ධනපාල උඩවත්ත 70 දශකයේදී සංගීත ශිල්පියෙකු ලෙස කලා ලෝකයේ අත්පොත් තැබූ ජනප්‍රිය තරුවකි. තමන් ගැයූ ඉමිහිරි ගීත වෙනුවෙන් අතිශය වටිනාකමක් තවමත් ලබමින් සිටින ගායකයකු වශයෙන් ධනපාල උඩවත්ත හැඳින්විය හැකිය.
හෙට 20 වැනි බදාදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පස්වරු 02ට 'ඔබ ආයෙමත් ඇවිදින්' ගී ආවර්ජනා සැමරුමක් පැවැත්වෙන්නේ මේ අසමසම ගායකයාගේ එකී වටිනාකම නිසාමය.
සිය පුතණුවන් සංගීත සංයෝජනය කළ 'මං ඉතාලියේ තනි වුණා' ගීතයත් එහිදී ගයන්නට නියමිත අතර ඒ හැරෙන්නට ඈ නීල වරල පීරලා, පායල අ සඳ, කියයි මිහිරි කතා, මා ආදරණීය මගේ අම්මා වෙතටයි ඇතුළු ජනප්‍රිය ගීත 10ක් ගායනා කිරීමට නියමිත බව ධනපාල උඩවත්ත මහතා 'මිරර් ආට්' වෙත පැවසීය. සිය පුතුන් වන ගයාන්, ශවීන් සමග ප්‍රසංගයට සහභාගි වීමට නියමිත බව කී ධනපාල උඩවත්ත මහතා සිය අතීතාවර්ජනය කෙටියෙන් මෙසේ සිදු කළේය.
"මම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 57ක්. 70දි 'කියයි මිහිරි කතා' ගීතය කියමින් තමයි මම ගායකයෙකු හැටියට සම්බන්ධ වුණේ. ඊට පසුව ඈ නීල වරල පීරලා ගීතයත් අනතුරුව ගැයූ ගීතවලටත් ඉහළ රසික ප්‍රසාදයක් හිමි වුණා. අදත් මේ ගීත ගයන්න ප්‍රසංග වේදිකාවල ඉහළ ඉල්ලුමක් තියෙනවා. රටේ බාහිර ප්‍රශ්න ඇරෙන්න මේ වෙනකල් සංගීත ප්රසංගවලටත් ලැබෙනා ආරාධනාවල අඩුවක් නෑ. 1968දි මම ගුවන් විදුලියේ 'බයිලා ඔඩිෂන්' පාස් වුණා. 88 දෙනෙක් සහභාගි වුණ ඔඩිෂන් එකෙන් 08 දෙනෙකු පමණයි තෝරා ගැනීමට නියමිත වුණේ. මම එයින් පළමුවැනියා වුණා. රුක්මණි දේවී, සී.ටී. ප්‍රනාන්දු, රූබසිංහ මාස්ටර්. ඊට පස්සේ මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණිය සමත් සරල ගී ගායකයෙකු වුණා. ඒ නිසා මම බයිලා ගීත ගායකයෙකු විතරක් හඳුන්වනවාට මම කැමති නැහැ. 80දි මා ආදරණීය මගේ අම්මා වෙතටයි, 93දි හසලක ගාමිණී ගීතය ගායනා කළා. ඒවා බයිලා ගීත නෙවෙයි. මේ වෙද්දි මම සින්දු 700ක් පමණ ගායනා කරලා තියෙනවා. ජෝතිපාල මහත්තයා සමග චිත්‍රපටි ගීත ගායනා කළා. රඟපෑමටත් යොමු වුණා.
වර්නන් පෙරේරා මහතා නිසා තමයි අද ධනපාල උඩවත්ත කියලා කෙනෙක් ඉන්නේ. ඔහු මට බෙහෙවින් ගුරුහරුකම් දුන්නා මේ ගමන එන්නට. මගේ තත්තත් ටවර්හෝල් නළුවෙක්. තාත්තත් අම්මත් නිසා තමයි මම අද මේ වගේ තැනකට ආවේ. ඒ නිසාම මම අද තවමත් ක්ෂේත්රයේ ඉහළින්ම ඉන්නවා."
ශිවන්ති ප්‍රනාන්දු
Pic : Shashi Yasantha Photography