ඊයා ඊයා කියල සෑහෙන්න ට්‍රොල් වෙච්ච නාට්ටිය ඕන්න ඉවරවුණා. සේරම කොටස් 21 යි. නාට්ටියෙ නරක ගැන වඩා නාට්ටිය හදපු අයට බනින පෝස්ට්ස් තමා වැඩිපුරම දැක්කේ. හොඳක් නම් ඇහුණෙම නැතිතරම්. මීයා පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම අන්තිම එපිසෝඩ් එක වෙනකම්ම නොවරදවාම බලපු කෙනෙක් විදිහට මීයා ගැන මගේ අදහස ඉදිරිපත් කරන්නයි යන්නේ.
සිංහල ටෙලියකින් මීට කලින් නොදැකපු ටොපික් එකක් එක්කයි මීයා ප්‍රවේශය ලබාගත්තේ. රැල්ලට නැතුව රටේ දියුණුව ගැන අවංකවම වද වෙන තරුණයෙක් විසින් සිස්ටම් චේන්ජ් එකක් කරන්න ගිහින් රටෙන්ම ට්‍රොල් වෙන සීන් එකකින් තමයි මීයා පටන් ගන්නේ. මේක හදපු අයටත් අත්වුණේ ඒ ඉරණමම තමා එක අතකින් බැලුවම. බ්‍රිලියන්ට් අයිඩියා එකක් සමාජගත කරන්න ගිහින් "මෝඩ තරිඳු" කියල ලේබල් එකක් අලවගෙන ජාත්‍යන්තරයට යන්නයි මිනිහට සිද්ධ වුණේ. තමන්ට ගහපු ගල් එකතු කරල ගෙයක් හදාගන්නව වගේ අන්තිමේදී මිනිහා ඒ ලේබල් එකම පාවිච්චි කරලයි තමන් වෙනුවෙන් නොමිලයේ විවෘත වූ සයිබර් අවකාශයේ ගේමක් ගහන්නේ. මීයා ගෙ දැකපු ආසම කොටස තමයි ඒක.
රස්සාවෙනුත් දොට්ට දැම්මට පස්සේ තමන්ට හිමි වූ ගොඩක් දේවල් අහිමි කරගෙන, "මෝඩ තරිඳු" විදිහට අපහාසාත්මක ලේබලයක් විතරක් ඉතිරිවෙච්ච තරුණයා ඊටපස්සෙ තමන්ගෙ ජීවිතේ අලුතින්ම හදාගන්න, අලුතින්ම හිතන්න ගන්නවා. අලුත් කන්සෙප්ට් එකක් එක්ක අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ එක්කම තමන් වගේම වැටිච්ච මිනිස්සුන්ට තමන් නැගිටින්න භාවිතා කරන පාත් එක දිගේ බය නැතුව යන්න මෝටිවේට් කරනවා. මේ කොටසත් මීයා ගෙ මම ආසම තැනක්. මෝඩ තරිඳු යූටියුබ් චැනල් එක සහ "කූණිඩෝ" වඩේ වෙළඳාම.
මේ කොටස් වලට පස්සෙ වෙන්න ඕන අර බැණුම් අහන කොටස එන්නේ. ගෝ හෝම් අරගලයත් මීයා නාට්ටියෙ ප්‍රධානතම කොටසක් බවට පත්වෙනකොට, එක පැත්තනික් රතු සහෝදරවරුත් මේ ගේම් එකේ වෙනස්ම පැත්තක් ප්ලේ කරනවා පෙන්නනකොට අර මුලින්ම දැකපු මීයා ගේ ෆ්‍රෙශ් බව දියාරු වුණා කියල හිතුණ. මොකද කතාව රසවිඳින කෙනෙක් විදිහට මට මේ අරගලය මීයා ඇතුළෙදි විශේෂ විදිහට පෙනුණෙ නෑ. අනවශ්යාකාරී විස්තර ගොඩක් එකදිගටම ඔහේ අතුරලා දාලා වගේ දැනුණා. අයාලේ ගිය කතන්දරය ආපහු නිවැරැදි මී රිද්මයට නතුවෙන්නේ ඉන්ධන සඳහා වන QR කෝඩ් එකෙන්. එහි අතුරුඵලයක් විදිහට නිර්මාණය වන මීPay සිස්ටම් එකෙන් සහ අවසානය සනිටුහන් කරවන කූණිඩෝ රෙස්ටුරන්ට් ජාලය කන්සෙප්ට් එකෙන්.
