මම කොහෙත්ම හිතන් නෑ මම වැදගත් මිනිහෙක් කියලා කොටින්ම කිව්වොත් මට මමයි කියල හිතෙන්නෙම නෑ. ඒකට හේතුව මට කවදාවත් මම වෙන්න බෑ. අනික් අය ගැන මම දන්නෑ. මම කියල කෙනෙක් මට නෑ. මම කියල කෙනෙක් ඉන්නවානම් ඒ මම කියන කෙනා හැදිල තියෙන්නේ අනික් අයගෙන්මයි. මම වටහා ගෙන තියන විධියට ලෝකයේ මමෙකුට බිහිවෙන්න බෑ අනෙක් කිසිකෙනෙක් නැතුව අනික් සියලු දෙනා එකතු වෙලා තමයි මම හදන්නේ. හැබැයි අපි ඒක හිතන්නේ නෑ. කිසිකෙනෙක් නෑ මම වගේ කියලානේ හිතන්නේ. නමුත් ඒ පුද්ගලයා දන්නෙ නෑ. ඒ පුද්ගලයාව හදල තියෙන්නේ කොච්චර පුද්ගලයෝ සංඛ්‍යාවක් එකතු වෙලා ද කියල ඒ එකතුවෙන අය ඥාාණවන්ත බුද්ධිමත් උගත් ශිෂ්ට සම්පන්න හැදිච්ච මිනිස්සු එකතු වෙලා විතරක් නොවෙයි අපිව හදල තියෙන්නේ වල් බල්ලෝ ඡඩයෝ හොරු තක්කඩි මිනීමරුවෝ. පාදඩයෝ පිස්සෝ අන්ධයෝ අබ්බගාතයෝ ආදී එක එක නානාක්ප්‍රකාර සමාජයේ ඉන්න හැමෝම එකතු වෙලා තියනවා. මම කියල එකෙක් හදන්න මොකද වැරදි කාරයකුගෙනුත් අපට ඉගෙන ගන්න දෙයක් තියනවා. මෝඩයන්ගෙනුත් ඉගෙන ගන්න දෙයක් තියනවා. එහෙම මිසක් කවදාවත් හිතන්නේ නෑ. අනික් කිසිවෙක් නැතුව මම කියල එකෙක් හදන්න පුළුවන් කියලා. ඒකයි මගේ මතය. මේ වගේ අපූරු කතාවක් අපිට කිව්වේ. ප්‍රවීණ මාධ්‍යවේදියකු ලේඛකයකු විචාරකයකු වන කරුණාරත්න අමරසිංහ මහතා මෙරට භාෂාව හා සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින්නාවු විද්වතෙක් ද වන ඒ මහතා නිවැරදි භාෂා භාවිතයන් පිළිබඳ නිරන්තරයෙන් හඬක් නඟන ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සඳහා මඟ පෙන්වන්නකු ද වේ. මේ අපුර්වතම කෘතහස්ත නිර්මාණවේදියා තම නිර්මාණශීලී බොහෝ හැකියාවන් ඔස්සේ ජන මනසට ආමන්ත්‍රණය කරනු ලැබුවේ ලේඛන කලාව ඔස්සේ ද විටක පරිවර්තකයකු ස්වතන්ත්‍ර ලේඛකයකු ලෙසටය. උපාධිධාරී ගුරුසේවයේ ද කළක් සේවයේ නියැළෙමින් සිටි අතරම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවමින් සේවයේ නියුතු විය. කරුණාරත්න අමරසිංහ මහතා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු, ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු පිටපත් රචකයකු වැඩසටහන් මෙහෙයවන්නකු