(සී.ටී. ප්‍රනාන්දුගේ ගුණානුස්මරණය වෙනුවෙනි)
1947 මාර්තු මාසයේදී ‘ද සිලෝන් ඔබ්සවර්’ පත්‍රය විවිධ ප්‍රසංගයක් ගැන සඳහන් කරමින් ‘සී. ටී. ප්‍රනාන්දු ආනන්දජනක වූ සන්ධ්‍යාවේ සුන්දරත්වය ඩැහැගත්තේ’ යැයි පළ කර තිබුණේය. නැවත 1948දී ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රය තවත් ප්‍රසංගයක දී ‘සී. ටී. ප්‍රනාන්දුගේ ගීත ගායනයත්, රඟපෑමත් ශ්‍රේෂ්ඨ තැනක් ගත්තේ’ යයි පළ කර තිබුණි. ‘සිලෝන් ඩේලි නිවුස්’ පත්‍රයට ආනන්ද තිස්ස ද අල්විස් සී.ටී. ගේ ‘අම්බිලි මාමේ’ ගීතය ගැන විවේචනයක් කරමින් ‘මේ ගීතය නව ප්‍රගතියක් පිළිබිඹු කෙරෙන දක්ෂ රචනාවෙකි. කාව්‍යමය වූ ද, සාරවත් අදහස් ගැබ්ව ඇති උසස් ගී තරුණ සී.ටී. ට ඇත්තේ යි පළ කළේය.
මේ තොරතුරු එන්නේ ආනන්ද තිස්ස ද අල්විස් විසින් සංස්කරණය කළ ‘දිනෙන් දින’ (පසුව මේ සඟරාව ‘දින දින’ නම් විය) 1952 අගෝස්තු 15 කලාපයේය.
ගායකයකු මෙන්ම වේදිකා හා චිත්‍රපට නළුවකු වූ සී.ටී. හතළිහ දශකයේ ‘සිරිසඟබෝ’ නාටකය රඟපෑ විශිෂ්ට නළුවකු වූ සර් සෙඩ්රික් හාඩ්වික්ගේ ලේලිය වූ ජීන් හාඩ්වික් නිළිය මෙසේ පළ කර සිටියාය.
‘රක්තාක්ෂියාගේ (චිත්‍රසේන) බිහිසුණු ක්‍රියාවන් මේ යැයි දැනුම්දීමට ආ ගම්වැසියා (සී.ටී.) ට විශේෂයෙන්ම ප්‍රශංසා කිරීමට කැමැත්තෙමි. අහිංසකත්වය පළ කරමින් නියම ගම්වැසියෙකුගේ ආකාරයෙන් ඔහු දක්ෂ ලෙස වාදනයට අනුව ගී ගැයුවේය. ලෙළව ලෙළවා – නවත නවතා ඔහු ගායනා කරන ලද සින්දුව කෝකිල ගීයක සිරිලීය.
සී.ටී. චිත්රස්නයන්ගේ ‘විදුර නාටකයෙහිදී ද ජෝන් ද සිල්වා සූරීන්ගේ ‘ශ්‍රී වික්‍රම’නාට්‍යයෙහි පෙනී සිට ‘මරා දෙදෙනෙක්’ යන සින්දුව ඉතා චමත්කාරජනක ලෙස ගායනා කළ අන්දම පුවත්පත්වල අගය කර තිබුණි.
නාවලපිටියේ ශාන්ත මේරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සී.ටී. පුංචි දරුවකු ලෙස දෙහිවල උයන පාරේ පිහිටි තම මහගෙදරට පැමිණි පසු එළිමහනට වී ඉංග්‍රීසි ගීත ගයනු පාරේ යන එන අයට මහත් අස්වැසිල්ලක් විය. උපතින් කතෝලිකයකු වූ ඔහු පාසලේ කන්තාරු ගීතිකා කණ්ඩායමේ ප්‍රධාන ගායකයා විය. සුනිල් සාන්තයන්ගේ ගීත ගුවන් විදුලියෙන් ඇසූ සුනිලුන්ගේ ගායන ශෛලියට, ගායනයට පෙම් බැඳි සී.ටී. ස්වෝත්සාහයෙන් ඉන්දියානු රාගධාරි සංගීතයෙන් මිදී සුනිලුන්ගේ ආභාසය ලබා තමාටම ආවේණික ශෛලියකින් ගීත ගැයීමට යොමු විය.
