් දීල මේ දුගී නගරයට එවනව. දැන් මේ මනුස්සය කරකවල අතෑරිය වගේ කැත්වේ මාර්කට් එකේ ජීවිතේට ඉස්කොලෙකට අඩිය නොගහපු කොල්ලො ටිකක් එකතු කරන් ෆුට්බෝල් ගහන්න උගන්නන්නයි මේ ලෑස්තිය.
''සර් ෆුට්බෝල් නම් මතක් කරන්න එපා. අම්මල කියල තියෙන්නෙ ඇට කටු කඩාගෙන ගෙදර ආවට දොස්තරලට දෙන්න සල්ලි නෑ ඒක නිසා උඹලව ගෙදරින් එලෝනව කියල "
'' ඒකත් එහෙමද ? එහෙනන් මම ඔයාලට උගන්නවා රත්තරන් ඔරලෝසු දාපු එවුන් විතරක් කරන සෙල්ලමක්. ඒකෙදි ඇට කටු කුඩුවෙන්නෙ නෑ. දුවිලි නෑ. මඩ නෑ. ඒකට කියන්නෙ ''චෙස් ''.
මේ ක්‍රීඩා උපදේශකවරය පොඩි ලෑලි ගහපු කාමරයක පටන් ගන්නව මිනිහගෙ චෙස් පංතිය. දුප්පත් දරුවො නිසා මිනිහ පංතිය පටන් ගන්න ඉස්සෙල්ල හැමදාම කරන්නෙ මේ රස්තියාදුකාර දුප්පත් පැටවුන්ට සව් කොප්පයක් දෙන එක. එදා මේ උපදේශකය දකිනව පංතියට ඇතුලු නොවී දොර ගාව ඉදන් පංතියට ඔලුව දාගෙන බලන් ඉන්න වයස 14 ක විතර කෙල්ලක්.
'' ඒයි කෙල්ලේ වරෙන් ඇතුලට ''
කෙල්ල ඇතුලට ආව විතරයි මුලු කාමරේම ගඳ ගහන්න පටන් ගන්නව. නහය වහගෙන එහාට මෙහාට දුවන කොල්ලො කෙල්ලො අතරින් ඉස්සරහට ආපු මදාවි කොල්ල අල්ලනව කෙල්ලගෙ බෙල්ලෙන්
'' ගද ගහන එකී දුවපන් ''
කොල්ලට හිතන්නවත් හම්බුවෙන්න නෑ. අකුණක් ගැහුව වගේ ඒකී දෙනව කොල්ලගෙ කම්මුලට අත පුරෝල
'' තව ඉන්නවද මට ගඳයි කියන එවුන් ''
අපේ වගේ තමයි ශක්තිය දැක්කම පංතියම නිශ්ශබ්දයි. උපදේශකය විස්මයෙන් ගල් ගැහිල.
'' නියමයි කෙල්ලෙ ඔයා නම් ! මම මේක හැදුවෙම සටන් කරන එවුන්ට. මොකක්ද ඔයාගෙ නම ? ''
'' ෆියෝලා ! ''
'' මම කටෙන්ඩා ! බොන්න ෆියෝලා ඉස්සෙල්ලම සව් කෝප්පයක් ! ''
එයා සව් කෝප්පෙ දෝතින්ම අරන් බොන්න පටන් ගත්ත. කෝප්පෙ වටේ ඉහිරිලා තිබුණු සව් ඇට ඇය ආසාවෙන් ලෙව කෑව. ෆියෝලගෙ ඇස් දිළිසුනා අප්‍රමාණ වු තෘප්තියෙන්. ඒ තමයි එයාගෙ ජීවිතේටම බීපු රසම රස සව් එක. ඔන්න ඔය විදිහට කටෙන්ඩා හැදුවා නියම චෙස් ටීම් එකක් ජීවිතේට ඉස්කොලෙ නොගිය මදාවි පැල්පත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන්. ටික කාලයක් ගිහිල්ල කටෙන්ඩට හිතුන දැන් ටීම් එක දක්ෂයි කියල. එයා ඔවුන්ව ඉදිරිපත් කරා උගැන්ඩාවෙ තියෙන සුපිරිම පාසැල් එකතුවක චෙස් තරගයකට. තරගයට ඉදිරිපත් කරන්න බෑ මේ දරුවන්ට පාසැලක් නැතුව. එයා ඔවුන්ව ඉදිරිපත් කරා ආරාධිත කණ්ඩායමක් විදිහට. ඒක හරියට ඉස්කොලෙකට ගිය නැති තොට ළග මුඩුක්කුවක කෙල්ලො කොල්ලො ටිකක් රෝයල් තෝමියන් කොල්ලො එක්ක ක්‍රිකට් මැච් එකක් ගහනව වගේ. හැබැයි මේ මුඩුක්කුවෙ එවුවන්ට ජීවිතේ කියන්නෙම සටනක්. ඒක නිසා උන් හරිම ආක්‍රමණශීලියි. චෙස්වලට ඕනම කරන දේ ඒ නිසා උන්ගෙ ඇගේ තිබුණ.
