ඇකඩමි සම්මාන දිනූ වේදිකා නළු හිරාන් අබේසේකර ඇතුළුව ධනුෂ්ක ඩයස්, චාමර ගමඇතිගේ රඟපෑමෙන් දායක වූ The Brother's Size නාට්‍යය ප්‍රසන්න මහගමගේ අධ්‍යක්ෂණයෙන් පසුගිය 17 වනිදා රඟදැක්විණි.
ඒ පිළිබඳව සිනමා සහ වේදිකා අධ්යක්ෂ සුදත් අබේසිරිවර්ධන ලියූ පරිපූර්ණ අදහස් දැක්වීමක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
ප්‍රසන්න මහගමගේ හිරාන් අබේසේකර, ධනුෂ්ක ඩයස්, චාමර ගමඇතිගේ ඇතුළු නාට්‍ය කණ්ඩායම 2023/12/17 දින රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් බවට පත්කරන ලදි. Tarell Alvin McCraney’s ගේ The Brother's Size - නාට්‍යය සිංහල වේදිකාවට ඒමෙනි. මෙම නාට්‍යය ලාංකේය නාට්‍ය කලාවට නව අත්දැකීම් ගණනාවක් පිලිබඳ සිතීමට අවකාශ සලසන ලදි. මෙම අවිධිමත් උත්සාහය ඔවුන් ගොඩනැගූ රංගයේ සුවිශේෂිතාවයන් කිහිපයක් මතුකිරීමටයි.
The Brother's Size නාට්‍යය ගොඩනැගෙන්නේ මූලිකවම ගොඩනගන්නේ සහෝදර දෙදෙනෙකුගේ කතාන්තරයක් ලෙස. මෙම සහෝදරයන් දෙදෙනා අතරට බාලසොයුරාට සිරගෙය තුළදී හමුවන මිත්‍රයකු සම්බන්ධ වන අතර ඔවුන් තිදෙනාගේ මානව සම්බන්ධතා ගොඩනගන ආකාරය නාට්‍යයට ප්රස්තුත වෙයි. බර්ටෝල්ට් බ්‍රෙස්ට්, ගාර්ෂියා ලෝකා, jerzy grotowski නාට්‍යකරුවන්ගේ නාට්‍ය රීතින් සංකලනයෙන් යුත් නාට්‍යයක් ලෙස මූලිකව හදුනාගත හැක. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බ්‍රෙෂ්ට්ගේ රංග රීතීන් ප්‍රොසීනියම් වේදිකාව තුළ ගොඩනැගීමේදි ගොඩනැගෙන කෘතිමභාවය මෙම නාට්‍යය තුළ දක්නට නොවිණි.
මෙම සමස්ත නාට්‍යය තුල ගොඩනගන ලද “රිද්මය” වඩා සුවිශේෂි බව මගේ අදහසයි. ලාංකේය වේදිකාවේ සමකාලින ප්රස්තුත පවා ප්‍රොසීනියම් ආකෘතියේ නාට්‍යයක් බවට පත්කරන විට පෙර ගොඩනගන ලද සම්ප්‍රදායික රිද්මයකට වැටිම බොහෝ සෙයින් දැකගත හැකිවේ. එහෙත් මෙම නාට්‍යය වක්රකාර නිදහස් අවකාශයක භාවිතා කල අතර නාට්‍යයේ රිද්මය, සමකාලින මොහොතේ රිද්මය සමග වඩා සමාන්තර තත්ත්වයක් ගොඩනගන්නට විය.
