පාසල් සමයේ පාසල් අධ්‍යාපනයට අදාළ කෙටි කතා කිහිපයක් කියවා (එකල රස වින්දනය පිළිබඳ අවබෝධයක් නොතිබුණ තරම් ය) තිබුණ ද සාහිත රසයක් විඳීම උදෙසා ම සිංහල ස්වතන්ත්‍ර කෙටිකතා කියවීම ඇරඹියේ 80 දශකය ආරම්භයේ දී ය.
එකල බොහෝ විට කියවන්නට ලැබුණේ: මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන, ඩබ්ලියු. ඒ. සිල්වා යනාදින්ගේ කෙටිකතා වූ අතර 80 දශකයේ මැද බාගය පමණ වන විට ගුණදාස අමරසේකර, ජයතිලක කම්මැල්ලවීර, කරුණා පෙරේරා, සරත් විජේසූරිය, ඇරව්වල නන්දිමිත්ර යනාදී ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා ද කියවා රසවිඳීමේ භාග්‍ය උදා විය. මෙහි දී විදෙස් කෙටිකතා පිළිබඳ අවධානය යොමු නොකරන්නට වගබලාගන්නේ එහි වටිනාකම සහ එම නිර්මාණ වෙනත් ම නවමු රසයක් අත් පත් කර දුන් බව ද සිහිපත් කරන අතර ය.
කේ. කේ. සමන් කුමාර
මේ ආකාරයෙන් සාම්ප්‍රදායික කෙටිකතා රස විඳීමට පෙලඹී සිටි මා එතැනින් ඔසවා තබන්නට සමත් වූයේ කේ. කේ. සමන් කුමාර හෙවත් සර්පයාගේ ‘‘එසඳ මම බලාසිටියෙමි’’ කෙටිකතා සංග්‍රහය යි. ඒ වන විට ඔහු ‘‘සර්පයකු හා සටන් වැද’’ යන මැයෙන් කෙටිකතා සංග්‍රහයක් නිකුත් කර තිබුණ ද එය කියැවීමට ලැබුණේ ‘‘එසඳ මම බලා සිටියෙමි’’ කියවීමෙන් ඉක්බිතිව ය.
‘‘එසඳ මම බලා සිටියෙමි’’ කෘතිය රස විඳීමෙන් ඉක්බිති මට හැඟුණේ සැබැවින් ම මා මෙතක් කියවා ඇත්තේ ‘‘කෙටිකතා ම ද’’ යන්න ය. ඒ, ‘‘එසඳ මම බලලා සිටියෙමි’’ මා වෙනස්ම වූ රසභාවයක ගිල්වූ බැවිනි.
එතැන් සිට උදාවූයේ ‘‘සර්පයකු හා සටන් වැද’’ සහ ‘‘එසඳ මම බලාසිටියෙමි’’ කෘතිය පිළිබඳ ලියැවුණු විචාර කියැවීමේ අවධය යි. එම අවධියේ දී එතෙක් මා රස විඳ නොතිබූ කෙටිකතාකරුවන් දෙදෙනකු සම්මුඛ විය.
ටෙනිසන් පෙරේරා සහ අජිත් තිලකසේන
ඒ ටෙනිසන් පෙරේරා සහ අජිත් තිලකසේන ය. අවංකව ම පවසන්නේ නම් ඒ මොහොතේ ටෙනිසන් පෙරේරාගේ කෙටිකතා ඉක්මනින් ම ග්‍රහණය කරගැනීමට හැකි වුව ද ආරම්භයේ දී අජිත් තිලකසේන ග්‍රහණය කරගැනීම තරමක් අසීරු විය. මා නිවැරැදිව ම අජිත් තිලකසේන කියවාගන්නේ 90 දශකයේ අගබාගයේ දී ය.
