අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
ඒසං වූප සමෝසුඛෝ
මෙම ගාථාවේ සරල සිංහල අර්ථය වන්නේ: කිසියම් හේතුවක් නිසා හටගත් සියල්ල වෙනස්වනසුලු බවත්, ඒ සියල්ල ඉපදෙනවා සේ ම මිය යන බවත්, මෙසේ උපදින මිය යන වෙනස් වන ස්වභාවයෙන් මිදීම යනු සසරේ ඉහළ ම සුවය යන්න ය; එනම් නිවන යනු පරම සුවය යන්න ය.
මෙහි ප්‍රායෝගිකත්වය කෙසේ වුව ද මෙලොව උපදින සියලු සත්වයෝ (මනු සතා ද ඇතුළුව) උප්පත්තිය ලබන විට කිසිවක් රැගෙන නොඑතියි පැවසුව ද ඒ සියල්ලෝ රැගෙන එන එක් දෙයක් පවතී. එනම් මරණය යි. ජීවන ගමනේ කුමක් වළක්වාලිය හැකි වුව ද මරණය කිසිසේත් ම වැළකිය නොහැකි ය. එසේ නම් ඒ වැළකිය නොහැකි මරණයට අපි සියලු දෙනා ම මුහුණ දිය යුතු ය. එය මිනිස් දිවියේ මතු නොව සියලු සත්ව දිවියේ අනිවාර්ය අංගයකි. එම අනිවාර්ය අංගය ද පසු කළ පසු ඉක්බිති කළ යුතු කටයුතු ද බොහෝ පවතී.
වෘත්තිමය අවශ්‍යතාව සහ සමාජ ආකල්ප
මා මෙන් ම ඔබ සියලු දෙනා ම දන්නා පරිදි බුදුන් ධරමාන යුගයේ පවා මිනිසකු මළ පසු එම මළ සිරුර රෙදිකඩක ඔතා කැළයට විසි කිරීමේ ක්‍රමයක් පැවතිණ. නමුදු ක්‍රම ක්‍රමයෙන් සදාචාර සම්පන්න බවට පත් මිනිස් ජීවියා මිනිසකුගේ මරණය ද ගරු කටයුතු අන්දමින් සිදු කරන්නට පෙලඹිණ. එසේ වුව ද ඇතැම් අවස්ථාවල දී ඒ මිනිස්සු අතර සිටි තිරිසනුන් මිනිස් ජීවිතයේ වටිනාකම නොතකා සිය ගණනේ සිට දස ලක්ෂ ගණනින් වූ මිනිස් ජීවිත ඝාතනය කරන්නට ද පෙලඹිණ. ඒ සඳහා ලොව බොහෝ රටවල රාජ්‍ය පාලයෝ ද, ඔවුන්ට එරෙහිව කැරලි ගැසූ විවිධ කණ්ඩායම් ද (ඇතැම් විට ඔවුන් ත්‍රස්තවාදින් යැයි නම් කළ අතර ඇතැම් විටෙක විමුක්තිකාමින් ලෙස ද නම් කෙරිණ) මිනිස් ඝාතනවල නියැළුණහ. නමුදු ශිෂ්ට සම්පන්න භාවය අගය කරන සෑම මිනිසෙකු ම අනෙකාගේ මරණයට ගරු කළේ ය; මිනිසකු මළ පසු එම පුද්ගලයාගේ සිරුර මිහිදන් කිරීම හෝ දැවීම කළේ ය.
ඒ ආකාරයට මිය ගිය පුද්ගලයාගේ සිරුර මිහිදන් කිරීම හෝ දැවීම දක්වා වූ අවස්ථාව යනු සරල ආකාරයෙන් සැලකිය හැකි කාර්යයක් නොවේ. මිනිස් ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සැපයෙන අනෙකුත් සේවා මෙන් ම පුද්ගලයකු මිය ගිය පසු එම මළ සිරුර මිහිදන් කිරීම හෝ දැවීම දක්වා සිදු කෙරෙන සියලු කටයුතු ද මිනිස් අවශ්‍යතාව මත ම සිදු කෙරෙන්නකි. එනම් එය ද කිසියම් වෘත්තියකි; ගරු කටයුතු වෘත්තියකි. මන් ද එම වෘත්තියේ නියැළෙන පිරිසක් නොසිටින්නට මිනිසකුගේ මළ සිරුරක් ගෞරවාන්විත ලෙස මිහිදන් කිරීම හෝ දැවීම කළ නොහැකි ය. නමුදු අප වෙසෙන සමාජය එකී වෘත්තියේ නියැළෙන පිරිස් වෙත නිසි ගෞරවය ලබා දෙනවා ද යන්න නොවිසඳී පවතින ගැටලුවකි.
