අනුරසිරි හෙට්ටිගේ නවකතාකරුවෙක් සේම කෙටිකතාකරුවෙක් ලෙසද පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වී ඇත.
ඔහුගේ නවකතා විවිධ තේමාත්මක කලාපයන් වෙත ගමන් කරමින් මිනිස් ජීවිතය සහ ලෝකය සෞන්දර්යාත්මකව ස්පර්ශ කරන බව ඔහුගේ නවකතා වන ගනදුරෙහි දිලෙන එළි , කියග මගිය එනු කොහි සිට, කළුවරයි පුරහඳ, ස්මරණ, බැඳමාරිය, පණ්ඩක පුත්‍ර වස්තුව සහ නිශා දෙස බලන විට පෙනී යයි.
මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: සුපුරුදු පරිදි මේ කතාබහ ආරම්භ කරන්න මම ඔබගෙනුත් අහන්නේ ඔබේ නවකතා වල පළමු වාක්‍ය ලියවුණු හැටි ගැන. ඔබේ නවකතා වල අත්දැකීම් ඇසුරෙන් ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?
අනුරසිරි: මගෙ මුල්ම නවකතාව ගත්තොත් ඒක මට ගොඩක් දුරස් පරිකල්පනීය ලෝකයක තමයි ගොඩනැඟිල තිබුණේ.ඒ නිසා මට ලියන්න පටන් ගන්න කලින් මේක සෑහෙන තරම් මේක මගෙ හිතේ නිර්මාණය කර ගන්න සිද්ධ වුණා. ඒකෙදි පළවෙනි වාක්‍යය ලියන එක සෑහෙන බරපතල දෙයක් හැටියට තමයි මට දැනුණේ. කොටින්ම මට නවකතාවක් ලියන්න පුළුවන්ද කියන එක ගැන පවා මට සැකයක් තිබුණා ඒ වෙලාවේ. මොකද මේක මගෙ පළවෙනි නවකතාව. නමුත් යම් වෙලාවකදි දැන් මම මේක ලියන්න ඕන කියල වාඩි වුනාට පස්සෙ මම පළවෙනි වාක්‍යය විතරක් නෙමේ මුල් පරිච්ඡේදය විතර එක දිගට ලියාගෙන ගියා. ඇත්තටම මේ පළවෙනි වාක්‍යය කියන එක නවකතාවක අපි එතෙක් පරිකල්පනය කරපු සමස්තය වෙනත් තැනකට ගෙනියන්න දායක වෙනවා. කොහොම හරි, මම මාස හයක දි විතර ඒ නවකතාව ලියල අවසන් කලා. ඒක මම ලිව්වේ ඩී. ආර් විජේවර්ධන අනුස්මරණ ත්‍යාගය ඉලක්ක කරගෙන. අන්තිමේදි ඒක අවසන් කෘති දහය ඇතුළේ හය වෙනි තැනට ඇවිත් තිබුණා. ඒක ආධුනිකයෙක් විදිහට මම ලබපු ජයග්‍රහණයක්. කොහොම වුණත් මාව නවකතාකරුවෙක් හැටියට සමාජය දැන ගත්තේ 'කරුවලයි පුරහඳ' නවකතාවෙන්. මම ඒක ලිව්වේ මම හැදුණු වැඩුණු පිටකොටුවෙ පරිසරය කේන්ද්‍ර කරගෙන. කවුරුත් දන්නවා ඒක හරිම කටුක පරිසරයක්. ඒකෙදි මම මුහුණ දුන්න අභියෝගය තමයි මට මේ අත්දැකීම් වල තියන සමීපකම. ඔබත් නවකතාකරුවෙක් හැටියට දන්නවා ඇති තමන්ට සමීප අත්දැකීම් ලියන්න යන කොට ලේඛකයෙක් මුහුණ දෙන අසීරුව. ඉතින් මේකෙන් ගැලවෙන්න මම රාත්‍රියේ පිටකොටුවෙ වීදි වල ඇවිදින්න ගත්ත. මට ඕනෙ වුණේ මේ නවකතාව රාත්‍රියකින් පටන් ගන්න. දවසක් මගෙ මේ රාත්‍රී වීදි සංචාරය මාව පිටකොටුවෙ ස්ටේෂන් එක ලඟට ගෙනත් තිබුණ. ඒ වෙලාවෙ මට ඇහුණා කෝච්චියක හෝන් සද්දයක්. මගෙ හිතේ ඇඳුනා අඳුරේ ඇදෙන දුම්රියක්. මට තේරුණා මෙතනින් තමයි මගෙ නවකතාව පටන් ගන්න ඕන කියල. ඇත්තටම 'කරුවලයි පුරහඳ' නවකතාවේ සාර්ථකත්වය තියෙන්නෙ ඒ පළවෙනි පරිච්ඡේදය ආරම්භ කරපු විදිහෙ කියල මට හිතෙනවා. මොකද ඒ පරිච්ඡේදයේ තියෙන්නේ කොළඹ වීදි දිගේ යන ගමනක්.