රූපවාහිනී මාධ්‍යයේ හඬ කැවීම් ශිල්පියෙකු වැඩසටහන් මෙහෙයවන්නකු ෙවිදිකා නාට්‍ය රංග ශිල්පියෙකු හා නාට්‍ය රචකයකු ද වේ. අපේ කතානායකයා ගීත රචකයකු ද ගුවන් විදුලි සංගීතමය වැඩසටහන් රචනයෙන් ද නිෂ්පාදනයෙන් ද විශාල මෙහෙවරක් සිදුකරනු ලැබු අතර විශ්ව සාහිත්‍යය කෘතින් ගණනාවක් සිංහලයට පරිවර්තනය කරනු ලැබීය. පුවත්පත් කලාවට ද ඉමහත්සේ පි‍්‍රයතාවයක් ද දැක් වූ කරුණාරත්න අමරසිංහ ජනදින, ජනසතිය පුවත්පත් හි ප්‍රවෘත්ති කර්තෘවරයා විචිත්‍රාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. තමන්ටම ආවේණික කට හඬකින් විවිධ චරිත නිරූපණය කරන මේ කලාකරුවා ගුවන් විදුලි නාට්‍ය වලට සවන් පත් යොමු කරන අයට නම් අලුත් අයකු ද නොවනු ඇත. දක්ෂ හඬ කැවීම් ශිල්පියකු සේම ග්‍රන්ථ කර්තෘවරයකු වන අද අපේ කතා නායකයා පසුගිය දා එළිදැක්වුයේ හිතක මතක සුප්‍රකටයන් තුළ විසූ අප්‍රකටයෝ නම් ග්‍රන්ථයයි. ඒ නිමිත්තෙන් පුරා අඩසියවසකටත් වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැළෙන කෘතහස්ත කලාකරුවා හා කුලුපගව අපි කතාබස් කරමු.
හිතක මතක කෘතිය රචනා කරමින් පාඨකයන් අතරට එන ඔබ මේ වනවිට බොහෝ කෘති ප්‍රමාණයක ලේඛකයෙක්?
මම හා පුරා කියල ලේඛන කලාවට එක්වන්නේ 1987 ලිංගික ගැටලු විද්‍යාත්මක සංවාදයක්’ කෘතිය රචනා කරමින් එදා මෙදා තුර ගත්තොත් මා අතින් ස්වතන්ත්‍ර කෘති 05ක් පරිවර්තන කෘති 07ක් ළමා පොත් 10ක් හා වෙනත් මාතෘකා ඔස්සේ ලියවූ කෘති 03 මේ වනවිට රචනා වෙලා තියනවා. එහෙම ගත්තොත් මගේ මේ නවතම කෘතිය වූ හිතක මතක මගේ 26වන පොත හැටියට හඳුන්වන්න පුළුවන්.
වසරක් පාසා පොත්ලිවීමේ කටයුත්තේ නියැළෙනවද?
නෑ. නෑ. එහෙම වැඩක් මම කරන්නේ නෑ. මට ඕනෙ නෑ අහවල් කාලෙට මෙහෙම ලියනවා කියල තරගෙට පොත් ලියන්න. එහෙම මෝඩ කල්පනාවක් මා ළඟ කොහොමත් නෑ. මට යම්කිසි වැදගත් දෙයක් ප්‍රකාශ කරන්න තියනවා නම් ඒක මගේ හිතට හිතිලා හරයක් ඇති දෙයක් ඒ තුළින් දෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට යහපතක් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනවානම් මම අතින් පොතක් ලියවෙයි.
සම්මාන සඳහා පොත් ලියන්නෙක් ද ඔබ?