මේ වකවානුව අතරතුර ද විටින් විට: ගුණදාස අමරසේකර, ජයතිලක කම්මැල්ලවීර, ඇරැව්වල නන්දිමිත්ර, එච්. ඒ සෙනවිරත්න, එරික් ඉලයප්පාරච්චි යනාදි ලේඛකයන්ගේ කෙටිකතා කියවුව ද මා වඩාත් ආසක්ත වෙමින් සිටියේ ටෙනිසන් පෙරේරා සහ සමන් කුමාර නමැති ලේඛක දෙපළ වෙත ය. ඒ, ඔවුන්ගේ කෙටිකතා එතෙක් මා කියවා රස විඳි කෙටිකතාවලට වඩා හාත් පසින් ම වෙනස්, නැවුම් රසයක් ලබාදුන් බැවිනි.
සයිමන් නවගත්තේම
සයිමන් නවගත්තේම ලේඛකයාගේ ‘‘සුද්දිලාගේ කතාව’’ නවකතාව 80 දශකයේ ආරම්භයේ දී ම කියවා තිබුණ ද ඔහුගේ කෙටිකතා රස විඳීමේ භාග්‍ය උදාවන්නේ 90 දශකයේ මැද බාගයේ දී ය. එතැන් සිට සයිමන් නවගත්තේගම යනු ද මගේ හද මනස පුරවාලන කෙටිකතාකරුවකු බවට පත්වන්නේ නිරායාසයෙනි.
මේ වන විට මා යට සඳහන් කළ, මට විශිෂ්ට යැයි හැඟෙන කෙටිකතාකරුවන්ගේ නිර්මාණ සමාජගතවන අතර ම පෙර සඳහන් අයගේ නිර්මාණ ද සමාජගත වෙමින් පැවතිණ. එහෙත් නිරන්තරයෙන් ම නැවුම් රස සොයා යන මා කෙමෙන් කෙමෙන් ආරම්භක යුගයේ කෙටිකතා රචකයන් අත්හරිමින් නවමු ලේඛන ශෛලියෙන් හෙබි කෙටිකතාකරුවන් පසුපස හඹා යාම ආරම්භ කළේ ය.
එහි ප්‍රතිඵලයක් ලෙස ගුණසිරි සිල්වා, ගුණරත්න වික්‍රමගේ, තිළිණා වීරසිංහ, මලික් තුසිත ගුණරත්න, සුජීවා නිරංජනී රත්නායක, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති යනාදි ලේඛක ලේඛිකාවෝ ද මගේ වින්දන පරාසයට සාපේක්ෂව නැවුම් රසයෙන් යුක්ත කෙටිකතා රචනා කරන පිරිසක් බවට පත්විය. නමුදු මේ අතුරෙන් සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා සහ කේ. කේ. සමන්කුමාර යනු සුවිශේෂ ගණයේ කෙටිකතාකරුවන් ලෙස තවමත් මගේ ලකුණු දර්ශකයේ ඉහළින් ම සිටින බව ද සිහිපත් කළ යුතු ය.
අනුරසිරි හෙට්ටිගේ
මේ ආකාරයට කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘‘සිංහබාහු එනකං’’ යන මැයෙන් වූ කෘතිය අහඹු ලෙස මා අතට පත්විය. සැබැවින් ම එය ද නැවුම් රසයක් ලබාදුන් කෘතියක් බව නිර්ලෝභිව පැවසිය යුතු ම ය. එතැන් සිට ඔහු විසින් රචිත ‘‘‘මැරින් ඩ්‍රයිව්’’ කෘතිය දක්වා ඔහුගේ ගමන්මග (නවතම කෙටිකතා සංග්‍රහය තවමත් රස විඳීමට නොලැබිණ) ඉතා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේ ය. එය හුදෙක් ලේඛකයකුගේ සාර්ථකත්වය පමණක් නොව කෙටිකතාවේ නවමු ලක්ෂණ ද පහළ කරන්නට තරම් සමත් විය.
කාංචනා ප්‍රියකාන්ත නමැති කෙටිකතාකාරිය ද මේ අතර මගේ රසවින්දනය පුබුදු කරවන්නී ඇගේ ‘‘කර්මක්ෂ’’ කෙටිකතා සංග්‍රහය තුළිනි. එහි දී ඇය ද කෙටිකතා කලාවේ නව මානයක් ස්පර්ශ කරන බව අදාළ කෘතිය පිළිබඳ මගේ කියැවීම ලියන මොහොතේ මම සඳහන් කළෙමි. මේ වන විට ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය කියවමින් සිටින අතර නුදුරු දිනයක දී ඒ පිළිබඳව ද සටහනක් තබන්නට බලාපොරොත්තු වෙමි.