කුරුලු කූඩුව
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ විජිත් කුමාර සේනාරත්නයන් පවසා ඇති අන්දමට සී.ටී. මුලින්ම අත්වැල් ගායනයට එක් වී ඇත්තේ සුනිලුන් හා විවියන් ද සිල්වා බොරලැස්ස සමඟ ගැයූ ‘රැල්ල නැඟෙන්නේ වැල්ල බලා ඇදෙන්නේ’ ගීතය සඳහාය. එදා සී.ටී. සමඟ ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) ද අත්වැල් ගායනයට එක් වී ඇත. සී.ටී. මුලින්ම 1951 වසරේ ech.em.wee. තැටි සඳහා ගායනා කළ ‘පින්සිදු වෙන්නේ අනේ බාල ළමුන්නේ’ රචනා කළේ ආර්.එන්.එච්. පෙරේරා ය. මෙහි ඉතිහාසය පෙරේරා මහතාගේ දියණියක් වූ රංජනී පෙරේරා මහත්මිය මට විස්තර කළාය. ඇගේ පියා දක්ෂ පරිවර්තක කෘති කිහිපයක් ලියූ සාහිත්‍යධරයෙකි. ‘රුදුරු බලුව’, ‘ජේන් අයර්’ ඔහුගේ පරිවර්තන අතර වෙයි. ගුවන්විදුලි සේවෙය් විධායක නිලධාරියෙක් ලෙස ද ගුරුවරයකු ලෙස ද, ගුණසේන සමාගමේ ප්‍රකාශන කළමනාකරු ලෙස ද ඔහු කටයුතු කළේය. ඔහුගේ දියණිය කියූ කතාවයි මේ.
‘අපි ඒ කාලයේ (1951) පදිංචිව සිටියේ නුගේගොඩ. එහි අපට පුංචි වත්තක් තිබුණා. පුංචි මාව අතින් අල්ලාගෙන තාත්තා වත්ත පහළට යනවා. දවසක් අපට කුරුල්ලෙකුගේ විලාපයක් ඇහුණා. එයාගේ කුරුලු කූඩුව කවුදෝ කඩලා. පැටවු කොහේ ගියාද දන්නේ නෑ. කවුදෝ දඩබ්බර කොල්ලෙක් ඒක කඩලා කියලා අපි හිතුවා. තාත්තා සංවේගයෙන් කුරුල්ලාගෙන් මෙහෙම ඇහුවා.
‘ඇයි උඹ අඬන්නේ? පැටවු නැද්ද? කූඩුව කැඩුව ද?’
තාත්තා මාත් එක්ක ගෙට ගොඩ වුණා. අපිට ඒ කාලේ ලයිට් තිබුණේ නෑ. එදා රෑ තාත්තා ‘හරිකේන්’ ලාම්පුවේ එළියෙන් ඉඳගෙන මොනවද කුරුටු ගගා හිටියා. රෑ වෙන්න ඔන්න මෙන්න කියලා සිරිල් අන්කල් (සී.ටී.) ආවා ගිටාරයකුත් අරං. සිරිල් අන්කල් මගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙක්. සිරිල් අන්කල් පදිංචි වෙලා හිටියේ අපේ ගෙදර ගාව.
‘එන්න… එන්න සිරිල් අද මම දුක හිතෙන සින්දුවක් ලිවුවා’ කියූ තාත්තා කඩදාසියක් දුන්නා.
කඩදාසිය බැලූ සිරිල් අන්කල් ගිටාරය වාදනය කරලා තනුවක් හදලා මේ ඒ ගීතය.
‘පින්සිදුවන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩා තනාලා
දිනක් ආර්. එන්. එච්. පෙරේරා සුරුට්ටුවක් උරමින් නිවසේ පුටුවකට බර දී සිටි අතර, සී. ටී. එහි පැමිණියේය.
‘රිචඩ් (ආර්.එන්.එච්. පෙරේරා) මට හොඳ ටියුන් එකක් ආවා’ කී සී.ටී. ගිටාරය වාදනය කළේය. රිචඩ් එයට අපූරු පද මාලාවක් එක් කළේය.
‘අම්බිලි මාමේ – ඔබ මොකද කරන්නේ
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
වටින් පිටින් එබෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සළු ද වියන්නේ
පාත බලන්නේ – මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ
සී.ටී. (සිරිල්) හා ආර්.එන්.එච්. (රිචඩ්) ඥාති සොහොයුරන් එක්වී ජනප්‍රිය ගීත කිහිපයක්ම නිර්මාණය කළෝය. ‘බර බාගේ, සුවඳ රෝස මල් නෙළා, සවස් කළ ඇළේ’ මේ අතර විශේෂය.