ඒ තමයි මීයා හෙවත් මෝඩ තරිඳු ගේ කතා වස්තුව. මී කුණක් විකුණලා මහා ධනවතෙක් වෙච්ච ජාතක කතාවේ මොඩර්න් වර්ශන් එක. අස්සට ඔබපු පොලිටිකල් නාඩගම් නිසායි කතන්දරය ට්‍රැක් පැන්නේ. මීයාව හරි ට්‍රැක් එකේ යන්න නම් ඒ දේශපාලන හුටපටත් තියෙන්න ඕන කියලත් මීයා හදපු අය තර්ක කරන්න පුළුවන්. හදන්නා කෙසේ හැදුවත් බලන්නා නෙ ඒකෙ රස, ගුණ-අගුණ තීරණය කරන්නේ. ඒ නිසා කෙනෙක්ට මේක සෙට් නෑ නම්, ඊට හේතු මේවායි කියල එයාල තමන්ගෙ මතය ඉදිරිපත් කරනවනම් හදපු අයට ඒක පිළිගන්නම වෙනවා. හරියට මට මීයා සෙට් වෙච්ච තැන් ගැන මෙහෙම කියනව වගේ.
ඊළඟට මීයා ගේ වඩාත් සිත්ගත් අංගය විදිහට මියුසික් නම් කරන්න පුළුවන්. මෑත ඉතිහාසෙක සිංහල ටෙලියකින් මම අහපු හොඳම සවුන්ඩ්ට්‍රැක්ස් තිබ්බෙ මේකේ. විශේෂයෙන්ම සිරස වොයිස් ටීන්ස් වලින් රටම හඳුනගත්ත ආදරේ කරපු ප්‍රනීර්ෂා ත්‍යාගරාජා ව feature කරගෙන මධුන් දිසානායක ගෙ හඬින් ඇහෙන පට්ටම රොමැන්ටික් "ඉතින් මං ආදරෙයි" ට්‍රැක් එක මගේ ඕල්ටයිම් ෆේවරීට් සිංදුවක් බවට පත්වෙනවා. ඒ වගෙමයි හැම ආරකටම අයත් අපූරු සංගීත ඛණ්ඩ කීපයක්ම කතාව පුරාවටම ඇහුණා. ඒ නිසා මියුසික් වලට දෙනවා ලොකුම ක්‍රෙඩිට් එක.
අවසාන වශයෙන් කාස්ට් එක ගැන කතාකරොත් මේන්ස්ට්‍රීම් හෝ වෙනස් වර්ගයේ ටෙලිවලින් නිතර දෙවේලේ දකින් මූණු වෙනුවට ආදේශ කරල තිබ්බ අය හැමෝම වැඩේට හොඳටම සෙට්. ධනුකට කොහොමත් කැමති නිසා ප්‍රධාන චරිතයට එයාව තෝරගත්ත එකත් ලොකු හේතුවක් මේක මුල ඉඳන්ම බලන්න. කපිල සහ නායක සහෝදරයට හරියටම හරියන දෙන්නෙක් දකින්න ලැබුණා. බ්ලැක් කොමඩි වලින් හමුවන ආතල් චරිත මතකෙට ගේන ජාතියේ ඩබලක් සේල්ස් රෙප්ලා විදිහට හඳුන්වලා පස්සේ වෙනම ලෙවල් එකකට අරං ගිහින් තිබුණා. මෝඩ තරිඳුට අවශ්‍යම වෙලාවේ අවශ්‍යම කරන මෝටිවේෂන් එක ලබාදෙන අභිසාරිකාව විදිහට රශි පබා ගෙන් හොඳම සපෝටින් ඇක්ට් එකක් දකින්නට ලැබෙනවා. තරිඳුගේ ප්‍රධාන ලව් ඉන්ට්‍රස්ට් එකටත් වඩා පබෝධා එක්ක කෙමිස්ට්‍රිය නියමෙට වැඩ කරනවා. පිස්සු පූසාගෙන් දෙන්න ගිය ආතල් එක නම් මදි. මොකද පිස්සු පූසගෙ ලයිව් එකට වැටෙන කමෙන්ට්ස් වලින් ලැබෙන ආතල් එක පිස්සු පූසගෙ ඩෝප් වදන් නිරායාසයෙන්ම අභිබවා යන නිසා. ඇස් දෙක පූසගෙන් ඒ කමෙන්ට් සෙක්ෂන් එකේම නතරවෙන නිසා. ගරු රඟපෑම් වලට සන්නව, ගප්පියව සහ සෙසු චරිත භාවිතා කරල තිබ්බ විදිහත් ආකර්ශනීයයි. ඕවා තමා මීයාගෙන් දැකපු හොඳ.
මීයා ගැන හිතුවට වඩා විස්තරයක් ලියවුණා. ඊයා මෙච්චර හෑල්ලක් මොකටද කියලත් බැණුමක් අහගන්න පුළුවන් හෑල්ල නොකියවා මතුපිටින් හෑල්ලේ දිග පළල මැනලත්. තව ලියන්න දේවල් එමට තිබ්බත් මේ ලියවුණ ටික දිග වැඩි වේගෙන එන නිසාම මෙතනින් නවතිනවා. මීයා 2 කොටසක් එනව කියලනෙ 1 කොටස ඉවරවෙන්නේ. අනිවාර්යයෙන්ම ඒකෙන් නිවැරැදි වෙනසක් සිද්ධ කරාවි කියල බලාපොරොත්තු වෙනවා.
-ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People ෆේස්බුක් සමූහයට කළ ලිපියකි.