කෙමෙන් කෙමෙන් කෙටි කතාවේ නවමු සන්ධිස්ථාන පසුකරමින් සිටි මට අනිල් හේරත් විසින් රචිත ‘‘සැණෙළි වියුම්’’ රස විදින්නට ඉඩ ප්‍රස්තා සැලසෙන්නේ (මගේ මතකය නිවැරැදි නම්) 2017 වසරේ දී ය. එම නිර්මාණ සංග්‍රහය ද කෙටිකතා කලාවේ නව්‍ය මාවතකට පිවිසි බව පැවසිය යුතු ම ය. අනතුරුව එතෙක් කවියකු ලෙස නම් දරා සිටි ප්‍රින්ස් සේනාධීර ‘‘පුස්තකාල පූසා’’ යන මැයෙන් කෙටිකතා සංග්‍රහයක් නිකුත් කරමින් මගේ රසවින්දනය තව තවත් නැවුම් කළ බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි. එමෙන් ම ඔහුගේ දෙවන නිර්මාණය වු ‘‘කළු උස මනුස්සයෙක්’’ නමැති නිර්මාණය ද පළමු නිර්මාණය අභිභවන්නට සමත් වී තිබිණ. ඔහුගේ තෙවන නිර්මාණ සංග්‍රහය මා සතුව මේ මොහොතේ ද පවතී. එය ද රසවිඳීමට බලාපොරොත්තුවෙන් පසු වෙන බව පවසන්නේ ඉතා සතුටෙනි.
මා මෙතක් සඳහන් කළේ ‘‘කෙටිකතාව’’ නමැති සාහිත්‍ය මාධ්‍ය මගේ සාහිත්‍ය ලෝකයට ඇතුළු වී ප්‍රසාරණය වූ ආකාරය යි; කෙටිකතාව නමැති සාහිත්‍ය මාධ්‍ය තුළ කලින් කලට මා විඳි නැවුම් අත්දැකීම් සම්භාරය යි. මා එලෙස ආවර්ජනය කළේ මන්දැයි දැන් මෙය කියවන ඔබට සිතිය හැකි ය; එසේ සිතීම ද සාධාරණ ය. එසේ නම් දැන් ලිපියේ දෙවන අර්ධයට පිවිසෙමු.
‘‘කෙටිකථාවක මූලික අංගය එහි ගැබ් වන කතා වස්තුවයි. එකිනෙකට අනුපිළිවෙලින් සම්බන්ධ කොට ගළපන ලද සිදුවීම් වැළකට කතා වස්තුව යන නම ව්‍යවහාර කරනු ලැබේ. කථා වස්තුවේ සිදුවීම් වැළ (1) ආරම්භය (2) ආරෝහණ ක්‍රියා මාලාව (3) උපරිමය (4) අවරෝහණ ක්‍රියා මාලාව (5) අවසානය යනුවෙන් කොටස් පහකට බෙදිය හැකි ය. කාලය නමැති නූල්පටෙන් එකිනෙක ගැටගසා තිබෙන මේ සිදුවීම් වැළ, අනුක්රමයෙන් උපරිම ස්ථානයක් කරා ගමන් කරයි. කථාවේ ඉතාම වැදගත් අවස්ථාව වශයෙන් සැලකිය හැක්කේ මේ උපරිම ස්ථානය යි.’’
