යාපනය මුට්රවේලි ක්‍රීඩාංගණයේ පෙබරවාරි 09 වැනිදා පැවැත්වුණු දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥ හරිහරන්ගේ දැවැන්ත සංගීත ප්රසංගයේදී රසික රසිකාවින් බොහෝ සංඛ්‍යාවක් තදබදයට හසු වී දැඩි අපහසුතාවට ලක් වූ අතර සැලකිය යුතු සංඛ්‍යාවක් සිහිසුන් වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන වාර්තා කර තිබිණි.
'Hariharan Live in Concert And Star Night' පැවැත්වුණේ දකුණු ඉන්දීය ජනප්‍රිය නළු නිළියන් සහ සංගීත භූමිකාවල සහභාගිත්වයෙන් වන අතර එහිදී තමන්නා භාටියාගේ පැමිණීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉහළ නැංවීමද මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා තිබූ බව පෙනෙන්නට තිබිණි.
කෙසේ නමුදු, පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය තහවුරු නොකළ හේතුවක් උඩ කල් දමා තිබිණි.
කිහිප දෙනෙකු තදබදයට හසුවීම හේතුවෙන් සිහිසුන් වීම උඩ රෝහල්ගත කිරීමටද කටයුතු කර තිබූ අතර ප්‍රවේශපත් මිලදීගෙන සහභාගි වූ රසිකයින් මෙන්ම ප්‍රවේශපත් මිලදී නොගෙන සහභාගි වූ රසිකයින්ද සංඛ්‍යාවෙන් විශාල වූ බවත් ප්‍රවේශපත් මිලදීගත් පාර්ශ්වයන්ට පවා පෙනෙන පරිදි ඩිජිටල් පුළුල් තිර සවි කිරීමට සංවිධායකයින් අසමත්ව තිබූ බවත් ප්‍රසංගය මුළ සිටම ආවරණය කළ මාධ්‍යවේදීහු 'මිරර් ආට්ස්' වෙත ප්‍රකාශ කළහ. කෙසේනමුත්, ප්‍රවේශපත් මිලදී නොගත් රසිකයින්ට නැරඹීමට පවා ප්‍රදේශයක් වෙන් කර තිබූ අතර ප්‍රසංගය අවස්ථාවේදී ප්‍රසංග භූමියේ තිබූ අට්ටාලයක් මතින් එක් අයකු ඇද වැටීමටද ලක් වී තිබේ. කෙසේනමුත්, ප්‍රසංගය අවස්ථාවේ ප්‍රසංගය නැරඹූවන්ගේ රසිකත්වය පෙන්වන ඡායාරූප කලාකාමීත්වය ගැන පහන් හැඟීමක් ඇති කරවන්නකි.
ඉඩ පහසුකම් සැපයීම මෙන්ම දැවැන්ත එළිමහන් ප්‍රසංගයක තිබිය යුතු පහසුකම් බොහොමයකින් තොරව ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍යවේදීහු අනාවරණ කළහ. නමුත්, ප්‍රසංගය අතිශයින් සාර්ථක එකක් වූ බවට තහවුරු වන මට්ටමේ ජනසහභාගිත්වයක් සිදු වී තිබේ. හරිහරන් ඇතුළු කලාකරුවන්ද රසිකයින් ගැන ප්‍රශංසනීය ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
මෙම ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයකු වන්නේ දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියව සිටි නිළියක් වූ රම්බාගේ සැමියා වන කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඉන්ද්‍රකුමාර් පද්මනාදන් වේ. ප්‍රසංගයේ අඩුපාඩු බොහොමයක් ගැන වගකීම ඔහු සතු බව ඇතැමෙකු ප්‍රකාශ කරයි.
2010දී රම්බා සමග විවාහ වූ ඉන්ද්‍රකුමාර් - රම්බා සමග ටොරොන්ටෝහි වාසය කරන අතර ඔවුන්ට දියනියක සහ පුතකු සිටී. විවාහයෙන් පසුව රම්බා රඟපෑම අත්හැරි නමුත් ඇගේ ජනප්‍රියත්වය තවමත් එලෙසම පවතී. කෙසේනමුත්, මෙම යුවල ඉන්දියාවේ තරු යුවල අතරින් සතුටින් ජීවත් වන ආදරණීය යුවලක් හැටියට හැඳින්වේ. ඉන්ද්‍රකුමාර් පද්මනාදන්ද යාපනය තුළ හොඳ හැඳින්වීමක් ඇති තැනැත්තෙකු හැටියට පිළිගැනීමක් ඇති ව්‍යාපාරිකයකු වේ.