සම්මාන දොළදුකක් මට නෑ. සම්මාන මම මිම්මක් හැටියට කොහොමත් සලකන්නේ නැති කෙනෙක් විශේෂයෙන් ලංකාවේ සම්මාන කොහොමත් මම සලකන්නේ නෑ. ඒකට හේතුව සම්මානයක් කිව්වොත් මගේ හිතතුළ සිතුවිල්ලක් ඇතිවෙන්නෙම නෑ. ඒ පොත කියවන්න. මොකද අපේ රටේ සම්මාන දෙන විනිශ්චය මණ්ඩලවල ඉන්න හැම එකාම දන්නවා. ඔවුන්ගේ අලගිය තැන් මුලගිය තැන් අවබෝධය භාෂා ඥානය ඔක්කොම දන්නවා. ඒ නිසා මම දන්නවා සම්මානයක් දුන්නොත් සම්මානේ තත්ත්වය මොකක්ද කියලා. මම මෙහෙම කියන්නේ අතීතයේ නොවෙයි. වර්තමානය ගැන අතීතයේ අපේ ලේඛකයෝ සම්මාන පිස්සු වෙන් පොත් ලිව්වේ නෑ. නවකතා කෙටි කතා පර්වර්තන නාට්‍ය, චිත්‍රපට ආදී කිසිවක් හැම ක්ෂේත්‍රයකම තිබුණා. නමුත් ඒ ලිව්ව අයට යමක් කියන්න තිබ්බා. නිර්මාණ ශක්තියක් තිබුණා. පිස්සුවට ලිව්වේ නෑ. නමුත් සම්මාන විනිශ්චය මණ්ඩල වල ඉන්න අයගේ තත්ත්වය මම දන්න නිසා. ඒ විනිශ්චයේ තරම මම හොඳ හැටි දන්නවා. මට කියන්න දෙයක් තියනවා නම් ඒක හරයක් ඇති දෙයක් නම් මම පොතක් ලියනවා.
හිතක මතක සුප්‍රකටයන් තුළ විසූ අප්‍රකටයෝ ග්‍රන්ථය ඔබ අතින් රචනා වීමට සුවිශේෂී හේතුවක් තියනවද?
2002 වසරේ ජනවාරි 29 වැනිදා මා මිත්‍ර ලේඛයකු වූ සේනාරත්න වීරසිංහ රචනා කළ පොතක් දොරට වැඩීමේ උත්සවයක් තිබුණා. මමත් ඒ සඳහා සහභාගි වුණා. ඒ උත්සවයට එවක ඉරිදා ලක්බිම ප්‍රධාන කර්තෘවරයාව සිටි සුන්දර නිහතාමානී ද මැල් මහතාත් ඇවිත් හිටියා. ඔහුත් මගේ යාළුවෙක්. අප දෙදෙනාගේ කලක හමුවීමක් නිසාවෙන් අපි නොයෙක් දේ කතා කළා. ඔහු පැමිණි සිටි වෑන් රථයෙන් අපි දෙදෙනාම එකට පැමිණෙන අතරේ මහගම සේකර ගැන කතා බහක් අප අතර ඇතිවුණා. මම සුන්දරගෙන් ඇහුවා සේකර ගේ මුල්ම නවකතාව මොකකද් කියල. සුන්දර මට කිව්වා තුංමංහන්දිය නේද කියලා. මම කිව්වා නෑ. සේකරගේ මුල්ම කතාව මොකක්ද කියල දන්න දෙන්නයි අද ඉන්නේ ඒ දෙන්නම අදටත් ජීවතුන් අතර ඉන්නවා. කියලා ඒ පාර සුන්දර ඇහුවා ඒ කවුද කියලා. මම කිව්වා ඒ එක්කෙනෙක් මම අනිත් කෙනා සුනන්ද මහේන්ද්‍ර කියලා. අපි දෙන්නාම සේකරගේ මුල්ම නවකතාවේ අත්පිටපත කියෙව්වා කියල මම කිව්වා. ඒ කොහොමද කියලත් මම සුන්දරට කිව්වා. සේකරව මමත් සුනන්දත් හඳුනාගත්තේ ගුවන් විදුලියේදී දවසක් සේකර අපි දෙදෙනාට යෝජනාවක් ගෙනාවා. නව කතාවක් ලිව්වා. හොඳ ද කියල බලන්න ගෙදර එන්න කියල දවසක් තකහනියක් සුනන්දත් මමත් සේකරගේ රඳාවානේ ගෙදර ගියා මේ වැඩේටම. සේකරගේ ගම්පළාතේ. ඇලක අපි නාලා රෑ බෝවෙලා හීන් අඩියක් එහෙම ගහලා සේකරගේ අම්මා වියපු පැදුරු දෙකක බිම ඇලවුණේ අපි දෙන්නා සේකරගේ මුල්ම නවකතාව දැනගන්න. චිමිනි ලාම්පුවක් බිත්ති කඩක තැබු සේකර සිගරැට්ටුවක් ද දල්වා