-සාහිත්‍ය හා විචාර කලාව: ධර්මසිරි ඒකනායක: සංස්කෘති ප්‍රකාශන: 2012: පිටු 123 සහ 124
කෙටිකතාව සම්බන්ධයෙන් විවිධාකාර නිර්වචන දක්වා ඇති අතර ඒ සියල්ලකින් ම පාහේ කියැවෙන්නේ යට සඳහන් කළ නිර්වචනයට සාපේක්ෂ අදහස් ය. ලෝකප්‍රසිද්ධ විචාරක පිරිස් ද, ලාංකීය විචාරක පිරිස් බහුතරයක් ද කෙටිකතාව සම්බන්ධයෙන් දක්වන බහුතර අදහස් යට සඳහන් කළ අදහසට සාපේක්ෂ ය. නමුදු වත්මන් කෙටිකතාව යනු එකී නිර්නායක මත පමණක් පිහිටා විනිශ්චය කළ නොහැකි, නිගමනයකට පැමිණිය නොහැකි සාහිත්‍ය මාධ්‍යයකි. එය ද අනෙකුත් සාහිත්‍ය කලාංග මෙන් ම නිරන්තරයෙන් වෙනස්කම්වලට බඳුන් වෙමින් පවතී; ලොව පුරා වෙසෙන ලේඛක ලේඛිකාවෝ ද එකී මාධ්‍යයේ වෙනස්කම් කරමින් සිටිති. පැරණි මතවාද ඉවත නොලා සිටිය ද සාහිත්‍යයේ නවමු ඉසවු ස්පර්ශ කීමට කැමති අපි සැවොම මේ නවමු වෙනස්කම් හඳුනාගත යුතු ය; එය වටහා ගත යුතු ය; එමෙන් ම එකී ප්රවණතා හැකිතාක් වර්ධනය කළ යුතු ය. සාහිත්‍යයේ අනාගතය දියුණුව කරා පියනගන්නේ එවිට ය. එබඳු නවමු කෙටිකතා සංග්‍රහයක් පිළිබඳ හඳුන්වා දීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ ය. මෙතෙක් මා ඔබ වෙත ඉදිරිපත් කළේ ඊට අවැසි පෙර කියවීම යැයි සිතුව ද වරදක් නැත.
උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක
මෙම ලිපියේ එක් තැනෙක අනිල් හේරත් විසින් රචිත ‘‘සැණෙලි වියුම්’’ නමැති කෙටිකතා සංග්‍රහ පිළිබඳව මම සඳහන් කළෙමි. දැන් ඔබ වෙත හඳුන්වා දෙන්නට සුදානම් වන්නේ ද එම කෘතියට සාපේක්ෂතාවක් දක්වන කෙටි ම කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව ය. නිර්මාණ සංග්‍රහයේ නම ‘‘රුයිත හාරත කතන්දර’’ ය. එහි ලේඛිකාව කිවිඳියක ලෙස අප මෙතෙක් හඳුනාගෙන සිටි උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක ය.
උපේක්ෂා මෙම කෘතිය නිකුත් කරන්නේ 2022 වසරේ සැපැතැම්බරයේ දී ය. ඇය මෙම කෘතිය මා වෙත ලබාදෙන්නේ ද එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත නිකුත් කළ දියෙයේ ම ය. නමුදු මවෙතින් මගේ හිතවතකු මෙම කෘතිය ඉල්ලාගෙන ගොස් ආපසු ගෙනවිත් දීමට ප්‍රමාද වූ බැවින් කෘතිය සම්බන්ධයෙන් මගේ කියවීම සමාජ ගතකරන්නට ද ප්‍රමාද විය. ඒ සම්බන්ධයෙන් මම පළමුවෙන් ම කතුවරියගෙන් සමාව අයැද සිටින්නෙමි. මන්ද මෙබදු කෘතියක් ජනගත වු සැණින් ම ඒ පිළිබඳ කතිකාවක් සමාජ ගතකිරීම මගේ යුතුකමක් නොව වගකීමක් යැයි මම අදහස් කරන බැවිනි.
සමස්ත කෘතියේ ම පිටු සංඛ්‍යාව 70කි. ඉනිදු පිටු 14ක් ඉවත් කළ පසු ඉතිරි වන්නේ පිටු 56කි. කතුවරිය මෙම පිටු 56 තුළ කෙටිකතා 22ක් අන්තර්ගත කර ඇත. ඒ, හුදු කතන්දර පමණක් ම නොවන බව ද අවධාරණය කළ යුතු ය. ඒ කෙටි කතා අතර එක ම එක පිටුවකට පමණක් සීමා වූ කෙටිකතා දෙකක් තිබීම ද සුවිශේෂී ය. ‘‘මට දැන් වයසයි’’ නමැති කෙටිකතාව සහ ‘‘වචන’’ නමැති කෙටිකතා දෙක වෙනුවෙන් කතුවරිය වැය කර ඇත්තේ පිටු දෙකක් පමණි. එනම් එක් කතාවකට එක් පිටුවක් පමණි.
