ආර්. මුත්තුසාමි හෙවත් බොහෝ දෙනා හඳුන්වන මුත්තුසාමි මාස්ටර්ගේ පිළිරුවක් අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී එළිදැක්විණි.
ආර්. මුත්තුසාමි නම් ශ්‍රී ලංකාවට සක්‍රමණය වී ශ්‍රී ලාංකිකයකු ලෙස මිය ගිය මේ මහා කලාකරුවාගේ පුතණුවන් වන මොහාන් රාජ් සමග නීත්ඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න කළ සංවාදයක් ඇසුරින් සැකසුණු ලිපියක් මෙසේ පළ කෙරේ.
එක් දහස් නවසිය අසූ තුන කියන්නේ ලංකාවේ අපට කාලකන්නි අවුරුද්දකි. සමහරු හිතන්නේ අසූ තුනේ කළු ජූලිය යනු දෙමළුනට පාඩමක් ඉගැන්වූ අවුරුද්දක් කියාය. ඒත් පීඩාවට පත් ලාංකේය දෙමළ ජනතාව කඩිනමින් යාපනේට පසු බැස පසුව උපන් දේශය අතහැර වෙනත් විදේශ රටවලට යන්න ගියහ. සත්‍ය ලෙසම සිද්ධ වුණේ ලංකාවේ සිංහල කතා කරන අපි ලෝකයෙහි තනිවිම පමණකි. අපි තෝසයක් වඩයක් කන්න ආසවෙන් ගොඩ වැදුණ ශෛවර් කඩේ මුදලාලිත් අපට තෝසයක් වඩයක් කන්න තිබුණ හුරු පුරුදු කඩේ වසා කිසිවෙකු නො දන්නා කොහාටදෝ යන්ට ගියේ අපට හුරු වඩේ තෝසේ පමණක් නොව අප සතු අනන්‍යතාවද අපට අහිමි කරමිනි. වසර තිස් හතළිස් ගණනක් මාතලේ මහ වීදියේ තිබුණ ප්‍රනාන්දු ස්ටෝර්ස් කළු ජූලියේදී සුන්නද්ධූලි විය. සිංහල ප්රනාන්දුලාට ගිනි බින්දේ ඇයිදැයි මා විමසූ විට ලැබුණ උත්තරය ඔවුන් ප්‍රනාන්දු පුල්ලේලා බවය.
කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම කළු ජූලියෙන් පසු දවසක කොළඹ ගිය මට වේල්ස් කුමාර වීදිය පසු කරමින් යන අතර යේ හදිසියේම මුත්තුසාමි මාස්ටර් සිහිපත් විය. ඔහු වාසය කළේ වේල්ස් කුමාර මහ විදියේ මුහුණලා පිහිටි නිවෙසකය. මාස්ටර්ගේ ගෙදර දොරටුවේ ආර්. මුත්තුසාමි කියා ගියා තිබුණේ බස් රියක ගමන් කළ අයෙකුට වුවද පෙනෙන ආකාරයට ලොකු අකුරෙනි. ආර්. මුත්තුසාමිගේ අර නාම පුවරුව සහිත නිවෙස කිසිදු උපද්‍රවයකින් තොරව පෙර පරිද්දෙන්ම මට දැක ගත් මට ඇති වුණේ සතුටට වඩා විමතියකි. ප්‍රනාන්දු පුල්ලේගේ කඩේ කොල්ල කා ගිනි තබා විනාස කළ ජාති හිතෛෂීන්ගේ පොලු මුගුරුවලට රාමයියා මුත්තුසාමි හෙවත් ආර්. මුත්තුසාමි ගොදුරු නොවුණේ මුත්තුසාමිලා කලක් ලංකාවේ රජකම් කළ නිසා නොවේ. ලංකාවක මිනිස්සු ආදරය කළ ආර්.මුත්තුසාමි විශිෂ්ට සංගීතඥයෙකුව සිටි නිසාය. පුදුමය වන්නේ කළු ජූලියේදී මුත්තුසාමි සංගීතය සැපයූ බොහෝ සිංහල චිත්‍රපට නිපදවූ විශාල චිත්රාගාර පවා ගිනි තබා විනාස කර තිබීමය.