කෞශල්‍ය: දැන් මේ පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ ලියන්න යන නවකතාව ගැන කොයි තරම් දුරට දැනුවත් ද ?
අනුරසිරි: ඇත්තටම මම ලියන්න යන නිර්මාණයෙන් සියයට හැටක් විතර මගෙ පරිකල්පනය තුළ ගොඩනඟාගෙන තමයි මම ලියන්න පටන් ගන්නේ. නමුත් ලිවීම තුළ මම අපේක්ෂා නොකළ චරිත ඇවිත් ඒත් එක්කම අතුරු සිදුවීම් ඇවිත් මේක වෙනස් වෙනවා. ඒක ලිවීමේදී සාමාන්‍ය දෙයක්. නමුත් පළවෙනි වාක්‍යය ලියන මොහොතෙදි මම නවකතාවෙන් සියයට හැටක් විතර මගෙ පරිකල්පන ලෝකය තුළ නිර්මාණය කරගෙනයි ඉන්නෙ. ඒ නිසා ඒක ලිවීමට ලොකු පහසුවක් වෙනවා.
කෞශල්‍ය: දැන් ලිවීම ආරම්භ කිරීමට කලින් ඔබ පරිකල්පනය තුළ ගොඩනඟන මේ සියයට හැට ඔබේ හිතේ විතර ද තියෙන්නේ නැත්නම් ඔබ මේවා කොහේ හෝ සටහන් කර ගන්නවාද?
අනුරසිරි: දැන් කරුවලයි පුරහඳ ලියන්න කලින් ලියපු නවකතා තුනේම වගේ මම නෝට්ස් ගහල තිබුණ මේ මේ පරිච්ඡේද වල එන්නේ මේ දේවල් කියල. මේ විදිහට පරිච්ඡේද පහකට හයකට විතර ගහපු නෝට්ස් මං ළඟ තිබුණා. හැබැයි මේ නෝට් එක නෙමෙයි මම ලියන්න පටන් ගත්තට පස්සෙ ලියවෙන්නේ. 'කරුවලයි පුරහඳ' නවකතාවට මම එහෙම නෝට්ස් ගැහුවේ නැති වුණාට මගෙ පරිකල්පනය තුළ ඒ ඒ පරිච්ඡේද වල එන්නේ මොනවද කියන එක තිබුණා. හැමදේම නෙමෙයි ප්‍රධාන සිදුවීම් ටික තිබුණා. දැන් උදාහරණයක් හැටියට පළවෙනි පරිච්ඡේදයෙදි මේ නවකතාවේ ප්‍රධාන චරිතය ජනදාස කොටුව ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් එයා ඇවිදගෙන යන ගමනෙදි එයාට මුණගැහෙන විවිධ චරිත ගැන අදහසක් මට තිබුණා. තෙල් බෙහෙත් වෙළෙන්දෝ, කොන්ඩම්ස් විකුණන අය, පිරිමි ගණිකාවෝ, සිංදු කියන කපල්ස් මේ එක් එක් අය හමුවෙන නිශ්චිත තැන් මම අත්දැකීමෙන් දැනගෙන හිටිය.
කෞශල්‍ය: දැන් 'කරුවලයි පුරහඳ' නවකතාවට සටහන් ගත්තේ නැති වුනාට ඔබ කලින් නවකතා වලදි ඒක කලා. ඉන් පස්සේ ලියන නවකතා වලදි ඔබ අනුගමනය කළේ මේ දෙකෙන් මොකද්ද ?
