ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවපත් වීම වෙනුවෙන් පවත්වන බෝධි පූජාවක් අද (22) සවස 6.00ට බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්වීමට නියමිතය.
චාමරගේ පවුලේ සාමාජිකයින්, ළඟම හිතවතුන් සහභාගි වන එම බෝධිපූජාවට සමාගාමීව රටේ කොතනක හෝ සිට එම වේලාවට බෝධිපූජා පිංකමක් කිරීමට උත්සාහ කරන ලෙස චාමරගේ පවුලේ සාමාජිකයින් රසිකයින්ගෙන් ඉල්ලා සිටී.
බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධිපූජාව කලා ශිල්පී නිරෝෂන් ප්‍රේමරත්නගේ සංවිධානයෙන් පැවැත්වීමට නියමිතය.
චාම්ර කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සුවදුක් විමසීමට බොහෝ රසික ප්‍රජාවක් රෝහලට පාලනය කිරීමට අපහසු වන පරිදි ඊයේ (21) දිනයේ පැමිණ තිබිණි.
බොහෝ දෙනෙකුගේ සර්වකාලීන ආදරය දිනාගත් ගායකයෙකු වූ 'චාලි' යනුවෙන්ද හඳුන්වන චාමර වීරසිංහ ගැන මෑතකදී යළි බොහෝ කතාබහට ලක් වූයේ 'පරිණාමය' සංගීත ප්රසංගයේදී ඔහුගේ වේදිකා සම්ප්‍රාප්තිය සමගය. එහිදී ඔහුගේ ගීතයක් වන 'මතකයන් ඔබේ' චාමරටත් වඩා වූ හඬකින් සංගීත රසිකයින් විසින් ගයනු ලැබිණි.
සුවහසක් රසිකයින්ගේ හදවතේ ගායකයා වූ චාමර වීරසිංහට සැවොම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරති. චාමර ඉක්මණින් සුවපත්ව යළිත් සුවහසක් රසික සිත් සනසවනු ඇත. චාමර, ඉක්මනින් ඔබට සුවය ලැබේවා!