උපතින් ලාංකිකයෙකු නොවූ මුත්තුසාමි දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ආසන්නව පිහිටි නාගර් කෝවිල් නම් ගමේදී 1926 ජනවාරි 05 වෙනිදා මෙලොව එළිට දුටුවේය. ගාන්ධර්ව පරම්පරා පරවේනියකට අයත් ඔහුගේ පියා නමින් රාමයියා බාගවදර් ය. රාමයියා බාගවදර් නම් ශ්‍රේෂ්ඨ සංගීතඥයාට තම පුතණුවන් මුත්තුසාමි ද සංගිතඥයෙකු කිරීමට පැවති උවමනාව නිසා කුඩා අවදියේ පටන් තම සංගිත රසාස්වාදයේ රස මිහිර විඳ දරා ගැනීමේ ඉඩකඩ සලසා දුන්නේය. වසර දහය ලබන විට කුඩා වයිලිනය ඇගිලි තුඩින් පිරිමැද මිහිරි රාව නංවන තරමට හැකියාවෙන් මුහුකුරා ගිය කුඩා මුත්තුසාමි මදුරාසියේ විවිධ සංගීත සංදර්ශනවලට සහභාගි කරවීමට රාමයියා බාවදර් එනම් කුඩා මුත්තුසාමි පියා ක්‍රියා කළේය.
ලංකාවේ මුල්ම චිත්‍රපටය නිෂ්පාදනය කළ සුන්දරම් පිල්ලේ මධුර නායගම් හෙවත් ශ්‍රී ලාංකිකයන් දන්නා පරිදි එම්.එස්.නායගම්, කලක සිට ආර්.මුත්තුසාමි දැන සිටියේය. ඒ තවත් දකුණු ඉන්දීය පුරවැසියෙකු ලෙස නොව දක්ෂ සංගීතඥයෙකු ලෙසය. ඒ නිසාම ඇම්.ඇස්. නායගම්ගේ කමලාදේවි නම් කුඩා දැරියට ඒ වනවිටත් මුත්තුසාමි සංගීතය ප්‍රගුණ කරවමින් සිටියේය. මේ සියලු බැඳීම් හේතුවෙන් ලංකාවේ මුල්ම චිත්‍රපටයට තෝරා ගත් සංගීත අධ්යක්ෂවරයා ලෙස මුත්තුසාමි තෝරා ගැනීමට නායගම්ට තිබුණේ දැඩි උනන්දුවකි. මේ කැමැත්ත නායගම් මුත්තුසාමිට දැන්වූ විට තමාට පැවරෙන වගකීමේ දිග පළල තේරුම් ගත් මුත්තුසාමි ඒ ගැන දෙවරක් කල්පනා කිරිමට කල් ලබා ගත්තේය. පසු කලෙක මේ සිද්ධිය සිහිපත් කළ මුත්තුසාමි කීවේ නායගම් තමා දැන සිටියේ සංගීත ගුරුවරයෙකු ලෙස පමණක් වන සංගිත විෂයෙහි දිග පළල නායගම්ට වඩා ගැඹුරේ දැන සිටි හෙයින් එවකට ඉන්දීය චිත්‍රපට සංගීතඥයෙකු ලෙස ප්රකටව සිටි ආර්. නාරායන් අයියිර් කඩවුණ පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරා ගැනීමට නායගම් කැමති කරවා ගත් බවය.
ආර්.නාරායන් අයියිර් - මුත්තුසාමි සමග එක්ව සංගීතවත් කළ කඩවුණ පොරොන්දුව නම් ලංකාවේ මුල්ම සිංහල චිත්‍රපටය 1947 ජනවාරි මස 27 වෙනි දින කොළඹ කිංස්ලි සිනමා ශාලාවේ තිරගත විය. දකුණු ඉන්දියාවේදී නිෂ්පාදනය කරන ලද කඩවුණ පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදක එම්.එස්.නායගම් වන අතර අධ්යක්ෂවරයා ජෝතිශ් සිං නම් විය සංගීත අධ්‍යක්ෂණය නාරායන අයියර්ය. මේ ඓතිහාසික සංසිද්ධියට සමාන්තරව ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා මූලික කටයුතු කරමින් සිටි එම්.එස්. නායගම්ගේ ඉල්ලීම අනුව ලංකාවට පැමිණි මුත්තුසාමි, 1952 ඔක්තෝබර් මස 20 දින ලංකා ගුවන් විදුලි සේවයේ දෙමළ වාදක වෘන්දයේ සාමාජිකයෙකු ලෙස එක්විය.