‘‘මට දැන් වයසයි’’ නිර්මාණයේ අන්තර්ගත වන්නේ වචන 118ක් පමණි. ‘‘වචන’’ නමැති කෙටිකතාවේ අන්ගත වන්නේ වචන 52කි. අවම වචන ප්‍රමාණයක් භාවිත කර තිබුණ ද කතුවරිය මෙම නිර්මාණ ද්විත්වය තුළින් මිනිස් ජීවිතය සමග සබැඳි බරපතළ කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරන්නී ය.
සැබැවින් ම මෙම කෘතිය ඇසුරු කරණ පාඨක පාඨකාවන් කියවා ගතයුත්තේ කතුවරිය ලියා ඇති අකුරු, වචන, වාක්‍ය හෝ ඡේද නොව මේ සියල්ල තුළ කතුවරිය නොලියා, සඟවා ඇති අරුත් ය. එසේ කියවාගත හැකි, කියවා වටහා ගත හැකි ඕනෑම පුද්ගලයකුට ඒ සැම චරිතයක් ම, සිද්ධියක් ම තම තමන්ගේ හෝ තමා ආසන්නයේ ම සිටින අනෙකකුගේ ජීවිත සමඟ සසැඳූ විට තමා කියවා අවසන් කළේ අසවලාගේ ජීවිතය නොවේදැයි වැටහෙනු නොඅනුමාන ය. මන්ද කතුවරිය එතරම් සූක්ෂම ලෙස මෙම ප්‍රබන්ධ රචනා කර ඇත.
මෙහි ආරම්භක නිර්මාණය වන ‘‘බහිරව’’ යනු හද කම්පා කරවනසුලු, අතිශය භාවාත්මක සිද්ධියකි. නමුදු කතුවරිය එබදු කිසිදු හැඟීමක් සිය ලේඛනයට හසුකර නොගන්නී ය. ඇය ඉදිරිපත් කරන්නී හුදෙක් සිදුවීම ම පමණි. එහි යටි පෙළ කියවාගත යුත්තේ පාඨක ප්‍රජාව ය; වටහාගත යුත්තේ ද පාඨක ප්‍රජාව ය. මෙය සාම්ප්‍රදායික කෙටිකතා කලාව උඩුයටිකුරු කරවන නිර්මාණ සංග්‍රහයක් ය යන්න මගේ හැඟීම ය. කෙටි කතා ලීවිම සරල යැයි කිසිවකු විශ්වාස කරන්නේ නම් එය කෙතරම් අඥාන අදහසක් ද යන්න ‘‘රුයිත හාරත කතන්දර’’ කෘතිය උදාරණ සපයනවා නිසැක ය.
සාම්ප්‍රදායික නවකතාව අභියෝගයට ලක්වෙමින් පවතින යුගයක, සාම්ප්‍රදායික කවිය අභියෝගයට ලක් වෙමින් පවතින යුගයක සාම්ප්‍රදායික කෙටිකතාව අභියෝගයට ලක් කර ඇති ‘‘රුයිත හාරත කතන්දර’’ නව්‍ය සාහිත ප්රවණතා කෙරෙහි අවධානය යොමු කරන පාඨක ප්‍රජාව කියවිය යුතු ම නිර්මාණ සංග්‍රහයකි.
සැ.යු. ‘‘සාහිත්‍ය හා විචාර කලාව’’ කෘතියෙන් උපුටාගත් කොටස්හි අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් එම කෘතියෙහි අන්තර්ගත පරිදි ම බව සලකන්න.
ජයසිරි අලවත්ත
'ද ලීඩර්' වෙත කළ ලිපියකි