රජිනිකාන්ත්ගේ අලුත්ම චිත්රපටය වන 'ලාල් සලාම්'හි ඒ.ආර්. රහමාන් විසින් නිමවන ලද අලුත්ම ගීතය සමඟින් ඔහු සිය සංගීත දිවියේ දුර්ලභ මෙන්ම ඓතිහාසික ජයග්රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
ඒ ඔහුගේ නවතම ගීතය වන 'තිමිරි යෙශූදා'හි අභාවප්රාප්ත ගායක බම්බා බාක්යා සහ ශාහුල් හමීඩ්ගේ කටහඬ AI තාක්ෂණය ඔස්සේ යොදාගනිමිනි.
ගායකයින්ගේ පවුල්වල අවසරය ලබාගෙන තාක්ෂණය ඔස්සේ හඬ භාවිත කළ බවත් නිවැරදිව භාවිතා කරන්නේ නම් තාක්ෂණය තර්ජනයක් සහ කරදරයක් නොවන බවත් මෙම ජයග්රාහී අත්හදාබැලීමෙන් පසුව රහ්මාන් පවසා තිබිණි.
අභාවප්රාප්ත ගායකයකුගේ AI හඬ ප්රතිනිර්මාණය කරමින් ගීතයකට යොදාගත් පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර සංගීත අධ්යක්ෂක විවේක් සාගර් සහ තරුන් බාස්කර් විසින් 'කීඩා කෝලා' චිත්රපටියේ ජනප්රිය ගායක එස්.පී. බාලසුබ්රමනියම්ගේ හඬ ප්රතිනිර්මාණය කර තිබිණි.
බම්බා බාක්යා යනු සංගීත අධ්යක්ෂක ඒ.ආර්. රහමන් සමඟ බොහෝ චිත්රපටවල වැඩ කළ ගායකයෙකි. මනිරත්නම්ගේ 'පොන්නියින් සෙල්වන් හි 'පොන්නි නාධි', විජේගේ බිගිල් හි 'කාලමේ', විජේගේම චිත්රපටයක් වන සර්කාර්හි 'රැප්තා මාර', රජිනිකාන්ත්ගේ 2.0 හි 'පුල්ලිනංගල්' යනාදී ගීත ගායනා කළේය. බම්බා බාක්යා අවාසනාවන්ත ලෙස වයස අවුරුදු 49කදී හෘදයාබාධයකින් මිය ගිය ගායකයෙකි.
ෂාහුල් හමීඩ්ද රහ්මාන්ගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ වැඩ කළ ගායකයෙකි. ජනප්රිය කාදලන් චිත්රපටයේ 'ඌර්වසී ඌර්වසී' වැනි ප්රසිද්ධ දෙමළ ගීත කිහිපයකටත් ජනප්රිය ජීන්ස් චිත්රපටයේ ''වරයා තෝශි' වැනි ගීත ගණනාවකටත් හඬ ලබා දුන් ගායකයකු වේ. 44 හැවිරිදි වියේදී ෂාහුල් රිය අනතුරකින් මිය ගියේය.
රජිනිගේ 'ලාල් සලාම්' චිත්රපටය ඔහුගේ දියනිය අයිශ්වර්යා රජිනිකාන්ත් අධ්යක්ෂකවරයෙකු ලෙස කොලිවුඩයට කලකට පසුව පිවිසුණ චිත්රපටයයි. එහි විෂ්ණු විශාල්, වික්රාන්ත් සහ සුපිරි නළු රජිනිකාන්ත් රඟපාන අතර ශ්රී ලංකාවේද සිනමා නිෂ්පාදන සඳහා දයක වී සිටින 'ලයිකා' නිෂ්පාදන සමාගම එහි නිෂ්පාදන වගකීම දරා තිබේ. සංගීත ඒ.ආර්. රහමාන් විසිනි.
ශිවන්ති ප්රනාන්දු