නායගම්, කඳානේ සුන්දර මුරුගන් චිත්‍රාගාරයේ නිත්‍ය සංගිතඥයා ලෙස එකතු වන ලෙස නායගම් මුත්තුසාමිට කළ ආරාධනාව පිළි ගත් මුත්තුසාමි 1953 දී ගුවන් විදුලි සේවයෙන් ඉවත්ව නායගම් සමග එක් විය. ඒ.ආර්.රාජ් අධ්‍යක්ෂණය කළ නායගම් නිෂ්පාදනය කළ ආර්. මුත්තුසාමිගේ සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රේම තරගය නම් මුල්ම චිත්‍රපටය, 1953.03.27. දින ප්‍රදර්ශණයට එක් වූ 1953දී තිරගත විය. එවකට නිෂ්පාදනය වූ සිංහල චිත්‍රපටවල සංගීතය දකුණු ඉන්දීය සම්ප්‍රදායට අනුව නිර්මානය වූ අතර පසුබිම් ගායනය සඳහා ද, ජික්කි, කේ.රාණි, ජමුනා රාණි වැනි දකුණු ඉන්දීය ගායිකාවන් පමණක් නොව විශිෂ්ට භරත ගායිකාව වූ ලතා මංගේශ්කාර් පවා කැඳවා ගනු ලැබීය. තමන්ට ලැබුණ මුල්ම සංගීත අධ්‍යක්ෂණයේදී මුත්තුසාමි දකුණු ඉන්දීය බලපෑමෙන් සිංහල චිත්‍රපට සංගීතය මුදා ගැනීමේ අත්හදා බැලීම් කිරීමට පියවර ගත්තේය.
ගීත තැටිවලට සීමාව සිටි ධර්මදාස වල්පොල නම් විසි හය හැවිරිදි තරුණයා මෙන්ම විසි එක් වෙනි සියවසේත් සිය මධුර ගායනයෙන් රටක රසිකත්වය නලවන ලතා නම් ආධුනික ගායිකාවත් සිංහල චිත්‍රපට පසුබිම් ගායනය සඳහා කැඳවා ගන්නා ලද්දේ මේ විශිෂ්ට සංගීතඥයා ය. එවකට විසි හත් හැවිරිදිව සිටි මුත්තුසාමිට මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා අන්තර් ජාතික සම්මානයක් හිමි විය. මේ සම්මාන උළෙල සංවිධානය කළේ දකුණු ඉන්දීය පත්‍ර කලා වේදින්ගේ සංගමය විසිනි. මේ යුගයේ සිංහල චිත්‍රපට කර්මාන්තය වෙනම කලා මාධ්‍යයක් ලෙස අගය කරන තරමට දියුණුව තිබුණේ නැත. ඉන් පසුව සිංහල චිත්‍රපට සංගීතයේ අනභිබවනිය පෞරුෂයක් බවට පත් මුත්තුසාමි, 'අහංකාර ස්ත්‍රි' (1953), 'පුදුම ලේලි' (1953), 'මාතලන්' (1955), 'රම්‍යලතා' (1956), 'සංදේශය' (1961), 'අල්ලපු ගෙදර' (1965), 'නලගන' (1960), 'සිතක මහිම' (1964) සහ 'චණ්ඩියා' (1965) සමග 'ප්‍රේම තරගය' (1953), 'පුදුම ලේලි' (1953), 'සිතක මහිම' (1964) ආදි ජනප්‍රිය සිංහල චිත්‍රට රාශියක් සිය භාව පූර්ණ සංගීතයෙන් ගීතවත් විය.