මෙම නාට්‍යයේ දේශපාලන අදහස සම්බන්ධව විවිධ කතිකා ඇතිවිය. මගේ යෝජනාව අවුරුදු 2ක් හිර ගෙදර හිටපු මල්ලී නිදහස් වී ආවත් අයියාට ඔහුව සිරගෙයක සිටින අකාරයට පෙනෙන දැක්ම වඩා සුවිශේෂි බවයි. අයියා යෝජනා කරන්නේ තමන්ගේ ගරාජයේ රැකියාවට එන ලෙසයි. අයියාගේ පෙරැත්ත මත රැකියාවට ගියද බාල සොයුරා තමා සොයාගැනීමේ උත්සාහයක නිරත වේ. එය ඊනියා ප්රජාතන්ත්රවාදය මත ගොඩනගන ලද සමාජයක පුද්ගල නිදහස පිළිබඳ නැවත සොයායාමක් ලෙස අර්ථකතනය කල හැක. බාල සොයුරා කුඩා කල ආගමික ශික්ෂණයක ගොඩනැගීම අසල්වාසියන්ගෙන් “හොඳ දරුවා” යන ආදර්ශයට අභියෝග කරමින් වැඩිහිටි ලෝකයේ “හොඳ දරුවා” වීමට වැඩිමහල් සොයුරා සංස්කෘතිය හා නීතියට අනුගතව ව්‍යවසායකයකු බවට පත්වෙයි. ඔහුට අවදිවීමට, වැඩකිරීමට, විවේකය ගතකිරීමට, සතුටුවීමට කාල සටහනක් ඇත. ඔහු සමජාතිකරණය වී ඇතිබව ඔහු නොදනියි. මෙම ඒකාකෘතික සමජාතිකරණය වූ තම වැඩිමල් සොයුරාව බාල සොයුරා විසින් ප්‍රශ්න කරන්නේ “ඇයි උඹ ඔය තරම් ශුෂ්ක?”යනුවෙනි. මෙම සමජාතිකරණයට නොවටෙන පුද්ගලයින් සමාජය තේරුම්ගන්නේ හිරේ වැටීමට නියමිත (ඇතුළට යාමට නියමිත) පුද්ගලයින් ලෙසයි. මේ අනුව මෙම නාට්‍යයේ වැඩිමල් සොයුරා තම බාල සොයුරා දෙස බලන ආකාරයත් නීතිය ඇතුළු මර්ධිත උපකරණ පුරවැසියකු දෙස බලන ආකාරය සමපාත වෙයි. මෙම තත්ත්වය ඇල්බෙයා කැමූගේ “ දි අවුට් සයිඩර්” නවකතාවේ මර්සෝ සහ ෆ්රාන්ස් කෆ්කාගේ “ද ට්‍රයල්” නවකතාවේ ජෝෂප් කේ ගේ චරිත වලට සමාන්තර බවක් උසුලයි.
නාට්‍ය භාෂාව සම්බන්ධයෙන් ද මෙම නාට්‍යය වැදගත් විය. සමාන්‍යයෙන් අප බොහෝ නාට්‍ය තුළ දැක ඇත්තේ සදා නිමකල දෙබස්ය. ඒ අනුව නාට්‍යය පුරාම දෙබස් මගින් ගොඩනගන රිද්මය ද නාට්‍ය ප්‍රේක්ෂකයාට පුරෝකතනය කල හැකිවේ. මෙම නාට්‍යය ඊට සාපේක්ෂව ප්‍රේක්ෂකයාට පුරෝකතනය කල නොහැකි නාට්‍ය දෙබස් ගොඩනැංවීමක් කරයි. එමෙන්ම මෙම නාට්‍යයේ ගොඩනගන ලද දෙබස් ඔවුන්ගේ සවිඥානික හා අවිඥානික මනෝභාවයන් එකවර ගොඩනගමින් මනුෂ්‍ය සංවේදනාවන් භාෂාවට ගෙන ඒමේ නොහැකියාව ද අප හට සම්මුඛ කරයි. භාෂාවට ගොඩනැගිය නොහැකි මෙම අසම්පූර්ණ මිනිස් පැවැත්ම දෙස බලාසිටීම අලුත් අත්දැකීමක් විය.
එමෙන්ම මෙම නාට්‍යයේ රිද්මය ගොඩනගන්නේ චරිතයක් තවත් චරිතයකට ගැටෙන බාධාකිරීමේ (ප්රතිවිරෝධයන්) ප්‍රවේශයක් ලෙසයි. සාමාන්‍යයෙන් පුද්ගලයින් ලෙස අපගේ ජීවිත විවිධ විවිධ බාධාකිරීම් ඇතුලත් සංකීර්ණ තත්ත්වයන් තුළය. එහෙත් එය සාමාන්‍ය නාට්‍යයකදී දෙබස් සහ චරිත ගොඩනගන විට එකක් පසු එකක් ගොඩනගා ඇත. ඒ අනුව, නාට්‍යයකදී කිසිදු බාධාකිරීම් රහිත සුමට ගලායාමක් ගොඩනගයි. මෙම නාට්‍යය ඊට අභියෝග කරයි. මෙම නාට්‍යය ගොඩනගන්නේ මෙම බාධාකිරීම් පදනම තුළයි. එමෙන්ම රංග විධාන සහ එම විධාන වලින් පසු ඔවුන්ගේ රංගනයන් ගොඩනැගීම ද මෙහි ප්‍රේක්ෂාව තවදුරටත් තියුණු කරයි.
මේ ආකාරයේ නාට්‍ය අත්දැකීමක් ලබාදීම පිළිබඳ ප්‍රසන්න මහගම, හිරාන් අබේසේකර, ධනුෂ්ක ඩයස්, චාමර ගමඇතිගේ ඇතුළු නාට්‍ය කණ්ඩායමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.