සුරංග ලක්මාල් සෙනවිරත්න
යට කී සමාජ ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් නිර්මිත රූපවාහිනී නිර්මාණයක් මෑතක විකාශනය විය. එය නම් කර තිබුණේ ‘‘අනිච්චාවත සංඛාරා’’ යන මැයෙනි. එය සුරංග ලක්මාල් සෙනවිරත්නගේ අධ්‍යක්ෂණයකි; අධ්‍යක්ෂණය මතු නොව අදාළ නිර්මාණයේ සංකල්පය සහ තිර රචනය ද ඔහුගේ ම ය.
කලාවෙහි නියුතු වූවන්ගේ වගකීම
කලාකරුවකු වශයෙන් ඔහු තමන් සතු යුතුකමක් නොව වගකීමක් ඉටු කළ බව නොවලහා ම පැවසිය යුතු ය. මගේ මතකයට අනුව නම් රූපවාහිනී මාධ්‍ය තුළින් එම මාතෘකෘව සමාජ ගත කළ පළමු අවස්ථාව මෙය විය යුතු ය. සිනමාව මාධ්‍ය යෙන් නම් මෙකී වෘත්තියේ නියැළි කාන්තාවක පිළිබඳ සාකච්ඡා කෙරිණ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘‘නිකිණි වැස්ස’’ සිනමා නිර්මාණය තුළිනි. එහි දී ඔහු සමාජ ගත කළේ කාන්තාවක අදාළ වෘත්තියේ නියැළීම හේතුවෙන් ඇයට මුහුණ පාන්නට සිදුවන ඛේද ජනක තත්ත්වය යි. එය ද සාකච්ඡා කළ යුතු ම මාතෘකාවකි. මන්ද මේ වන විට කිසියම් රැකියාවක් යනු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නියැළිය හැකි වාතාවරණයක් ලොව පුරා පවතින බැවිනි.
එදා අරුණ ජයවර්ධන අදාළ වෘත්තිය හේතුවෙන් කාන්තාවකට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය සිය නිර්මාණාත්මක හැකියාව තුළින් ඉදිරිපත් කළ අතර මෙදා සුරංග ලක්මාල් සෙනවිරත්න එය තව දුරටත් පුළුල් ලෙස සමාජ ගත කර ඇත. එනම්, කිසියම් පුද්ගලයෙක් අදාළ වෘත්තියේ නියැළීම හේතුවෙන් ම ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා දෙස සමාජය වෙනස් ලෙස සලකන ආකාරය යි; අදාළ වෘත්තිය යනු පහත් වෘත්තියක් ලෙස සමාජය සලකන ආකාරය යි.
අත්‍යවශ්‍යම වෘත්තිකයන්ගේ අභ්‍යන්තර ජීවිතය
මෙම තත්ත්වය ප්‍රබන්ධයක් නොව යථාර්ථයකි. මේ ආකාරයට අදාළ වෘත්තිය පහත් වෘත්තියක් ලෙස සලකන සමාජයේ ඕනෑම පුද්ගලයකුට අදාළ වෘත්තිය අත්‍යවශ්‍ය වන බව ඔවුහු නොසිතති. එම වෘත්තිය මතු නොව මිනිස් ජීවිතය පවත්වාගෙන යෑම පිණිස අත්‍යවශ්‍ය වන බොහෝ වෘත්ති පිළිබඳ මිනිසා ම අවමානයෙන්, අපහාසයෙන්, සුළු ලෙස සලකමින් කටයුතු කිරීම කෙතරම් මුග්ධ කටයුත්තක් ද යන්න ඔවුහු නොසිතති. එවන් පුද්ගලයන් කටයුතු කරන්නේ ඔවුන් කිසිදු දිනක මරණය වැලඳ නොගන්නා පුද්ගලයන් ලෙසිනි; අමරණීය පුද්ගලයන් ලෙසිනි. ඉදින් එබදු පුද්ගලයන් සහ එබදු පුද්ගලයන්ගේ අනේක විධ පිඩාවට ලක්වන, එය හේතුවෙන් ම අසරණ භාවයට පත්වන පවුල් කුටුම්බ පිළිබඳ සමාජය දැනුවත් කිරීම ඉතාම අගනා මෙහෙයකි.