අනුරසිරි: 'කරුවලයි පුරහඳ' සාර්ථකත්වයත් එක්ක මට තේරුණා මාව කොටු කරනවා කියල මම කොළඹ ගැන ලියන ලේඛකයෙක් කියල. ඒ නිසා මම අභියෝගයක් බාර ගත්ත. මගෙ අත්දැකීම් කලාපයේ කොහෙවත් නැති මොණරාගල පැත්තේ මායිම් ගම්මානයක් ගැන මම නවකතාවක් ලියනවා 'බැඳමාරිය' කියල. නවකතාකරුවා ප්‍රබන්ධ කරුවෙක්නේ. ප්‍රබන්ධ කරුවාට කොයි පිට්ටනියෙත් සෙල්ලං කරන්න පුලුවන් වෙන්න ඕන. ඉතින් මෙතෙන්දි මට මේ අත්දැකීම් ගන්න මේ ප්‍රදේශයේ සංචාර කිහිපයක් යන්න වුණා. ඒ දවස් වල මම ඔය තිඹිරියාගම බංඩාරල එක්ක යනවා ඒ පැති වල ඉස්කෝල වල සාහිත්‍ය වැඩ වලට එහෙමත්. මට නැති මේ අත්දැකීම් මට බාහිරින් ගන්න සිද්ධ වුණා. එතෙන්දි මම ආයෙමත් අර පරිච්ඡේද වලට ගහන සටහන් වලට යන්න සිද්ධ වුණා. ඇත්තටම ඒකෙදි හැම පරිච්ඡේදයකම අතුරු සිදුවීම් පවා මම සටහන් කලා ලිවීමට කලින්. මොකද මේ නවකතාවේ භාෂාව පරිසරය මේ සියල්ල ලේඛකයාට ආගන්තුකයිනේ. භාෂාව මට වෙනම අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. නවකතාකරුවෙක් තමන්ට සමීප අත්දැකීම් ලියන විට මුහුණ දෙන අභියෝගයට වඩා හාත්පසින් වෙනස් අභියෝගයකට ඔහු ආගන්තුක අත්දැකීම් ලියනකොට මුහුණ දෙනවා. මේ නිසා මේ පූර්ව සැලසුම මට සෑහෙන උදව් වුනා මෙතෙන්දි.
කෞශල්‍ය: දැන් මේ හැමදේම සටහන් කරල තිබුණ මේ සැලසුම ඒ විදිහටම නවකතාව ලියන කොට සිද්ධ වුනාද?
අනුරසිරි: නැහැ. මං අර කලින් කිව්ව වගේම ලියාගෙන යනකොට එන අළුත් චරිත, අළුත් සිදුවීම් එක්ක මේ සැලසුම වෙනස් වෙනවා. මං හිතන්නේ අපි ඒ වෙනකොට පරිකල්පනය කරල නොතිබුණු දේශපාලනයන්, සංස්කෘතික කාරණා පවා මේ අතුරු චරිත සහ සිදුවීම් එක්ක නවකතාව ඇතුළට එනවා කියල.
කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ නවකතාවක් අවසාන කරන හැටි ගැන?
අනුරසිරි: පරිකල්පනය තුළ කතාව ගොඩනගද්දි ඒකට අවසානයක් තියනවා. නමුත් ලියාගෙන යද්දි ඒක වෙනස් වෙනවා. දැන් 'කරුවලයි පුරහඳ' ගත්තොත් මම ඒක අවසාන කරන්න හිටියෙ පියවතී, ඒ කියන්නෙ ඒකෙ ප්‍රධාන චරිතය, ජනදාස ප්‍රේම කරන ගැහැණිය, ඇය ලිංගික ශ්‍රමිකාවක්, ඇයට මේකෙ ප්‍රතිඵලයක් හැටියට කුෂ්ඨ රෝගයක් එනවා. එයින් ඇය මිය යනවා. එතකොට ඇගේ මරණය සහ ජනදාසගේ හුදෙකළාව, යම් විදිහකට රොමෑන්ටික් ශෝකාන්තයක්. පොත අවසන් වෙන්න තිබුණෙ ඇගේ අවමංගල්‍ය වෙලාවේ සුසාන භූමියෙන්. පොතේ ඒක තියනවා. නමුත් එතනින් නොනැවතී ජනදාස කනත්තේ සිට බොරැල්ල හන්දිය දක්වා යනවා. ඒ දවස් වල දෙමටගොඩ පාලම හදනවා. නිතරම තැඹිලි පාට ලයිට් එක තමයි පත්තු වෙලා තියෙන්නේ කොලයි රතුයි එන්නේ නැහැ. උඹලට ඕන්නම් පලයන් කියන අදහස තමයි ඒකෙ තියෙන්නේ. කොළ ආවෙත් යන්නම වෙනවා, රතු ආවොත් ඉන්නම වෙනවා. මම මුලින් නවකතාව අවසන් කරන්නේ එතනින්. ඊට පස්සෙ පොත ටයිප් කරල මගෙ අතට ආවට පස්සෙ මම මේක තවත් ඉදිරියට ගෙනියනවා. පොත අවසන් වෙන්නේ ජීවිතයේ නිස්සාරත්වය ගැන ජනදාසට එන සිතිවිල්ලකින්. එතනදි ධම්මපදයේ ගාථාවකින් තමයි ඒක ඉවර වෙන්නේ . නමුත් දැන් මම ඒ අවසානයට ඒ තරම් කැමති නැහැ. අද මම ඒක අවසන් කළා නම් කරන්නේ අර කහපාට සංඥා ආලෝකය ගාවින්. කොහොම වුණත් පියවතීගේ මරණය කියන මම පරිකල්පනය කරපු තේමාත්මක අවසානය මෙතෙන්දි වෙනස් වුනේ නැහැ. නමුත් 'බැඳමාරිය' වගේ නවකතාවකදි මේ තේමාත්මක අවසානය පවා ලිවීම තුළ යම් විදිහකට වෙනස් වෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මම හිතන්නේ අපි පරිකල්පනය කරන තේමාත්මක අවසානය වෙනස් වෙන්නේ කලාතුරකින් නමුත් ආඛ්‍යානය තුළ නවකතාව අවසාන වෙන තැන වෙනස් වෙනවා.
