කලාව පිහිටීම හෝ එයට නැඹුරු වී කටයුතු කිරීමට කිසිවෙකුට සීමා පැනවිය නොහැකි දෙයකි. මන්ද කලාව යනු වයස් භේදයකින් තොරව සියලු දෙනාගේ රසවින්දනය උදෙසා බිහි වූ මෙවලමක් වී තිබීම හේතුවෙනි. ලොව දිදුලන තාරකා බවට පත් වූ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකගේ ආරම්භය ඔහුගේ ළමා විය හෝ යොවුන් වියයි. නැතිනම් එවැනි අවදියේ හටගත් උනන්දුවයි. කෙටි කාලයක් තුළ ලංකාවේ ජනප්‍රියතම හා ළාබලතම නර්තන කණ්ඩායම බවට පත් වූ කන්ද උඩරට ශ්‍රී රංග මාතා නර්තන කණ්ඩායමද එවැනි කලාවට ලැදි නර්තන ශිල්පිනියන්ගේ කණ්ඩායමකි. නව යොවුන් වියෙහි පසුවන නර්තන ශිල්පිනියන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම නර්තන කණ්ඩායමේ නිර්මාතෘ වන්නේ කැප්ටන් රූපසිංහ මහතාය.
ක්‍රමයෙන් රසික අවධානය දිනාගනිමින් නර්තන ක්ෂේත්රය තුළ ඉදිරියටම එන සිය නර්තන කණ්ඩායම ගැන ඔහු අපට පැවසුවේ මෙවන් දෙයකි.
මේ නර්තන කණ්ඩායම නිර්මාණය වුණේ කොහොමද?
ගම්පොළ දොලුව, ගුරුකැලේ ගමේ පන්සලේ දහම් පාසලට එන දරුවෝ ටිකක් එකතු කරගෙන තමයි මේ නර්තන කණ්ඩායම මම හැදුවේ. මේක හරි අහම්බෙන් සිදු වුණ දෙයක්. අපේ ගමේ සැණකෙළියක් තිබුණා මීට මාස කිහිපයකට කළින්. ඉතින් මේ සැණකෙළියේ ගොඩක් වැඩකටයුතු සිදු වුණේ මා අතින්. මොකද, මමත් සංගීත ක්ෂේත්රයට සම්බන්ධව වැඩ කරන කෙනෙක් හින්දා. කැප්ටන් සවුන්ඩ්ස් කියලා මගේම කියලා ආයතනයක් තියෙනවා ශබ්ද විකාශන යන්ත්‍ර බෙදාහරින. සැණකෙළිය පටන් ගන්න අතරතුර නර්තන කණ්ඩායමක අඩුවක් තිබුණා. ඒ පුරාප්පාඩුව පුරවන්න තමයි ශ්‍රී රංග මාතා නර්තන කණ්ඩායම හැදුවේ.
මේ කණ්ඩායමේ ඉන්න දරුවෝ ඔක්කොම පාසල් යන අය?
නර්තන කණ්ඩායම හදන්න දරුවෝ ටිකක් හොයන කොට මගේ ඇස ගැටුණා ගමේ පන්සලේ දහම් පාසලට එන නටන්න හැකියාව තියෙන දරුවෝ කිහිප දෙනෙකු. ඉතින් මම ඇහුවා ඒ අයගෙන් නර්තන කණ්ඩායමක් හදනවා සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඒ අය කැමති වුණා. ඊට පස්සේ දෙමව්පියන්ගේ අවසරයත් ඇතිව පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා මැද මේ වැඩේ පටන් ගත්තා. වයස් කාණ්ඩවලින් ගත්තොත් වයස අවුරුදු 13ත් 16ත් අතර දරුවෝ ටිකක් තමයි මේ නර්තන කණ්ඩායමේ දැන් ඉන්නේ. කණ්ඩායමේ නායිකාව සංජුලා කාවින්දි හංසිනි. ඇය තමයි මේ කණ්ඩායමේ ඉන්න ලොකුම කෙනා. ඇය තමයි කණ්ඩායමේ බටහිර නැටුම් අංග සියල්ලම වගේ නිර්මාණය කරන්නේ.