මෙම සමාජ ගැටලුව හේතුවෙන් වින්දිතයන් බවට පත්වන්නේ අදාළ වෘත්තියේ නියැළෙන පාර්ශ්වය මතු නොව ඔවුන් කෙරෙහි අවමන් සහගත ආකාරයෙන් සලකන පිරිස් ද වෙනත් ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන ආකාරය ද ප්‍රකට කරන්නට තිර රචකයා සමත් වී තිබේ. ඔවුන් ඒ ආකාරයට විවිධ ඛේද ජනක අවස්ථාවලට ලක්වන්නේ මිනිස්සු ලෙස සිතන්නට, කටයුතු කරන්නට නොපෙලඹීම හේතුවෙන් ය යන්න තිර රචකයා ඉතා මැනවින් ස්ඵුට කර ඇත. සැබැවින් ම එය යුගයේ මතු නොව සර්වකාලීන අවශ්‍යතාවකි. නමුදු සමාජය එය කෙතරම් දුරට අවබෝධ කර ගනිවි ද නැද්ද යන්න එවන් පුද්ගලයන් (අදාළ වෘත්තිය පහත් ලෙස සලකන පුද්ගලයන්) සතු කාර්යයකි.
කලාවේ නියුතු පුද්ගලයාගේ වගකීම වන්නේ එබදු සමාජ ගැටලු නිරාවරණය කිරීම ය; ඒ පිළිබඳ සිය කලා හැකියාව උපස්තම්භක කරගනිමින් නිර්මාණකරණයේ යෙදීම ය. සුරංග ලක්මාල් සෙනවිරත්න නමැති තිර රචකයා ද, රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂකවරයා ද එකී කාර්ය ඉටු කර ඇත. රුපවාහිනි නාට්‍ය ප්රේක්ෂකයකු වශයෙන් මතු නොව යහපත් සමාජයක් අපේක්ෂා කරන පුද්ගලයකු ලෙස ද ඔහුගේ මෙම ප්රයත්නය වෙනුවෙන් මම මගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.
මෙලෙස නොවුනා නම්...
අනිච්චාවත සංඛාරා රුපවාහිනී නාට්‍ය නිර්මාණයේ අධ්යක්ෂවරයා වෙත යට සඳහන් ගෞරවය පුද කරන අතර ම ප්රමුඛ කතා තේමාවට පරිබාහිර චරිත සහ සිද්ධි කිහිපයක් එක් කිරීමෙන් සමස්ත නිර්මාණයේ ගුණය පහත වැටී ඇති බවක් ද දක්නට ලැබුණ බව සඳහන් කළ යුතු ම ය. එනම් සල්ලාල යැයි සම්මත චරිතයක් සහ පාතාල සිද්ධි කිහිපයක් නිර්මාණයට එකතු කිරීමෙනි.
අවමංගල්‍ය කටයුතු සිදුකෙරන ස්ථානයක නීති විරෝධී කටයුතු සිදුවනවා ද නැද්ද යන්න මම පුද්ගලකව නොදනී. නමුදු කලාවේ නියුතු පුද්ගලයන් සිය නිර්මාණය සඳහා පාදක කරගන්නේ තමන් ඇසු දුටු අත්දැකීමක් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. බැවින් මෙහි කිසියම් සත්‍යතාවක් පැවතිය හැකි ය.
මෙම මාතෘකාව සම්බන්ධයෙන් මීට පෙර එක්තරා සිනමා නිර්මාණයක් තුළ ද අන්තර්ගතව තිබිණ. ඒ, අතුල ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘බඹර වළල්ල’’ නමැති සිනමා නිර්මාණය තුළ ය. එහි අවමංගල්‍ය කටයුතු සිදු කරන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයා (එහි හිමිකරු) අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට අමතරව: මංකොල්ල කැම් සහ සොරකම් යනාදි කටයුතුවල ද නියැළේ. එම සිනමා නිර්මාණයේ තිර රචකයා වුව ද එබඳු සිදුවීම් මාලාවක් සිය නිර්මාණය තුළින් විදාරණය කළේ එහි කිසියම් සත්‍යතාවක් ඇති බැවින් යැයි අනුමාන කළ හැකි ය.
දේශපාලකයාගේ මැදිහත්වීම පිළිබඳ ගැටලුවක් පැන නොනගී. මන් ද දේශපාලකයා යනු තමාගේ කුණු වසා ගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු බිලි ගැනීමට හෝ බිලි දීමට සූදානම් චරිතයක් බව නොරහසක් වන බැවිනි. නමුදු අනිච්චාවත සංඛාරා නිර්මාණයට පාතාල සිද්ධි ඇමිණිම නොකළ යුතුව තිබුනේ ය යන්න මගේ පුද්ලික අදහස ය. ඒ විවේචනය එසේ පැවතිය ද මෙවන් ප්‍රස්තුතයක් පාදක කරගනිමින් කලා නිර්මාණයක් සමාජ ගත කිරීම සම්බන්ධයෙන් සුරංග ලක්මාල් සෙනවිරත්න නිර්මාණකරුවාට මම යළිත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
ජයසිරි අලවත්ත