ඔබ අප කවුරුත් ආදරය කරන දක්ෂ යොවුන් රංගන ශිල්පිණියක් සමග මෙවර අප කතා බහා කළා. ඇය නමින් තත්සරණි පියුමිකා. ස්වර්ණවාහිනියේ විකාශය වූ පාරදිගේ ටෙලි නාට්‍යයේ නානායක්කාරගේ පොඩි දුව නිරාශා චරිතය හරහා කලා ක්ෂේත්රයට පිවිසි ඇය මේ වනවිට විකාශය වෙන ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් තුළින්ද ඔබට දකින්නට පුළුවන්.
මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකම අප දකිනවා?
ඔව්, ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ජානු ටෙලි නාට්‍යයේ වගේම දෙරණ නාළිකාවේ විකාශය වෙන දෙවැනි ඉනිම් දෙවැනි කතා මාලාව හරහා මාව දකින්න පුළුවන්. ජානු ටෙලි නාට්‍යයේ ශාක්‍යා කියන චරිතයත්, දෙවැනි ඉනිමේ සමාධි කියන ප්‍රධාන චරිතයත් මම නිරුපණය කරනවා.
ඔබ දැනට ටෙලි නිර්මාණ කොපමණ ප්‍රමාණයක රඟපාලා තියෙනවාද?
ක්ෂේත්රයට ඇවිල්ලා නම් මම ලොකු කාලයක් නැහැ. මුලින්ම රඟපෑවේ පාරදිගේ ටෙලි නාට්‍යයේ. එහි නානායක්කාරගේ පොඩි දුව නිරාශා කියන චරිතය තමයි මම කළේ. ඊට පස්සේ මම දිව්‍යාදරි කොටස් සියයක් වෙනකම් රඟපෑවා. තව කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයේ චරිතයක් කළා. මේ දිනවල මගේ දෙවැනි ඉනිම දෙවැන්න හා ජානු විකාශය වෙනවා.
ඔබව ප්‍රේක්ෂකයෝ ගොඩක් අඳුනගත්තේ මොන චරිතයෙන්ද?
පාරදිගේ නානායක්කාරගේ පොඩි දුව නිරාශා කියන චරිතය තුළින් කිව්වොත් හරි. අදටත් මිනිස්සු මාව අඳුනන්නේ ඒ චරිතය හරහා. නිරාශා කියන නමටත් වඩා මිනිස්සු මාව දාන්නේ නානායක්කාරගේ පොඩි එකී කිව්වාම. නිරාශා කියන චරිතයට අමතරව ජානු ටෙලි නාට්‍යයේ ශාක්‍යාත් මිනිස්සු ගොඩක් ආදරය කරපු චරිතයක්.
අවුරුදු කුමරිය තරගයකින් නේද කලාවට ආවේ?
ඔව්, 2020 වසරේ ස්වාධින රූපවාහිනි නාළිකාව සංවිධානය කරපු අවුරුදු කුමරි තරගය මම අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. ඒක තමා මම හිතන්නේ මගේ කලා දිවියේ ආරම්භක පියවර. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න.
කරපු චරිත දිහා බැලුවොත් ඔබට තියෙන්නේ දඟකාර ගති පැවතුම්?
විශ්වාස කරන්න මගේ පාසල් කාලය ගත්තොත් මම බොහෝම නිහඬ ජිවිතයක් ගත කරපු කෙනෙක්. මටත් පුදුමයි මම මේ චරිත කොහොම රඟපෑවාද කියලා. පවුල් අයත් එක්ක ඉන්න කොට ඉතින් ටිකක් දඟ වැඩ කළාට පාසල් ජිවිතය ගත්තොත් නිවිච්ච ගතිපැවතුම් තිබුණේ මට. අහිසංක ළමයෙක් කිව්වොත් ගොඩක් දුරට හරි.
පාසල් කාලයේ කලා වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?
ඇත්තටම නැහැ. මොකද, කලාවට සම්බන්ධ වෙන හීනයක් නම් මට තිබුණේ නැහැ. හැබැයි මම පාසල් යන කාලේ අ.පො.ස සාමාන්‍ය පෙළට නාට්‍යය හා රංග කලාව විෂයක් විදිහට හැදෑරුවා. අනික මම රංගනය ගැන ඉගෙන ගෙන මෙතැනට ආවේ නැහැ. ප්‍රවිණයින් සමග වැඩකරද්දි ලැබුණ අත්දැකිම් තමයි මට ගොඩක් වෙලාවට රඟපාන්න ප්‍රයෝජනය වුණේ. මම හිතනවා රංගනය කියන දේ මගේ ඇඟේ තිබුණ දෙයක් කියලා.
දැන් රංගනය කියන දේ ඔබේ වෘත්තියද?
රංගනයට සම්බන්ධ වුණ මුල් කාලයේදී මම රැකියාවක් කළා. හින්දා භාෂා පරිවර්තකයෙක් විදිහට. දැන් නම් එකෙන් ඉවත් වෙලා ඉන්නේ. රංගන කටයුතුත් එක්ක තවත් දේකට කාලය හොයාගන්න අපහසුයි මට. බලමු ඉදිරියට. හැමදාම අපිට කලාවත් එක්ක වැඩ කරන්න බැහැනේ.
පවුලේ අය කැමතිද ඔබ රඟපානවට?
මගේ තාත්තා නම් මුලින් කැමති වුණේ නැහැ. නමුත්, දැන් තාත්තාගේ ලොකු අකමැත්තක් නැහැ මම රඟපානවට. ඒකට හේතුව මගේ අම්මා. එයා තමයි මගේ හයිය. මොන වැඩකට ගියත් අම්මා තමයි මගේ ආරක්ෂාවට ඉන්නේ. ක්ෂේත්රය ඇතුලේ තියෙන කතා එක්ක ඉතින් දෙමව්පියෝ බයයි ළමයෙක්ව තනියම මේ වැඩවලට එවන්න.
කෙටි කාලයක් තුළ ලොකු ගමනක් ආවා වගේ හිතෙන්නේ නැද්ද?
වැඩ කිහිපයක් කළත් තාම මට හිතෙන්නේ මම මේ ක්ෂේත්රයේ පළමු පියවරේ ඉන්නේ කියලා. තව ගොඩක් දුර මට මේ ක්ෂේත්රය යන්න තියෙනවා. ලොකු හදිස්සයක් නැහැ මේ ගමන මම හෙමින් යනවා. ඒ වගේම මේ ගමන මේ තරම් දුර එන්න උදව් කරපු ශිවගුරුනාදන්, චාමර සමරවික්‍රම ඇතුළු සියලුම අධ්‍යක්ෂකවරුන්ට මගේ ස්තුතිය පිරිනමන්න ඕනා. ඒ වගේම මගේ පවුලේ අයටත්.
බුද්ධික සේනාධීර