ගෙන හාන්සි පුටුවේ වාඩිගෙන අපිට ඇසෙන්නට අත් පිටපත කියෙව්වේ තමන්ගේ මුල්ම නවකතාව ගැන සවිස්තරාත්මක කතාබහක් ඇතුවය. මැදියම් රැයපහන් වනතුරු සේකරයන් එසේ පැවසූ කතාව අසා මමත් සුනන්දත් පසුදින පැමිණියේ ඒ කිවූ කතාවේ සැබෑ රසාස්වාදය මෙනෙහි කරමිනි. අතිශයින්ම හෘදයංගමය කාව්‍ය බසකින් රචනා කොට තිබූ ඒ අත්පිටපත තුළ කලාකාරියකගේ සහ කවියෙකුගේ භාවමය ජීවිතයට උරුම වූ සංකීර්ණ චෛතසික සංඝටනයක් සෞන්දර්යාත්මකව නිර්මාණශීලීව එම කතාව ලියා තිබුණේ ‘ගඟට දැමු ඔරු නමින්ය. එම අත්පිටපත කිසිදාක මුද්‍රණයකින් අපි පොතක් ලෙස එළි දකිනවා යන්න විශ්වාසය නොතැබුවේ එහි සඳහන් කතාවේ එන චරිත ඒ වනවිටත් ජීවත්වන නිසාවෙනි. මේ කතාව ඇසුව සුන්දර මට යෝජනා කළේ ඔය වගේ සුවිශේෂී පුද්ගලයන්ගේ අප්‍රකටව පවතින කතා උඹ දන්නවා නම් ඒවා අපේ පත්තරයට ලියන ලෙසය. ඒ යෝජනාවට මම කැමැති වුයේ සුන්දරගේ දැඩි පෙලඹීම නිසාමය. ඒ අනුව මම 2002 වසරේ සිට ඉරිදා ලක්බිම පත්තරයට මෙවැනි කවුරුත් නොදන්නා එක එක පුද්ගලයන්ගේ නොඇසූ කතා පෙළක් ලිව්වේ අමර සැමරුම් නමිනි. එලෙස මම වසර කීපයක් ලියු ලිපි එකතුවක් මෙලෙස හිතක මතක නමින් ග්‍රන්ථයක් ලෙස නිකුත් කළා.
අමර සැමරුම් සමාජ මාධ්‍ය ජාලයේත් සැරිසැරිම ඇරඹියා නොවේද?
මගේ බිරිය මිය යාමත් සමඟ මගේ මේ අමර සැමරුම් ලියන එක නතර වුණා. ඔය අතරේ සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ මගේ බාල දියණිය රුචිරා තාමරසී දවසක් මට ෆේස්බුක් ගිණුමක් හදලා දුන්නා. කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නකොට මගේ දුව දන්නවා මාව වතුරට තල්ලු කළොත් අනිවාර්යෙන්ම ජබු ගහල මම ගොඩඑනවා කියලා. මාව තාක්ෂණයේ විප්ලවයට තල්ලු කරල දැම්මා. අකමැත්තෙන් වුණත් මම දුවගේ තල්ලුවට ඇඟිල්ලෙන් ඇන ඇන ටයිප් කරමින් මම කලින් පත්තරයට ලිව්ව ලිපි තවත් අලුත් කරුණු ඇතුව ලියන්න ගත්තා. හිතක මතක නමින් ෆේස්බුක් එකට ඔය වැඩේ මගේ ශිෂ්‍යාවක වන ධම්මිකා කරලියද්ද දැනගෙන මට යෝජනාවක් ගෙනාවා. සර්ට හොඳ නිවැරදි උච්චාරණයක් ඇතුව භාෂාව අසුරුවන්න පුළුවන් වොයිස් රෙකෝඩින්. ඇප් එක දාගෙන සර්ට ලැබිල තියන වොයිස් වරමින් ප්‍රයෝජනයක් ගන්න කියල වැඩේ නැගල ගියා. මගේ ආටිකල් පැයෙන් දෙකෙන් නවීණ තාක්ෂණය ඔස්සේ අප්ලෝඩ්ි වුණා. මගේ ආටිකල්වලට කලින් හිටියේ පුවත්පත් පාඨකයෝ. නමුත් ෆේස්බුක් එකත් සමඟ වල්ඩ් රවුන් රීඩර් ෂිප් ක‍්‍රවුඩ් එකක් මට හැදුණා. දවසක් විදර්ශනා පොත් ප්‍රකාශක ජනක ඉනිමංකඩ මට යෝජනාවක් ගෙන ආවා. මම පොතක් හැටියට මේ කතා එකතුවක් කරන්න කැමැතියි. ඒකට ලෑස්තිවෙන්න කියල මාව උනන්දු කරල ගත්ත නිසා හිතක මතක පොත නිකුත් වුණා.