කෞශල්‍ය: අපි ටිකක් කතාකරමුද ඔබ ලියන විදිහ ගැන?
අනුරසිරි: මම නවකතා ලිවීම පටන් ගන්න කාලේ මම පදිංචි වෙලා හිටියේ කොළඹ 12 මහල් නිවාසයක. දැනට ඒව කම්කරු නිවාස. ඒකෙ කාමර නැහැ ගෙදර කොටස් දෙකකට වෙන් වෙලා තියනවා. එකක් සාලයයි කුස්සියයි. අනිත් එක කාමරයයි බාත් රූම් එකයි. දැන් මේ ගෙදර මමයි මගෙ බිරිඳ අසෝකයි, පුතයි, මගෙ අම්මයි තාත්තයි ජීවත් වුණා. ඉතින් මේකේ මට ලියන්න වෙනම තැනක් තිබුණේ නැහැ. ඉතින් මම ලියන්නේ රෑට. මම සාලෙ පුටුවක ඇන්දක එක්සයිස් පොතක් තියාගෙන තමයි ලියන්නේ. දවල්ට ලියනවා කියන එක අභියෝගයක්. හරි ඝෝෂාවක් තියනවා. ගෙවල් ළඟ ළඟ තියෙන්නේ. වලං හූරන සද්දේ පවා ඇහෙනවා. ඉතින් මම දිගටම ලිව්වෙ රාත්‍රියට අර පුටු ඇන්දේ තියාගෙන. මම 2005 දි කොටිකාවත්තෙ ගෙදරකට එනවා. එතෙන්දි මට ලියන්න කාමරයක් ලැබෙනවා. නමුත් මට එතෙන්දි මේසෙක ලියන්න අපහසුවක් දැනෙන්න ගන්නවා. මම ආපහු අර ෆැලැට් එකේ තිබුණ පුටුවෙම ලියන්න ගන්නවා. මම දැනුත් වාඩි වෙලා ඉන්නේ ඒ පුටුවක. කොහොමහරි ටික කාලෙකට පස්සෙ මම පරිගණකයෙන් ලියන්න පුරුදු වෙනවා. ඒ නිසා ඒකට මට ගෙදර විශේෂ ස්ථානයක් හදාගන්න සිද්ධ වුණා. 'කොළඹ ළමයි' කෘතිය තමයි මම පරිගණකයෙන් ලියපු මුල්ම කෘතිය. දැනටත් මම රාත්‍රි කාලේ තමයි වැඩිපුර ලියන්නේ . බාධා අඩුයිනේ. මම ලියන්න කලින් ලියන්න යන කොටස හිතේ ලියාගෙන ඉන්නේ. බස් එකේ යන එන ගමන්, කන බොන ගමන්, වැසිකිළියේ ඉන්න ගමන්, ඩ්‍රින්ක් එකක් දාන ගමන් මම ටිකෙන් ටික මේක මගෙ හිතේ ලියනවා. ඒ නිසා ලියන්න වාඩි වුනාට පස්සෙ මම අමුතුවෙන් හිතන්නේ නැහැ. නමුත් ලිවීම තුළ මම හිතපු දේවල් වෙනස් වෙනවා. එතකොට මම නැවත මුලට ගිහින් ඒ අදාළ වෙනස්කම් කරමින් තමයි ඉදිරියට යන්නෙ. මේ නිසා හැම වෙලේම පොත එඩිට් වෙනවා. මං හිතන්නෙ මගෙ පොතක් සිය පාරක් විතර එඩිට් වෙනවා. ඒවගේම මම නවකතාවක් ලියමින් ඉන්න වෙලාවක සතියකට වඩා මට ඒක ලියන්න බැරි වුණොත් මම මොනතරම් ලියල තිබුණත් ලියන්න පටන් ගන්න කලින් ලියල තියෙන ඔක්කොම කියවනවා.