1921 ජනවාරි 28 වැනිදා සිරිල් ටියුඩර් ප්‍රනාන්දු (සී.ටී. ප්‍රනාන්දු) දෙහිවල උපන්නේය. ඔහු තම ජීවිතයේ මුල්ම රැකියාව කරන්නේ ලිපිකරුවෙකු ලෙස කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේය. එදා එම කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස ඔහු සමඟ Records office එකේ සිටියේ හෙන්රි ජයසේනය. හෙන්රි ජයසේන විසින් පසු කලෙක ලියූ ‘කරළියක කතාව’ කෘතියේ මෙසේ සඳහන් කර තිබුණි.
රැකියාවට පැමිණි මුල් දවසේම එහි ප්‍රධාන ලිපිකරු හෙන්රිට සී.ටී. ව හඳුන්වා දෙමින් මෙසේ කියා ඇත.
‘මෙයා ඔහොම හිටියට හොඳ ගායකයෙක්. රේඩියෝ සිලෝන් එකෙත් සින්දු කියනවා.’
‘ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු වූ සී. ටී. ප්‍රසන්න පුද්ගලයෙක්. ඔහු නිතර සිනාසෙන ප්‍රසන්න පුද්ගලයෙක්. කෑම පැයේදී මිස ඔහු කිසිවෙකු සමඟ කතා කළේ නෑ. නිරතුරුවම පෙරළාගත් පොතක් ඔහු ඉදිරියේ තිබුණා. සී. ටී. ඒ පොතේ පිටු පෙරළමින් ඔහුගේ අලුත්ම ගීතයේ තාල තබමින් පද මිමිනුවේය. දෛවය නම් ඉන්පසු ගී ලොව රන් තරුවක් වූ සී. ටී. 1963 වසරේ මාත් සමඟ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේදී හමුවීමයි. ඒ චිත්‍රපටයේ මම පියල් වූ අතර, ඔහු මඟුල් කපුවා ලෙස රඟපෑවා. ඒ වන විට ඔහු ගැයූ ‘බිලිඳා නැළවේ උකුළේ’ – ‘සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා’ – මගෙ සුදු මාමේ’ – ‘ඔන්චිලි චිල්ල මලේ’ – ‘සරුංගලේ සරුංගලේ’ – පියුමෙහි පැණි බොති වන බඹරු’ – හෙළ ජාතික අභිමානේ’ – ‘පුන්සඳ හිනැහෙන්නේ’ ගීත නිසා ද ගෝල්ඩන් වොයිස් සී. ටී. (The Golden Voice of C.T.) ලෙස අභිෂේක ලබා සිටියා’ හෙන්රි පසු කලෙක මා සමඟ පැවසුවේය.
සී.ටී. ගැයූ ගීතවල ගේය පද ලියූ රචකයන් අතර කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, සුසිල් සේනාධීර, ගුණරත්න අබේසේකර, කුමාරසිරි ජයරුවන්, ආනන්ද ජයසේන, චිත්‍රානන්ද අබේසේකර, ඩී. සී. ජයසිංහ, සිසිර කුමාර මානික්කආරච්චි, හර්බට් එම්. සෙනෙවිරත්න, ඇල්. එම්. ඒ. ද සිල්වා, මයික් පී. බලපිටිය, ඇලන්සන් පියදාස, රත්නසේන ඩයස්, කේ. ප්‍රැන්සිස්, මාලිනි විජිතා ද සිල්වා, සුදාස් මාසකෝරාල, ලයනල් ගිනිගේ, ජී. එම්. පියදාස, ඇන්තනි ජයමාන්න ද වෙති. නම් අතපසු වූ අය මට කමත්වා.
සී.ටී. ගේ තනු සංගීතයෙන් ඔප කළ සමීප මිතුරා වූයේ පැට්රික් දෙනිපිටියය. සී.ටී., හා පැට්රික් ලෝක සංචාරවලට සහාය වූ අතර, බ්‍රිතාන්‍යයේ BBC හිදී ‘සන්දේශය’ ගුවන් විදුලි වැඩසටහනට (ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මෙහෙය වූ) මේ දෙදෙනාම සහභාගි වූහ. සී. ටී. හා රුක්මණි දේවි ගැයූ ‘පුන් සඳ හිනැහෙන්නේ’ ගීතය සෑම මඟුල් ගෙදරකම, සාදයකදීම අනිවාර්යය ගැයෙන ගීතයකි. ඒ අතර හැම ප්රියසාදයකම, විනෝද ගමනකදීම සී.ටී. ගේ ගීත අලුත් පරපුර ගයන ගීත අතර ‘පියුමෙහි පැණි බොති’, ‘මී වදයකි ජීවිතේ’ ගීත කැපී පෙනෙයි.