සුප්‍රකටයන් තුළ තිබු අප්‍රකට තොරතුරු පදනම්ව කොපමණ කතා ගොන්නක් ඔබ ගොනු කළාද?
මම කතා තිහක් පොත වෙනුවෙන් සුදානම් කළා. නමුත් පොතේ වියදම අඩු කරන්න එක්ක එයින් කතා විස්සක් මේ සඳහා ඇතුළත් කළා. තව මෙවැනි කතා පොත් තුන හතරක් මුද්‍රණය කරන්න මම ළඟ ලිපි එකතුවක් තියනවා. ඉදිරියේදී ඒවාත් වෙලුම් වශයෙන් එළි දක්වන්න සැලසුම් කරනවා.
මේ කෘතියට ඔබ ඇතුළත් කළ සුප්‍රකටයන් තුළ විසූ අප්‍රකටයෝ කවුරුන්ද?
මම ළගින් ඇසුරු කරපු ඒ අයගෙන්ම අසා දැනගත් සැඟවුණු තොරතුරු සහිත ඔවුන්ගේ අත්දැකීම් තමයි මේ කතාවල තියෙන්නේ. ලංකාවේ හිටිය කීර්තිමත් ලේඛකයෝ කවියෝ්, ගීත රචකයෝ නාට්‍යකරුවෝ, සිනමාකරුවෝ ඇතුළු හැම ක්ෂේත්‍රයකම උදවිය ඉන්නවා. මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර, ඩෝල්ටන් අල්විස්, අජන්තා රණසිංහ, බණ්ඩාර විජේතුංග, අශෝක කොළඹගේ, සුගතපාල ද සිල්වා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ශ්‍රී ලාල් කොඩිකාර, පියදාස වැලිකන්නගේ, විමල් අභයසුන්දර වැනි පිරිසක් මේ කතාවට ඇතුලත් වෙලා ඉන්නවා.
ඔබ කලා ලෝකයේ ඇසූ පිරුතැන් සොයාගිය ගුවන් විදුලි මාධ්‍යයට සමු දී දැන් ග්‍රන්ථ කරණයට පමණක් පිවිසිලා ද?
නාට්‍ය ලියවිල්ල නම් දැන් සම්පූර්ණයෙන් කෙරෙන්නෑ. ග්‍රන්ථකරණය පැත්ත තමයි දැන් මම කරන්නේ. ඒකට හේතුව අපි සිටිය යුගයේ තිබුණු වැඩසටහන්වල උසස් මට්ටම දැන් පිරිහිලා ගිහින්. අද බිහිවෙලා තියෙන ඇතැම් වලත්ත මාධ්‍ය ගැන කවුරුන් කතා කරනවා. ඒව කරන තරුණ පිරිස් වෙත කවුරුත් බැන අඩගහනවා. නමුත් මම කියන්නේ ඒ කෙල්ලො කොල්ලෝ නෙමේ මේකට වග කියන්න ඕනේ. මේ විනාශයේ රෝග නිධානය තියෙන්නේ පාසල් පද්ධතියේ. අධ්‍යාපන පරිපාලනයේ තිබූ විනාශකාරී ක්‍රියා පිළිවෙත නිසාවෙන් අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් නොමැතිකම නිසාවෙන් අධ්‍යාපනය දියහැකි ගුරුපරම්පරාවක් නොමැතිකම තමයි මේ විනාශයට මුල වුණේ කියලයි. මට හැඟෙන්නේ.