දැනට ප්‍රසංග කොපමණ ප්‍රමාණයකට මේ දරුවෝ ටික සහභාගි වෙලා තියෙනවාද?
ගමේ තිබුණ සැණකෙළියට අමතරව තවත් සංගීත ප්‍රසංග පහළොවකට වැඩි ප්‍රමාණයක් සඳහා මේ දරුවෝ ටික සහභාගි වෙලා තියෙනවා. දිගන බලගොල්ලේ තිබුණ ප්‍රසංගය ඒ අතරින් මේ දරුවෝ ටිකට විශේෂ එකක්. මොකද, ඒ ප්‍රසංගයට ලංකාවේ ජනප්‍රියම ගායික, ගායිකාවන් රැසක් ගීත ගායනයෙන් දායක වුණා. දෙසැම්බර් මාසයේ වගේම ජනවාරි මාසයේදීත් එකදිගට අපිට ප්‍රසංග ලැබිලා තියෙනවා සහභාගි වෙන්න. පාසල් නිවාඩුවත් තියෙන නිසා ලැබුණ ආරාධනා සියල්ලම දරුවන්ට කරදරයක් නොවන විදිහට අපි භාරගත්තා.
ඔබගේ වැඩත් සමග නර්තන කණ්ඩායමේ වැඩ කළමණාකරණය කරගන්නේ කොහොමද?
කැප්ටන් සවුන්ඩ් ආයතන වැඩ මගේ මුලීකත්වයෙන් සිදුවුණත් දැන් එහි සියලු වගකිම් මා යටතේ සේවයේ ඉන්න අයට පවරලා තියෙන්නේ. ඒ හින්දා පුර්ණකාලීනව මම ශ්‍රී රංග මාතා නර්තන කණ්ඩායම සමග වැඩ කරගෙන යන්න ඉදිරියේදී සැලසුම් කරගෙන ඉන්නවා. පොඩි දරුවෝ ටිකක්නේ. ඉතින් ආරක්ෂාව වගේම ඒ අයගේ අනාගතය ගැන ලොකු අවධානයක් දෙන්න ඕනා. අධ්‍යාපන කටයුතුවලට අවහිරයක් බාධාවක් නොවන විදිහට මේ දරුවෝ මේ වැඩවලට සම්බන්ධ කරගන්න ඕනා. ලොකු වගකීමක් තියෙනවා මේ වැඩේ. ඒ හින්දා තමයි මම මේ වැඩකටයුත්තට පූර්ණකාලීනව කැපවෙන්න හිතුවේ.
නර්තන ක්ෂේත්රයට තවමත් මේ දරුවෝ ටික අලුත්?
ඔව්, තවමත් ලොකු මුදලක් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඇදුම් පැළඳුම් විතරක් නෙමෙයි ප්‍රසංග සඳහා යන්න එන්න ප්‍රවාහන පහසුකම් පවා මම තමයි මේ දරුවන්ට සපයන්නේ. ප්‍රසංගවලට සහභාගි වෙන කොට මේ දරුවන්ගේ දෙමව්පියෝ දෙන්නෙකුත් මා සමග යනවා. ඉතින් ඒ යන හැම වියදමක්ම දරන්න සිදුවෙලා තියෙන්නේ මා අතින්. මේ දරුවොන්ට නර්තනය ගැන කියලා දෙන්නේ ජනාධිපති සම්මානලාභි වජිර සම්පත් හා දිල්හානි මධුෂා දෙන්නා. ඒ දෙන්නම ලලිත කලා ඩිප්ලෝමාධාරීන් ඒ අය කිසිදු මුදලක් අය කරන්නේ නැතුව මේ දරුවන්ට උගන්වනවා. මුදලට වඩා මට වැදගත් මේ ළමයින්ට තියෙන හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කරන්න. දැනටමත් විදෙස් ප්‍රසංග කිහිපයකට මේ ළමයින්ට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක මම වගේම මේ දරුවෝ ටික ලබපු ලොකු ජයග්‍රහණයක්.
බුද්ධික සේනාධීර