ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ විප්ලවීය වෙනසක් ඇති කළ තරුණ ගායන ශිල්පින් අතළොස්ස අතරේ සුවිශේෂි තැනක් සෆ්රාස්ට හිමිවේ. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධත්වයෙන් පිරුණු ගීත රැසක් නිකුත් කළ සෆ්රාස් නුදුරේම තවත් ගීත කිහිපයක්ම එළිදක්වන්නට සූදානමින් සිටියි. මේ නිසාම මෙවර මිරර් ආර්ට්ස් තුළින්ද අප ඔහුට මෙසේ ඉඩක් වෙන් කළා.
සෆ්රාස් කොහොමද අලුත් වැඩ වල තත්ත්වේ..
ඉරාජ් එක්ක කරපු ආදර කෝච්චියේ ගීතයෙන් පස්සේ මේ දිනවල තව අලුත් වැඩ කිහිපයක් කරගෙන යනවා. ඒ අතරින් අනේ සුරංගනී.. කියලා අලුත් ගීතයක් තව දින කිහිපයකින් නිකුත් කරන්න සූදානම් කරලා තියෙනවා. මේක සුරාංගනි.. කියලා අපේ ජනප්‍රිය වුණේ ගීතයේ රිමෙක් එකක්. මේ ගීතයට අමතරව තව ඉරාජ් එක්ක අලුත් ගීත කිහිපයක්ම කරන්න සුදානම් කරලා තියෙනවා. මේ දවස්වල ඒ වැඩ කටයුතු තමයි සිදු කරගෙන යන්නේ.
මතකද මුලින්ම ගායකයෙක් විදිහට මේ ක්ෂේත්රයට ආපු හැටි..
ඔව් මතකයි. මුලින්ම මම ගීතයක් ගායනා කළේ 2005 වසරේ. ඉඟිකරනා.. තමයි ඒ ගීතයේ නම. ගීතය ලිව්වේ ස්වර්ණවාහිනියේ වැඩ කරපු සුමේධ අමරසිංහ. සංගීතවත් කළේ මගේ යාළුවෙක් රිසි කියලා. මේ ගීතය මම එළිදැක්වුයේ රූප රචනාවක් සමග එම් එන්ටර්ට්‍රේට්මන්ට් හරහා. පොඩි කාලේ ඉඳලා සංගීතය පැත්තට යොමු වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණා. හිතේ ආසාවට ගීත ගැයුවට හැබැයි මම මුදල් හම්බ කරන්න නම් මේ ක්ෂේත්රයට ආවේ නැහැ.
දැනට ගීත කොපමණ ප්‍රමාණයක් සෆ්රාස් නිකුත් කරලා තියෙනවාද..
මම හිතන්නේ ගීත පණහකට වඩා වැඩියි. ඔය අතරින් රැජිණ ඔබයි, බොරු නාඩගම්, යන්න එපා, අතින් අල්ලා, හිනා මල්, සඳ මාගේ වැනි ගීත ගොඩක්ම මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව ඉරාජ් එක්ක කරපු ආදර කෝච්චිය පළමු හා දෙවැනි ගීත දෙකම මිනිස්සු බොහෝම ආදරයෙන් රසවිඳපු ගීත දෙකක් වුණා.
ගීත නිකුත් කරන එක දැන් රැල්ලක් බවට පත් වෙලා නේද..
ඔව්, අපි ගීත ගයපු මුල් කාලේ මේ තත්ත්වය වෙනස්. ගීතයක් කියලා ඒක ප්‍රචාරය කරන්න අපිට ලොකු මහන්සි වෙන්න වුණා. කරපු ගීතය අරගන නාලිකාවලට ගිහින් දෙන්න සිද්ධ වුණා. සමහර අවස්ථාවලදි අපිට මුදල් දීලා තමයි ගීත ප්‍රචාරය කරන්න වුණේ. අද එහෙම නැහැ. සමාජ මාධ්‍යය හරහා ඕනා කෙනෙක්ට ගීතයක් අද ලේසියෙන් ජනප්‍රිය කරගන්න හැකියාව තියෙනවා. ඒක අතනික් එකේ හොඳ පැත්තකුත් තියෙනවා. අද ගොඩක් ඉන්නවා හොඳ හැකියාවක් තියෙන තරුණ පිරිස්. ඉතින් සමාජ මාධ්‍යය ඒ අයට අද හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා තමන් හැකියාව ඉදිරිපත් කරන්න.
දශක දෙකකට ආසන්න කාලයක් ඔබ ක්ෂේත්රයට දැන් ඇවිල්ලා..
ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම මම එළිදක්වපු නිර්මාණ මිනිස්සු බොහෝම ආසාවන් රසවින්දා. ගායකයෙකුට ලබන්න පුළුවන් උපරිම දේ තමයි මිනිස්සුන්ගේ ආදරය. ඉතින් මට අද ඒ දේ ලැබිලා තියෙනවා. ඒ වගේම මම කරපු නිර්මාණ ගැන ගොඩක්ම තෘප්තිමක් වෙනවා. මොකද, ඒ හැම නිර්මාණයක් තුළම මම එකිනෙකට වෙනස් බවක් දකිනවා. ඉදිරියට නිකුත් කරන මගේ ගීතවලත් ඒ වෙනස තියෙවි කියලා මම හිතනවා. අනික මම දිගු කාලයක් තිස්සේ විදෙස් ගත වෙලා ඉන්නේ. නමුත්, ඒක මගේ සංගීත වැඩවලට බාධාවක් කරගත්තේ නැහැ. මම මේ වැඩෙට ආසයි. ඉදිරියටත් ඒක එහෙම්මමයි.
ගායකයෙක් විදිහට ආපු මේ ගමන..
ගොඩක් අය මට උදව් කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ ගීත ලියපු හා සංගීතවක් කළ හැම දෙනාවම. ඊට අමතරව ඉරාජ් විරරත්න. ඔහු සමග මම වැඩ කිහිපයක්ම කළා. අන්තිමට කරපු ආදර කෝචිචයත් ඔහුගේ වැඩක්. සමිතා, කයිසර් මේ හැමෝම ආදරයෙන් මතක් කරන්න ඕනා. තව මගේ පවුලේ හැමෝම. ඒ අයගේ උදව් නිසා තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ.
සංවාදය : බුද්ධික සේනාධීර