ගුවන් විදුලි මාධ්‍යයේ ඔබ අමතක නොවන චරිතයක්?
සුනන්ද මහේන්ද්‍ර, අශෝක කොළඹගේ, දයාරත්න රණතුංග, බණ්ඩාර විජේතුංග, ස්වර්ණ ශි‍්‍ර බණ්ඩාර, අජන්තා රණසිංහ මම අපි හත්දෙනාම ගුවන් විදුලියේ ළමා පිටියෙන් තමයි ආවේ. අපි හත්දෙනාම නුගේගොඩ අවට තමයි. පදිංචි වෙලා හිටියේ අපේ හමුවීම සිද්ධ වුණේ. නුගේගොඩ එවක තිබුණු ලෝටස් බුක්ෂොප් එකේ එහිදී අපිට බටහිර සාහිත්‍ය ගැන පොතපත පරිශීලනය කරන්න ලැබුණා. අපේ දක්ෂතා ඔපමට්ටම් කළේ ගුවන් විදුලියේ ළමා පිටියෙන් එවක ළමා පිටිය මෙහෙය වූ මාධ්‍ය ප්‍රවීණයෝ භාෂාවේ කෙළ පැමිණි අය අපිට ඔවුන්ගේ ගුරුහරුකම නොඅඩුව ලැබුණා. අපේ දක්ෂතා ඔපමට්ටම් කරගන්න.
ගුවන් විදුලියේ ළමා පිටිය තුළින් ඔබ ලැබූ අතිමහත් දැනුම ඔබේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් ඇති කළා.
පාසල් වියේ සිටම ගුවන් විදුලියේ ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම රූපවාහිනි මාධ්‍ය පැමිණිමත් සමඟ හඬ කැවිම් ශිල්පියකු ලෙස සාර්ථක ගමනක් යන්න මට ලොකු ශක්තියක් ලැබුණා. 1957 දී තමයි මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් ලෙස සුපර් ග්‍රේඩ් ශ්‍රේණියෙන් ශ්‍රේණිගතවන්නේ.
අද ක්ෂේත්‍රයේ බිහිවන අංකුර ගැන මොකද ඔබට හිතෙන්නේ?
අපිව තෝරගත්තේ ඔඩිෂන් තුනක් තියල. මම තවමත් ඉගෙන ගන්න කෙනෙක්. ජීවිත කාලයේ කිසිම කෙනෙක්ට ප්‍රවීණයෙක් වෙන්න බෑ. හැමදාම අපි ආධුනිකයි. අපි හිතන්න ඕනෙ ආධුනිකයි කියලා. අපි එහෙම හිතුවේ නැත්තම් අපිට එයින් එහාට යන්න බෑ. ප්‍රවීණයෝ කියල අංතට්ටුව ඔළුවේ තියාගත්තොත් ඉවරයි. අද කොල්ලෝ කෙල්ලන්ට ඕනෙ එක රැයකින් ජනපි‍්‍රයවෙන්න. එහෙම තත්ත්වයක් තුළ අපි අදටත් ඉගෙන ගන්නවා. මේ ජොබ්එක කරන්න නම් අපි නිරන්තයෙන් සතත අභ්‍යාසයේම යෙදිය යුතුයි. එහෙම නොවන්න තව කවර කතාද?
ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන මතකය අලුත් කලොත්?
මම උපාධියට හැදෑරුවේ සංස්කෘත, දර්ශනය සිංහල විෂයන්, හැබැයි මම විශ්වවිද්‍යාලයට යන්න කලින්. පාලි, සංස්කෘත ඉගෙන ගෙන තිබුණා. එවක හිටිය ශ්‍රේෂ්ඨ පඩිවරයෙක් වූ කෙරමිණියේ ජිනානන්ද හාමුදුරුවන්ගෙන් මා සංස්කෘත භාෂාව හැදෑරීමට පෙළඹුවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. එතුමා තමයි සංස්කෘත භාෂාවේ රසකාමය මට ඇති කළේ. එතුමා නිසයි මම මේ භාෂාව හැදැරූවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඒ මගපෙන්වීම පසුබිම මට ගොඩක් උපකාර වුණා. එවක හිටිය බහුශ්‍රැත පඬිවරුන්ගෙන් අපිට විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගන්න ලැබුණා. එවක විශ්වවිද්‍යාලය අපට ශාස්ත්‍රීය නිධානයක්. අද වගේ නමට අචාර්යවරු මහාචාර්යවරු එදා විශ්වවිද්‍යාලවල හිටියේ නෑ.