චිත්‍රපට නළුවෙකු මෙන්ම චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද කැපී පෙනුණ සී.ටී. ‘දෙයියන්ගෙ රටේ’ චිත්‍රපටයේ ‘හිමෙන් සමන් දෙවි පිහිටෙන්’ ගීතය රබානක් අතැතිව රඟපෑය. ‘දෙයියන්ගෙ රටේ’ ගම්පෙරළිය, සෝබන සිත, පාරා වළලු, නිම් වළල්ල චිත්‍රපටවල රඟපෑ සී. ටී. ‘හතර මහා නිධානය’ හි (සෝබනලු කොළඹ) සාර විට හි ‘ලක්ස ගණන් වස්තු ලැබී’, චණ්ඩියා හි ‘මෙඟ් හිඟන කොටාත්’, නිම් වළල්ලහි ‘නිසයුරු මුතුළැල්’, කවුද හරි හි ‘මී වදයකි’ චිත්‍රපට ගීත ගැයුවේය. ඊට අමතරව පෙම් කුරුල්ලෝ – සඳ නැඟ එද්දී – සැණකෙළිය – කවට අන්දරේ – මොකද වුණේ – සැඟවුණ මැණික – පාරා වළලු චිත්‍රපටවල ද සී.ටී. ගී ගැයුවේය.
ජනප්‍රිය ගීත
සී.ටී. ට අනාගත සහකාරිය හමුවන්නේ 1951 වසරේදීය. ඔහු ඒ ගැන මෙසේ පවසා ඇත.
‘මගේ ගීතවලට පෙම් බැඳි බදුල්ලේ උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ශිෂ්‍යාවක් මට ලිපි ලිවුවා. ‘පින් සිදු වන්නේ’ ගීතය තමාගේ හොඳම ගීතය බව ඇය ඒ ගීතය රේඩියෝවෙන් වාදනය වන විට එතැනින් සෙලවෙන් නැති බව ද දන්වා එවුවා. මේ ලිපි පෙම් හසුන්වලට පරිවර්තනය වුණා. ඇගේ නම ධානාය. ධානාගේ මේ ප්‍රේම සම්බන්ධයට මවුපියන් තදින්ම විරුද්ධ වුණා. 1951 වසරේ හිතුවක්කාර ලෙස තනි කැමැත්තෙන් විවාහ වුණා. ඒ කාලේ ගල්කිස්සේ පදිංචිව සිටි ලතා ප්‍රනාන්දු (පසුව වල්පොළ) දෙදෙනාට උදවු කළා. පසුව අපි දෙහිවල ගෙයක් හදලා පදිංචි වෙලා හිටියා. අපිට හිටිය එකම පුතාගේ නම ප්‍රියන්ත ප්‍රනාන්දු. මගේ පුතා ගැනයි ‘බිලිඳා නැළවේ උකුළේ’ ගීතය ගායනා කළේ.
කරුණාරත්න අබේසේකර විසින් තමාගේ තනුවට වචන යෙදූ ‘පියුමෙහි පැණි බොති’ ගීතය 1969 රුසියාවේ ගුවන් විදුලියෙන් ගීතය ගැයුවේ මොස්කව් ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා ලංකා සිසුන් සෝවියට් ලංකා මිත්‍ර සංගමය වෙනුවෙන් සී. ටී. ගායනා කර ඇත.
‘මගේ ගීතවල බටහිර සංගීත ස්වර මිශ්‍රණයක් දකිනවා කියලා කවුරුත් කියනවා. ඒක ඇත්ත. මම සංගීතාංග සම්පාදනය කරන්නේ පෙරදිග ශාස්ත්‍රීය සංගීතයත්, බටහිර සංගීතයත් එකට මුසු කරලා ඒ මැද යමින්. ඒකයි මගේ ගී ඕනෑම තැනක ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ගයන්න පුළුවන් ශෛලියකින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සඳහා මට බලපෑවේ ජිම් රිවුස් හා ක්ලිෆ් රිචර්ඩ්.’ සී. ටී. වරක් කීවේය.
කාටත් ගයන්න පුළුවන් ජනප්‍රිය ගීත ගැයූ සී. ටී. 1977 ඔක්තෝබර් 17 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේ හෘදයාබාධයකිනි. ඔහුගේ එකම පුතා තාත්තාගේ ගායන කුසලතාව ලැබ සිටි ප්‍රියන්ත 2018 මැයි 01 වෙනිදා මියගියේය. ඔහුගේ බිරිය පියසීලි ප්‍රනාන්දුය. ප්‍රියන්තගේ සහ පියසීලිගේ පුතුන් දෙදෙනා තිසර ප්‍රනාන්දු හා ධනුෂ්ක රයන් ප්‍රනාන්දුය. තිසරට තම සීයාගේ ගායන උරුමය පිහිටා තිබේ.
ඒ. ඩී. රංජිත් කුමාර - 'දිනමිණ' වෙනුවෙන් සැකසූ ලිපියකි.