ටයි කෝට් දාගත්තු සුපිරිම සුපිරි පංතිය එක පසෙකත් චීත්ත වලින් ගවුම් කමිස මහගත්තු අන්තම අන්ත පහළ පංතිය තව පසෙකත් මුහුණට මුහුණලා ඉදගත්ත. පහළ පංතියෙ නායිකාව ෆියෝලා. තරගය පටන් අරන් ටික වෙලාවකදී.....
'' ඒයි මුඩුක්කු කෙල්ල උඹේ උප්පරවැට්ටි වලට අහුවෙන්න මේක මුඩුක්කුවක් නෙවෙයි. මම කපනව දැන් තමුසෙගෙ බිෂොප්ව ! ''
'' හොදයි සර් මම මගෙ බිෂොප්ව බිල්ලට දුන්නෙ සර්ගෙ රජා කොටු කරගන්න. දැන් මම කපනව ඔයාගෙ රජා ! ''
චෙස් බෝඩ් උඩින් විසිවෙද්දී පුටු පෙරලෙද්දි අකුරු නූගත් ෆියානෝලා නටමින් ගයමින් රන් කුසලානයක් දොතින් බදාගෙන ඇදුන එයාලගෙ ගඳ ගහන මුඩුක්කුව දිහෑවට. ඒක ලෝකයේ එක් රටක සමස්ත ශිෂ්‍ය ප්‍රජාවක් සමග ක්‍රීඩාවක් තුල සටන් වැදී ජයගත් පළමු අකුරු නූගත් කණ්ඩායම බවට කිසිම සැකයක් නැත. එයද චෙස් සටනකි. බුදධිමතුන්ගේ ක්‍රීඩාවකි.
ටික දවසකට පස්සෙ චෙස් ගුරුවරයගෙ ගේ අස්සෙ ඇහෙනව මෙහෙම දෙබසක්
'' රත්තරනේ මට ඔයාට කියන්න දෙයක් තියෙනව ! ඔයා මට බණින්න නම් එපා''
'' ඉස්සෙල්ලම මට ඒක කියල ඉන්න කටෙන්ඩා ''
'' මට ඊයෙ ඉංජිනේරු පත්වීම ලැබුනා ! නියම පඩියක් හොද ගේ පොඩ්ඩක් , කාර් එකක් . ඒත් මම ඒක එපා කිව්වා !''
'' හරි කටෙන්ඩා . ඒ ඇයි කියල මම දන්නවා. ඔයාට මේ මුඩුක්කුවේ අහිංසක දරුවො දාල යන්න බෑ. එතැන තමයි ඔයාගෙ සතුට, ඔයාගෙ ජීවිතය. උන් තමයි ඔයාගෙ බලාපොරොත්තුව. ! ඔයාගෙ සතුට මගේ සතුටනෙ ඉතිං. ඇයි මං ඔයාට බනින්නෙ. මේ අහන්න කටෙන්ඩා මම හෙට ඉදන් ඒ දරුවන්ට අකුරු උගන්නන්න පටන් ගන්නව !
'' හොදයි වස්තුවේ මේකත් ඔයා අහගන්නකො. මේ ළගදි ෆියෝනා මට කියනව 'සර් මගේ තාත්ත මැරුනෙ ඒඩ්ස් හැදිල. මාව ගද ගැහුවෙ උදේ ඉදන් හවස් වෙනකන් මාර්කට් එකේ අම්මත් එක්ක බඩ ඉරිගු තම්බල විකුණන නිසා. මගෙ අක්කට මේ ජීවිතේ දුක වැඩි නිසා එයා ගණිකාවක් වුනා. මටවත් මගේ අම්මටවත් වේසකමේ යන්න බෑ සර්. අපිට ගොඩයන්න තියෙන එකම මාර්ගය ''චෙස් '' සර්. ඒ නිසා අපිව අතරමං කරල දාල නම් යන්න එපා සර්''
වියෝනා අද උපාධිධාරිනියකි. 2010 දී රුසියාවේ පැවැති 39th Chess Olympiad තරගයේ රුසියාවේ Khanty-Mansiysk හා තරග වැදී පරාජය වුවද 2011, 2012, 2013 දී උගන්ඩාවේ ජාතික චෙස් ශුරතාවය දිනා ගත්තාය. 2016 වනවිට ඇය ලොව ප්‍රථම පංතියේ චෙස් ක්‍රීඩිකාවකි. කටෙන්ඩා ඒ ජීවමාන දුශ්ෂෙයින් අද උගන්ඩා ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයා ය.
-උපාලි ජයසිංහ”