කරුණාරත්න අමරසිංහ නම් හඬ කැවීම් ශිල්පියා මෙතෙක් හඬ මුසු කළ නිර්මාණ අතරින් වඩාත් පේ‍්‍රක්ෂක ශ්‍රාවක හද දිනු නිර්මාණ චරිත මොනවද?
ආර්.කේ. නාරායන්ගේ මල්ගුඩි දවස නිර්මාණයේ රසකැවිලි වෙළෙන්දාගේ පියාගේ චරිතය, සුරංගනා කතා, සුරඟන කතා කරළිය, මායා බෝංචි වැල, ඇලඩින් සහ පුදුම පහන ගුවන් විදුලියේ මම රඟපෑ නාට්‍ය අතරින් ගජමුතු අතිශයින් ජනපි‍්‍රය වුණා. ඔෂින් නාට්‍යයේ නසෝමි ඒ අතරින් තවත් ජනපි‍්‍රය වූ චරිතයක්.
තබ්ලාව වාදනය වගේම ගායන හැකියාවක් ඔබ සතුයි?
ඒ හැකියාව මා තුළ තියනවා කියල බොහෝ දෙනෙක් නොදන්නවාත් විය හැකියි. ඒ යුගයේ හේවුඩ් ආයතනය අද සෞන්දර්ය විශ්ව විද්‍යාලය එවක රාජ්‍ය සංගීත විද්‍යාලය මේකෙ තිබුණා. වසර හයක පාඨමාලාවක්. සෙනසුරාදා පන්තිය නමින් ඒ සඳහා රැකියා කරන අයට වගේම උනන්දුවක් තියන අයට සංගීතය හදාරන්න අවස්ථාව ලබා දීල තිබුණා. මම වසර දෙකක් මෙහි සංගීතය ඉගෙන ගත්තා. පළමු වසරේ ගායනය ලෙස උත්තර භාරතීය රාගධාරී සංගීතය, දෙවන අවුරුද්දේ වාදනය ඒ සඳහා මම තෝරගත්තේ තබ්ලාව. කෙටි කාලයක් තුළ ඒ අංශ දෙක ඉගෙනීම නිසා අදටත් මට වාදනයේ වගේම ගායනයෙත් අඩුපාඩු හොඳින් හඳුනාගන්න පුළුවන්.
වෘත්තියෙන් ඔබ ගුරුවරයෙක්?
බොහෝ දෙනෙක් හිතන්නේ මම ගුවන් විදුලියේ නිත්‍ය සේවා සාමාජිකයෙක් කියා. 1970 සිට 1988 දක්වා මම උපාධිධාරී ගුරු සේවයේ නියැළී සිටියා. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් සිට 1991 දී වසර විස්සක සේවා කාලයක් සපුරා තිබියදී අපිට ලැබුණු විශේෂ විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් මත මම විශ්‍රාම ගියා.
පුවත්පත් කලාවේදියෙක් ලෙසත් ඔබ කටයුතු කළ තැනැත්තෙක්?
ඇන්.ඇම් පෙරේරා මහතාගේ ජනදින, ජන සතිය පත්තර දෙකේ ප්‍රවෘත්ති කර්තෘ හා විශේෂාංග කර්තෘ ලෙස වැඩ කළා. ඒ වගේම ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පරිවර්තක ලෙසත් මම කටයුතු කළා. සමසමාජ පක්ෂයට සම්බන්ධ වාමාංශික පත්තර දෙකක් තමයි ජනදින සතිපතා පත්තරයත් සති අන්ත ජන සතිය පත්තරයත්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.