ජනප්‍රිය ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා සමග කළ කෙටි සාකච්ඡාවක් ඇසුරිනි.
විජය යැයි කී පමණින් ලාංකික බොහෝ දෙනෙකු සිහි කරන මිය ගියද ජීවත් වන මිනිසෙකි. රංගධරයෙකි. ගායකයෙකි. දේශපාලනඥයෙකි. මානවවාදී අදහස් දැරූවෙකි. විජය කුමාරණතුංග නමින් ශ්‍රී ලාංකික කලා ඉතිහාසය තුළ ඔහු තැබූ සලකුණු සදාතනික රසවිඳීමකි. එම විඳීම විජය කුමාරතුංග නමැත්තෙකු අප අතර නැතැයි වන හැඟීම නැති කරන්නකි.
චන්ද්‍රලේඛා පෙරේරා යනු විජය කුමාරණතුංග හා වැඩිම ගීත සංඛ්‍යාවක් ගීත ගායනා කළ ගායිකාව වන්නීය.
"සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ"
යැයි ගයමින් වත්මන් ආදර කතාවලද ගීතමය ඉඩක් වෙන් කරගැනීමට විජය කුමාරතුංග - චන්ද්‍රලේඛා පෙරේරා දැක්වූ සමත්කම පුදුමාකාරය.
"මම විජය අයියා එක්ක යුග ගීත 24ක් කරලා තියෙනවා. ඔහු මම පුංචි කාලෙ ඉඳන් ආස කරපු නළුවෙක්. ඔහු සමග ගීත ගායනය කරන්න ලැබෙනකොට මම හුඟක් සතුටු වුණා." චන්ද්‍රලේඛා මහත්මිය පවසන්නීය. ඇය ඉතා අවකය. ඔහු ගැන වන මතකය ඇය අවදි කරන්නේ විජය නම් ගායකයාගේ වටිනාකම නිසැකවම කිව යුතු දෙයක් යැයි සිතනා පරිදිය.
"ගායකයෙක් හැටියට මම විජය අයියගෙ දැක්කේ ඔහු ගීතයේ තනුව එකවර තමන්ගෙ මනසට උකහා ගන්නවා. පෙර සූදනමක් නැතුවම වුණත් ගීතයක් ගායනා කිරීමේ හැකියාවක් විජය අයියට තියෙනවා. ඒ කාලෙ මට ටිකක් වෙලාව යනවා පුහුණු වීමට. ඒත්, විජය අයියා ඉක්මනින් ගායනයට යනවා." චන්ද්‍රලේඛා මහත්මිය එසේ පවසයි.
ඈත එහා ඔබ, පුංචි පැලත් මේ කාලේ මාලිගා, මල් හසරැල් සැළුණ ලොවක්, මා දිනු ගම්බද යනාදී මතකයේ රැඳෙන ගීත ගණනක් ඔවුන් දෙදෙනා ගායනා කර තිබිණි. විජය මිය යන විට චන්ද්‍රලේඛා සමග ගීත ගායනා 24ක් අවසන් කර තිබිණි.
"'සහරාවේ සිහිනය'ට 'මල් හසරැල් සැළුණ ලොවක්' තමයි අන්තිමට මමත් එක්ක විජය අයියා ගායනා කර තිබුණේ. ගීත ගායනා කරන්න ගියාම හැමෝම එක්ක විහිළු කරමින් සිනාසී හිටපු ගායකයෙක්. වැරදි අඩුපාඩු කියමින් කතා කරලා නෑ. මගේ ගායන ජීවිතයේ ඒ විදිහේ ගායකයෙක් මම තවමත් දැකලා නැහැ."
විජය - චන්ද්‍රලේඛා ඉතා හොඳින් ගැලපෙන ගායන හඬ පෞරුෂ බවට විශ්වාස කෙරෙන වකවානුවක් එවකට එළඹී තිබිණි. නමුත්, සිනමා රංගනය සහ ප්‍රමුඛත්වය දුන් දේශපාලනය තරම් ගීත ගායනයට කාලය විජයගෙන් ලැබී තිබුණේ අඩුවෙනි.
"ඔහු අපට හමු වූ ඉතාම හොඳ මනුස්සයෙක්. තමන් දන්න දේ බලෙන් කාටවත් උගන්වන්න හැදුවෙ නෑ. ගීත ගායනයේදී පවා එහෙමයි. ඔහු ජීවත්ව සිටියා නම් විශාල පෙරළියක් කරන්නේ නැතිව සාමාන්‍ය ගායකයෙක් වගේ වැඩ කරාවි. නමුත්, ඔහුට තිබුණේ දුර්ලභ කටහඬක්. සංගීතය ගැන සාමාන්‍ය දැනීමක් තිබුණේ. ඒත්, ඒ හැකියාව හරිම දුර්ලභයි. තව දියුණු වෙනවා හිටියා නම්. මුළු රටේම මිනිස්සු ඔහුට ආදරෙයි. ඒත් අපිට ඔහු අහිමි වුණා."
ඉතා කෙටි වේලාවකදී විජය කුමාරතුංගගේ වියෝව චන්ද්‍රලේඛා මහත්මියගේ හදවත කැළැඹූ හැටිද ඇය විස්තර කළාය.
"විජය අයියා නැති වුණා කියලා රේඩියෝ එකේ කියනවා ඇහුණම මට පුටුවෙන් නැගිටගන්න බැරි වුණා. ඒ තරම් ඔහු මිත්රශීලීව අපිත් සමග හිටියා. එවෙලෙම මම සූදානම් වෙලා කොළඹ එන්න පිටත් වුණා." යැයි චන්ද්‍රලේඛා මහත්මිය වැඩිදුර පැවසුවාය.
විජයගේ චරිත කතාව මේ වන විට සිනමා තිරය මත මැවීමේ කාර්යභාරය සිදු කෙරෙමින් පවතී. ඔහුගේ ගායක භූමිකාව එහි විශේෂ කොට ඇත්තේදැයි අපි තවමත් නොදන්නෙමු. කෙසේනමුත්, ඔහු ගැන හැදෑරීම පිණිස පළ කෙරුණු කෘති ගණන බොහොමයක් වන අතර එහිදී විජය නම් ගායකයා මගහැරුණේද යන තරමට සිනමා නළුවා සහ දේශපාලන චරිතය කතාබහට ලක් වීම දක්නට ලැබිණි. කෙසේ නමුත්, ගීත ගායනයෙන් විජය යනු මිය ගිය මිනිසෙකු බව කිසිසේත් අපට පිළිගත නොහැකිය.
ශිවන්ති ප්‍රනාන්දු