කෙටි කලක් තුළ ආර්.මුත්තුසාමිට ලැබුණ ජන ප්‍රසාදය ගැන උන්නදුවූ අගමැති සර් ජෝන් කොතලාවල මේ විශිෂ්ට සංගීඥයා ඉන්දීය පුරවැසියෙකු බව දැන ගත් වහාම ඔහු කැඳවා සිංහල චිත්‍රපට කලාවට කරන සේවයට උපහාර වශයෙන් ලාංකේය පුරවැසිකම පිරිනැමීය. මුත්තුසාමිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගීතවත්වූ ප්‍රදර්ශනය කෙරුණ සහ ප්‍රදර්ශනය නො කෙරුණු චිත්‍රපට සංඛ්‍යාව දෙසිය විසි පහක් පමණ වේ. ඔහු මධුර යායේ ආදි ගී ගයමින් ජනප්‍රිය ගායකයෙකු ලෙසද ජනාදරය දිනා ගත්තේය. කෙටි කලකින් ගායකයෙකු ලෙසද ලාංකේය රසිකයන් අතර ජනාදරයට පත් මුත්තුසාමිගේ සංගීතයට හා මධුර ගායනයට ප්‍රිය කළ සිංහල රසික සංඛ්‍යාව දහස් ගණනක් වූ අතර එයින් එක් තරුණීයක සමග ආර්. මුත්තුසාමි 1961 ඔක්තෝබර් මස 7 වෙනි දින විවාහ විය. ඇය නමින් බමුණු ආරච්චිගේ නීලියා පෙරේරා වූ අතර, මහනුවර සිට කොළඹට සංක්රමණයවූ සිංහල පවුලකට අයත් දියණියක වූවාය.
මුත්තුසාමිගේ ජීවිතයේ හවුල්කාරිය වූ නීලියා සිය සැමියා වෙනුවෙන් එක් පිරිමි පුතෙකු හා දියණියන් තිදෙනෙකු බිහි කළාය. පසු කලෙක එකී පුත්‍ර රත්නය රට දන්නා සංගීත වේදී මෝහන් රාජ් විසි එක්වෙනි සියවසේත් රසික පරම්පරාවන්ගේ සතුට පිණිස රාමයියා බාගවදර් පරපුරේ සංගීත උරුමය පවත්වා ගෙන යන්නාහ. චිත්‍රාංගි ප්රසන්ණවාදිනී, කීර්තිකා මුත්තුසාමිගේ ආදරණීය දුවනියන් වූහ. දකුණු ඉන්දියාවේ ඉපිද නායගම් නම් මිත්‍රයාගේ ඉල්ලීම අනුව දිවයිනට පැමිණෙන විට මුත්තුසාමිට ලංකාව සමග පැවති එකම නෑකම සංගීතය පමණකි. ඒ නෑකම ලාංකේය ජනතාව කොයි තරම් ආදරයෙන් උණුසුමින් වැළඳ ගත්තාද යන්න ලිපිය ආරම්භයේ දැක්වෙන අකාරයට 83 කළු ජූලි සිද්ධියෙන් තහවුරු වේ. කළු ජූලිය රට වෙළා ගෙන රටේ සියලු පහසුකම් බිඳ වැටුණ සවසක ටොරින්ටන් චතුරශ්‍රයේ ගුවන් විදුලි පරිශ්‍රයේ සිට සිය නිවෙසට යාමට සූදානම් වූ මුත්තුසාමිට හිතවතුන් කීවේ දැන් යන්ට එපා කියාය. ඊට ප්‍රතික්‍රියා දක්වමින් මුත්තුසාමි සිනාසෙමින් කියා ඇත්තේ මං මොකට බය වෙන්නේ කවුරුත් මට ගහන්න ආවොත් මම මධුර යාමේ සිංදුව හයියෙන් කියනවා කියාය. අතර මගදී කවුරු හරි මට ගහලා මැරුවොත් ඒකා කන් ඇහෙන්නේ නැති බීරෙක් විය යුතු බවය. පොදු ප්‍රවාහන සේවා තබා පා පැදියක් හෝ පාරේ ගමන් නො කළ ඒ හැන්දෑවේ ඔහු වේල්ස් කුමාර මාවත තෙක් පැමිණියේ පයින් ඇවිද ගෙනය. කිසිටවකු ඔහුට අඩෝ කියා හෝ නැත. සුදු හංස රෑනකට ඇලුම් කළා සේ මුත්තුසාමිගේ සංගීතයටත් මධුර හඬටත් ලංකාවේ මිනිස්සු එකසේ ඇලුම් කළහ.
