ඉන්දියාවේ පැවැත්වෙන ජනප්‍රියතම ළමා ගායන රියැලිටි තරඟාවලියක් වන sarigamapa (සරිගමප) 3හි ජයග්‍රාහිකාව වන ශ්‍රී ලාංකේය ළමා ගායිකා කිල්මිෂා යශිසායි ඇගයෙන විශේෂ තෛපොංගල් වැඩසටහනක් පසුගියදා (15) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී පැවැත්විණි.
කිල්මිශාත් සමග ශ්‍රී ලාංකේය සංගීත කලාවේ දෙමළ භාෂාවෙන් කටයුතු කරන තවත් කලාකරුවන් ගණනාවක්ද මේ සඳහා සහභාගි වූ අතර
නේත්‍රා ටීවී රූපවාහිනී නාලිකාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පැවැත්වූ මෙම ඇගයුම් වැඩසටහන සංවිධානය කිරීම සඳහා නේත්‍රා ටීවී නාලිකා ප්‍රධානී, ජනප්‍රිය ගීත රචක නිලාර් එන්. කාසීම්ගේ අදහස් බෙහෙවින් බලපා තිබිණි.
කිල්මිශාගේ ජයග්‍රහණය යනු ඇය උපන් බිම වන යාපනයට හිමි ජයග්‍රහණයකි. ඒ හා සමානවම සමස්ත ශ්‍රී ලංකාවටම කීර්තියක් ගෙනා ජයග්‍රහණයකි.
සරිගමප යනු ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය කෙරෙන දකුණු ඉන්දීය (කොලිවුඩ්) සිනමා කර්මාන්තය ඇතුළු ගීත කලාවට නවක ගායක ගායිකාවන් දායාද කෙරෙන ජනප්‍රිය වැඩසටහනක් වන අතර යාපනය චුණ්ඩිකුලි බාලිකා පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකාවේ කිල්මිෂා ජයග්‍රහණය කළේ මෙම තරඟයයි. කිල්මිෂාගේ විශේෂත්වය වන්නේ සිය උපන්බිම ගැන දක්වන ආදරය ඇය සරිගමප තරඟාවලිය අතරදීද පැහැදිලිව ප්‍රකාශ කළ යොවුන් ගායිකාවක් වීමයි. සරිගමප තරඟයක් ශ්‍රී ලාංකිකයෙකු ජයග්‍රහණය කළේ පළමු වතාවටය. තරඟය පුරාවටම ඇය ඉන්දීය කලාකරුවන් විසින් හඳුන්වනු ලැබුණේද ශ්‍රී ලාංකික දියනියක ලෙසිනි.
අනෙක් අතට විදේශගත වුණ ශ්‍රී ලාංකික කලාකරුවන් ජාත්‍යන්තරය ජය ගත්, ඉන්දීය කලාවට කොතෙකුත් සම්බන්ධ වූ අවස්ථා තිබුණත් කිල්මිෂා ඉහත සඳහන් වටපිටාවක බිහි වී ශ්‍රී ලංකාවේම හිඳිමින් විදේශික තරඟයක් ජය ගත් දුර්ලභ කලාකරුවන්ගෙන් එක් අයකු වීමද විශේෂත්වයකි. ඇයගේ කුඩා වයසද ඒ හා සමානව ඇගේ විශේෂත්වය තවත් ඉහළ දමන සාධකයකි.
සංගීතය යන විශ්වීය භාෂාවෙන් වියත්බව පෙන්වන කිල්මිෂා දෙමළ භාෂාවෙන් ගායනා කරද්දී සෑම ජන වර්ගයකටම අයත් ප්‍රේක්ෂකයෝ ඇයව ආදරයෙන් වැළඳගත්හ. ඇයගේ සුමධුර හඬින් කළ ගීත ගායනා සියල්ල එක ලෙස ආදරෙන් පිළිගත්හ.
කිල්මිෂා ඉදිරියේදී නේත්‍රා ටීවීහි වැඩසටහන් සඳහා සහභාගි වීමටද කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. කොළඹ සිංහ සමාජය සහ තවත් ආයතන කිහිපයක්ද මෙම අවස්ථාව සඳහා අනුග්‍රහය දක්වා තිබිණි.