කෞශල්‍ය: ඔබ දැන් කිව්වා ලියන අතර තුර ඔබේ නවකතා සැළකිය යුතු වාර ගණනක් සංස්කරණය වෙනවා කියල. තව ටිකක් කියන්න පුළුවන් ද මේ සංස්කරණ ක්‍රියාවලිය ගැන?
අනුරසිරි: ඇත්තටම පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ තමයි මම සංස්කරණයේ වැදගත්කම තේරුම් ගත්තේ. මගෙ මුල්ම නවකතාව මම කිව්වනෙ මම ඒක ලිව්වෙ ඩී. ආර් විජේවර්ධන සම්මානය ඉලක්ක කරගෙන කියල. මම ඒක තරඟෙට යවද්දි නැවත කියෙව්වෙත් නැහැ. ඊට පස්සෙ මුද්‍රණය කරද්දිත් සංස්කරණය කළේ නැහැ. පස්සේ මම ඒක කියවද්දි මට තේරුණා සංස්කරණය නොකිරීම නිසා මොනතරම් ඒ ප්ලොට් එක අපතේ ගිහින් තියනවද කියන එක. මං හිතන්නේ සංස්කරණය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
කෞශල්‍ය: නවකතාවක් අවසන් කළාට පස්සේ කොහොමද දැනෙන්නේ?
අනුරසිරි: අප්පා... සතියක් විතර යනකන් කිසිදෙයක් කරන්න බැහැ. ඔය සින්දුවක් කියාගෙන ඩ්‍රින්ක් එකක් දාල ඉන්න පුළුවන්. හරිම අමුතු හිස්කමක් දැනෙනවා. අර බෝම්බයක් පිපිරුණ ගමන් තත්පර ගානකට විශාල නිහඬතාවයක් ඇති වෙනව කියන්නේ. අන්න ඒ වගේ. මොකද්ද වුනේ කියල හිතා ගන්න බැහැ වගේ දෙයක්.
කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? මම අහන්නේ නවකතාකරුවෙක් ලෙස ඔබට ඔබේ පැවැත්ම දැනෙන හැටි ගැන.
අනුරසිරි: ඇත්තටම ඒක වචනයෙන් කියන්න අමාරු දෙයක්. අපි මේ චරිත ඇතුලෙ ජීවත් වෙනවනේ. එතකොට මේ චරිත වල හැඟීම් අපිත් විඳිනවා. ඒ දුක් වේදනා, ආදරය, සටකපටකම් මේ හැම දෙයක්ම. දැන් පියවතී කියන චරිතය ගත්තොත් ඇය ගණිකාවක්. නමුත් ඇය ගෙදර ආවම අම්මා කෙනෙක්. ඇයගේ චරිතය නිර්මාණය කරද්දි මට ආවේ මගෙ අම්මගෙ සමහර ලක්ෂණ. පියවතී කියන්නෙ මගෙ අම්මා නෙමේ. නමුත් සමහර රූප ලක්ෂණ සහ චරිත ලක්ෂණ මගෙ අම්මගේ. අපේ අම්මගෙත් කම්මුලේ පොඩි ගෙඩියක් තිබුණා, ඒකෙ තිබුණ පොඩි කෙස් ගහක්. දැන් මේක පියවතීගෙත් තිබුණ. ඉතින් මේ විදිහට නවකතා ලිවීමේ දී අපි අත්විඳින හැඟීම් හරිම සංකීර්ණයි. විවිධයි. ඒක සිද්ධ වෙන්නෙ චරිත ඇතුළේ ජීවත් වෙන එකත් එක්ක.
අනුරසිරි හෙට්ටිගේ නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත.
එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද ඇතැම් විට මේ කතාබහ දායක වනු ඇති.
ලබන සතියේ අප හා එක් වන කැත්ලීන් ජයවර්ධන යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ සුවිශාල ජනාදරයකට පත් වූ නවකතාකාරියකි.
කෞශල්‍ය කුමාරසිංහ විසින් බීබීසී සංදේශය වෙනුවෙන් කරන ලැබූ සංවාදයකි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.