එච් .ආර් ජෝතිපාල - ආර් . මුත්තුසාමි සමඟ ජේ . ඒ මිල්ටන් පෙරේරා කැසට් රේඩියෝ නො පැවති පනස් හැට ගණන්වල බොහෝ රසිකයන් මිහිරි තනු නිසා මුත්තුසාමිගේ සංගීතය විඳීමට කැමති රසිකයන් ඔහු සංගීතය සැපයූ චිත්‍රපට කිහිප වර නැරඹු බව ප්‍රසිද්ධ කතාවකි. එකල ගැලරි වාසි රසික සහෘදයන්ට ග්රැමෆෝන් තැටියකට සවන් දීමට හැකියාවක් නො තිබිණ. මුත්තුසාමිගේ නිර්මාන අතර ධර්මදාස වල්පොල ගායනා කළ “ඔය බැල්ම ඔය කැල්ම නිළුපුල් නෙතේ...., “හොඳ හොඳම වේය නැත කිසිම තැනක නැත නො හොඳ නරක දිනුවේ, “ලංකාරෙන් මලක් පිපී සැලෙන්නා, “හනික යමන් පුල්ලි ගොනෝ, “ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා, ආදි ගීත මෙන්ම, එච්.ආර්.ජෝතිපාල ගීතවත් කළ පෲතුගිසි කාරයා රටවල් අල්ලන් වීරයා, හරුන් ලන්ත්රාගේ මගේ නාමලී, මිල්ටන් පෙරේරාගේ විනෝද වෙන්න, සුජාතා අත්තනායකගේ ආදරේ මන්දිරේ, සහ මං පොඩි කාලේ දැක්කට පස්සේ, ආදි ගීත පරම්පරා ගණනක රසිකයන්ට අදටත් බෙහෙවින් සමීපය. ඔහුගේ මිහිරි තනු ගැයීම නිසා රසික සිත් දිනාගත් ගායකයන් අතර, මොහොදින් බෙග්, ජී.එස්.පී. රානි පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, නාරද දිසාසේකර ප්රමුඛ වේ.
මුත්තුසාමි සංගීත මාධූර්ය නිසා රසිකයන් අතරට ගිය ඉන්දිය ගායක ගායිකාවන් ද විශාල පිරිසක් වේ. දකුණු ඉන්දීය සංගීත සම්භවයකට උරුමකම් කී මුත්තුසාමිගේ සංගීත චාරිකාව දේශයකට සීමා නො වීය. පර්යේෂන හා ස්වතන්ත්‍ර නිර්මාන නිසා නව මගක් ගත් ඔහුගේ නිර්මාන නිරන්තර මිහිරි රාවයෙන් පිරී තිබිණ. තමන් අතට පත් පිටපත් සංගීතවත් කිරිමටවන්නම් විරිදු ගැමි ගී ආදි දේශීය ගී සම්ප්‍රදායන් ස්පර්ශ කිරීමට ඔහුට පැවති හැකියාව සංගීත ලෝලයන්ගේ භාග්‍යයකි. පණ්ඩිත් අමරදේව මුත්තුසාමිගේ තනුවලට ගායනා කළා පමණක් නොව මුත්තුසාමිගේ වාදන වෘන්දයන්ට එක්ව ඔහුගේ මෙහෙයවීම යටතේ සංගීතය සැපයූ අවස්ථාවන්ද බොහෝය. නායගම් සමග ශ්‍රී ලංකේය චිත්‍රපට ව්‍යාපාරයට නො මැකෙන සේවයක් කළ මුත්තුසාමි 1958 නැවත ලංකා ගුවන් විදුලි සේවයට එක්විය. තනු නිර්මානයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් සම්භාවනාවට පාත්‍ර වූ මුත්තුසාමි සිය මධුර ස්වරයෙන් ගායනා කළ මධුර යාමේ, ගිළුණා ශෝක ගඟේ, මගේ දෑසම පියවී, ආදි ගීත අදත් සංගිත ලෝලින්ගේ ලය රිද්මය සෙමෙන් පිරිමදිනු දැනෙයි. ඔහු සිය සේවා කාලය තුළ ලංකා ගුවන් විදුලියේ දෙමළ වාදක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සේවය කළේය.
මුත්තුසාමිගේ අභාවයෙන් දස වසරක් ගෙවුණ තැන පැවති අනුස්මරණ උත්සවය 1998 ජූනි මස 07 වෙනිදා පැවැත්විණ. එහි අරමුණ වූයේ මුත්තුසාමි නිර්මාන එක් සෙවනක් යටදී රස විඳිමට රසිකයන්ට අවස්ථාව ලබාදීමය. මුත්තුසාමිගේ දහස් ගණන් සංගීත ලෝලින්ගේ සහභාගිත්වයෙන් මහා ජන ප්රවාහයක්වූ එකී අවස්ථාවට පණ්ඩිත් අමරදේවද පැමිණ සහභාගි විය. මුත්තුසාමි, අමරදේවට වඩා එක් වසරකින් වැඩිමහල් වේ. අමරදේව වේදිකාවට පැමිණ තමන් නිර්මාණය කළ පද කිහිපයක් වේදිකාවේ ගයා සිය ප්‍රාණ සම මිතුරට කළ හැකි ඉහළම උපහාරය නිර්ලෝභිව පුද කළේය. සිරිලක් සිනමා සගයුව පෝෂණායෙහි ලා නිරතව බැඳි සුමධුර සර මුතුහර අගයමි නිති කළ මෙහෙවර රසිකමන නුවන් සනසන යෙදූ සොඳුරු කලා පිනැණි මුත්තුසාමි සකි සඳාන සමරමි මෙලෙසින් නදචා පුද දෙන්නට ඔබේ නමින් බැති මුතුහර පහන් සිතින් අවසර සුදනනි ගයන්න මේ ගී පද අභිනන්දන මුත්තුසාමිගේ එකම පුත් මෝහන් රාජ්ට අනුව දකුණු ඉන්දීය සම්භවයක් සහිත සිය පියාගේ පියා වූ රාමයියා බගවදර් සහ ඔහුගේ මුතුන් මිත්තන් සංගීත හැකියාව නිසා පැරණි රාජ රාජ මහාමාත්යන්ගෙන් සම්මාන ලද්දෝ වෙති.
අපේ තාත්තා කුඩා කාලයේ සිටම සංගීතයට කැමැත්තෙන් සිටි බවත් සීයා එයාව උනන්දු කරවන්න තාත්තාට වයස 10 වෙන කොට වයලීනයක් ගෙනත් දුන්නා කියලා අපට කියලා තියෙනවා. එයා සංගීතය ආරම්භ කරලා තියෙන්නේ ඒ ඒ වයලීනයෙන්. අපෙ සීයා සංගීත ශාස්ත්‍රය ඉගෙණ ගෙන තියන්නේ මුත්තාගෙන්. අපේ පරම්පරාවේ සංගීත කතාව එහෙම වුණාට අපේ තාත්තා මං සංගිතඥයෙකු වෙනවාට කැමති වුණේ නෑ, තාත්තා කීවේ ලංකාව වැනි පුංචි රටත සංගීතඥයෙකුට යන්න තියෙන දුර හරි ටිකයි කියලා. ඒත් තාත්තා එහෙම කල්පනා කළේ ලංකාවේ සංගිතඥයන්ට නිසි සැලකිල්ලක් නැති නිසා විය හැකියි. අපේ ගෙදර තිබුණ සංගිත භාණ්ඩයක් වුණත් ආසාවට හෝ වාදනය කිරිමේ නිදහස මට ලැබුණේ තාත්තා ගෙදර නැති වෙලාවට පමණයි. නමුත් මට සංගීතය වෙත නැඹුරු වීම ගැන අපේ අම්මා තුළ පැවතියේ දැඩි උනන්දුවක්. මේ පරිසරය තුළ තාත්තාගේ සංගිත භාණ්ඩ ඔහු නැති අතර වාදනය කරන බව ඔහු දැන සිටියත් ඊට විරුද්ධ වුණේ නැත. ඔහුට අවශ්‍ය වුණේ වෙනත් සාර්ථක වෘත්තියට මාව යොමු කිරිමට. අපට තේරෙන කාලේ පටන් සංගිත ලෝකායේ පැවති ආරවුල් ගැන නිතැර අසන්නට ලැබුණා. ඒත් ඒ කිසිම ආරවුලක් තාත්තාට විරුද්දව පැවති බවත් අපට අසන්නට ලැබුණේ නැහැ. මා දන්නා පරිදි තාත්තාට ක්ෂේත්රයේ කවුරුත් ආදරයෙන් සැලකුවා. ගෞරව දැක්වූවා. තාත්තාගේ දැනුමට මිනිස්සු ගරු කලාට මට අභියෝග තියෙයි කියලා තාත්තා කල්පනා කළා විය හැකියි. තාත්තා සංගීත ක්ෂේත්රයේ දක්ෂයෙක්. ඒත් ඒයාගේ පුතා හැටියට මම එයාගේ දක්ෂකම් කතා කරන එක එයාට අගෞරවයක් කියලා මට හිතෙන්නේ. එසේ කී මෝහන් රාජ් යම් කාලයක් නිහඬව බලා සිටියේ මගේ ප්‍රතිචාරය ගැන විමසිල්ලෙනි.
මොහාන් මමත් ඔබේ පියාගේ රසිකයෙක්. ආර්.මුත්තුසාමිගේ සංගීත ලෝලින්ට එයා ගැන කාගේවත් සහතික උවමනා නෑ. මොහාන් රාජ් කී පරිදි මුත්තුසාමි පවුලට ආගම් දෙකක් විය. ඒ පියාගේ විශ්වාසය ඒකරාශි වූ හින්දු කෝවිල සහ අම්මාගේ උරුමය වූ පන්සල හා විහාරයයි. පවුලේ පන්සල සුප්‍රකට බෙල්ලන්විල විය. ඔවුන් කොලොන්නාවේ හාමුදුරුවන් සමග බෙහෙවින් කුළුපග විය. අපි දරුවන් සියලුදෙනාම විවාහ වුනේ සිංහල අය සමග. තාත්තා මිනිසුන් විශ්වාස කළේ මනුෂ්‍යත්වය අනුව මිස සිංහල දෙමල වශයෙන් සලකා නොවේ. වරක් චිත්‍රපටයක් සඳහා සංගිත පටි ගත කිරීමකට තිස් ගණනක වාදක මණ්ඩලයක් යොදා ගනු ලැබීය. පටිගත කිරිම අතරමග තාත්තාගේ විධානයෙන් වාදනය නතර කරවීය. හේතුව එක් වයලීනයක් වැරදි විදියට වාදනය වීමය. එක් වයලින ශීල්පියෙකුට කතා කොට තනිව එකී සංගීත කාණ්ඩය වාදනය කරන ලෙස නියම කළ විට වැරැද්ද සිදුවී තිබුණේ ඔහුගෙන් බව පැහැදිලි විය. තාත්තාගේ සංගිත ඥානය එතරම් සියුම් විය. එසේම සමහර අවස්ථාවල සුපුරුදු සර්පිනාව නොමැතිව පවා සමහර ගීත පිටපත් වලට ස්වර නිර්මානය කැරනු මම නිරික්ෂණය කර ඇත. මට මතක ඇති ආකාරයට තාත්තා සමහර චිත්‍රපට සඳහා කළ නිර්මාන ගැන යළි යළි ගෙදරදීත් කතා කළා. ඔහු ජිවිතයේ අවසාන කාලයේදී සංගීත රචනා කළ විජය කුමාරතුංග රඟ පෑ සමාව චිත්‍රපටය ඉන් එකකි. එහෙත් ඔහු බෙහෙවින් ආදරය කළ විශිෂ්ඨ සංගීත නිර්මාන ඇතුළත් චිත්‍රපටය කිසිදාක තිරගත නොවීය.
තාත්තා විවේක ලැබුණ හැම විටෙකම පවුලේ අප සමග ගමන් බිමන් යාමට ආශාවක් දැක්වීය. කතරගම මුන්නේෂ්වරම වැනි හින්දු කෝවිල් නමස්කාර කොට ප්‍රදේශයේ සංචාරය කිරීම ඒ ගමන්වල අරමුණ විය. ඔහු වාර්ෂීකව කතරගම වන්දනාව කිසි විටෙකත් මඟ හැරියේ නැත. ආර්.ප්‍රේමදාස බොහෝ කලාකරුවන්ට ආධාර උපකාර කළ අතර විශ්‍රාම වැටුප් පවා ගෙවීමට වැඩ සටහන් පිළියෙල කර තිබිණ. එසේම සමහර කලා කරුවන්ගේ දරුවන්ට රජයේ සහ වෙනත් ආයතනවල රැකියා පවා ලබාදීමට ක්‍රියා කාළේය. එහෙත් අපේ තාත්තාට හෝ ඔහුගේ කලා කටයුතු හේතුවෙන් පවුලේ දරුවන් වන අපට හෝ මේ කිසිදු ප්රතිලාභ ලැබුණේ නැත. ඊට හේතුව ඔහු දේශපාලනඥයත් පසුපස නො යාම විය හැකිය. දරුවෙකු වෙනුවෙන් යමක් ලබා ගැනිමට හෝ සිය ආත්ම ගෞරවය පාවා දුන්නේ නැත. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය සඳහා ගීත තනු නිර්මානය කාළේ තාත්තා විසිනි. ඒවා අදටත් රසික හදවත්වල ආදරණිය මතකයන් බව රහසක් නොවේ. එහෙත් සංදේශය චිත්‍රපටයෙන් පසුව තාත්තා සිය යන තෙත්ම කිසි දිනෙක ලෙස්ටර් නම් විශිෂ්ඨ සිනමා ශීල්පියා තාත්තා සිය චිත්‍රපට නිර්මානයක් සඳහා කැඳවා නැත. මේ දෙදෙනාම සිය විෂයයන්හි ඉකා සාර්ථක වුවද එක්ව ක්‍රියා කර නැත.
ගායකයෙකු ලෙස රටම දන්නා තාත්තාගේ මව් බස දෙමලය. ඔහු ඉතා හොඳින් සිංහල භාෂාව හැසිරවූ නමුත් ගී ගායනය අතර සමහර සිංහල වචන නිවැරදිව උච්ඡාරණය කිරිමට තමන්ට හැකියාව ලැබී නැති බව අප සමග කීවා. තාත්තාගේ යුගයේ සිංහල චිත්‍රපට සඳහා දකුණු ඉන්දියාවේ උපන් ජික්කි, කේ රාණි මොහිදන් බෙග් වැනි කලාකායන් තුළින් මේ දුර්වල ප්‍රදර්ශනය වුවද කිසි විටෙක සිංහල ගීත රසිකයන් එවනි අඩුපාඩු ගැන උනන්දු නොවීය. විශේෂයෙන් ජික්කිගේ සමහර නුහුරු උච්ඡාරණයන් ඒ ආකාරයෙන්ම සිංහල ගීත රසිකයන් ගායනා කළා. මම තාත්තාගේ ගීත නැවත ගායනය කරනවා. ඒ ගැනද යම් යම් විවේචන ඇතත් තාත්තාගෙන් මඟ හැරුණ දුර්වල උච්ඡාරණ නිවැරදි කරමින් ගී ගායනා කරන්නේ මගේ තාත්තාට කරන උපහාරයක් හැටියටය. අද වනවිට ආර්. මුත්තුසාමි පවුල ශ්‍රී ලාංකික පවුලක් බව මම ආඩම්බරයෙන් කියන්නේ එය තාත්තා ලැබූ ජයග්‍රහණයක් නිසාය. කළු ජූලියේදී තාත්තාට හෝ අපට කිසිදු කරදරයක් නොවුණේ අප ශ්‍රී ලාංකික වූ නිසා විය හැකිය. එහෙත් ලංකාවේ උපන් කොපමණ ශ්‍රී ලාංකික පවුල් ඒ මහා ඛේදවාචකයේ වින්දිතයන් බවට පත්ව උපන් රට හැරු ගියේද යන්න රටේ කවුරුත් දනිති. මුත්තුසාමි යනු හොඳ සංගීතඳයෙකු පමණක් නොවේ. උපන් රටෙන් පිටව ගොස් තවත් රටක ජීවත්වන සංක්‍රමණිකයන් විසින් අධ්‍ය්‍යනය කළ යුතු පරමාදර්ශී යුග පුරුෂයෙකි යන්න අතිශයෝක්තියක් නොවේ. මේ විශිෂ්ට මිනිසා වසර 1988 ජූලි මස 27 වෙනි දින වසර හැට දෙකක් ආයු වළඳා අපෙන් සමු ගත්හ.