දෙනෙත් අඳ ප්‍රවීණ සංගීතාචාර්ය, ගුවන්විදුලි ගායන ශිල්පි, කලා භූෂණ සම්මානලාභී ජේ.එන්. දයාපාල කලාකරුවාට උපහාර පිදීමේ උත්සවයක් එළඹෙන නොවැම්බර් මස 06 වැනිදා පෙරවරු 9.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
'සන්නා දයාණෙනි-2023 උත්තම ගුරු පූජා' යැයි නම්කොට ඇති මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ පුලතිසිපුර සහ අකුරැස්ස සිසු සහෘදයන් විසිනි.
රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර මෙම අවස්ථාව සංගීතවත් කරන්නේ දයාපාලයන්ගේ සිසුවෙකු වන ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක විසිනි.
ජේ.එන්. දයාපාලයන් ගැයූ ගීත අතරින් නෙත් අඳමුත් නෙත් දහසක් ඇති සේ ලෝකය දකින්නෙමි, අන්ධ දෑසට නින්ද නොදැනේ, මට නොකියා දීගෙක ගිය නෑණට සුබ මංගලම්, යන ගීත 80 දශකයේදී ඉමහත් ජන ප්‍රසාදයට ලක්විය.
'ශ්‍රවණ නෙත්' නමින් ඒක පුද්ගල සංගීත ප්රසංගයක්ද පැවැත්වූ ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සංගීත උපාධිය ලැබ පොළොන්නරුව පළුගස්දමන මහා විද්‍යාලයේ සහ අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසැලේ සංගීත ආචාර්යවරයකු ලෙසින් දීර්ඝ කාලයක් සේවය කර සංගීත ක්ෂේත්රයට සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් දායාද කර ඇති නිහතමානී සංගීතවේදියෙකි.
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු