ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (14) සිය වයස අවුරුදු 42 වැනි සංවත්සරය සමරයි.
1982 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට ජපන් රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රූපවාහිනී සංස්ථාව 'ජාතියේ නාලිකාව' වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වයි.
කෙසේනමුත්, මේ වන විට රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන තුන්දහසකට වැඩි මුදලක ණයකරුවකු බවට පත් වී ඇති අතර දූෂිත කළමනාකාරීත්වය හේතුවෙන් බවට එහි සේවකයෝ චෝදනා කරති.
මේ වන විට රූපවාහිනිය විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව ඊයේ (13) දින විදුලිය විසන්ධි කිරීම ආසන්නතම සිදුවීම ලෙස සේවකයෝ පවසති.
අද උදෑසන රූපවාහිනී සේවකයන් ඇමතීමට එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ උත්සාහ කළද ඔහුට සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ ඔහු හොරු, දූෂිතයන් ආරක්ෂා කරන බවට වන සේවක චෝදනාව හේතුවෙනි.
"සේවයෝ අද හර්තාල් එකක්, වීදි නාට්‍යයක් එහෙම කරන්න හිටියා. ඒක දැනගෙන සභාපතිවරයා අද උදේ සේවකයෝ අමතන්න ආවා. ඒ ඇවිල්ලා එයා කියනවා මේක ලාබයි කියලා. ලාබ නම් කොහොමද මේකේ ලයිට් කපන්නේ. ඊයෙත් ලයිට් කැපුවා. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තමයි මේ වැටීමට සම්ඔඌර්ණයෙන්ම වගකියන්න ඕනා. එයාලව සුද්ද කරගෙන සභාපති කතා කරන්න ආවාම මිනිස්සු කෑ ගැහුවා. බන්දුල ඇමතිතුමා පුම්බන්න චැනල් අරින්න ඕනේ නැහැ. අපිට සත පහක්වත් කවුරුත් දෙන්නේ නැහැ කියලා සේවකයෝ විරුද්ධ වුණා. දැන් තාවකාලිකව වෙබ් රේඩියෝ එක නැවැත්තුවා." යැයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි සේවකයකු 'ද ලීඩර්' වෙබ් අඩවියට පවසා තිබිණි.
මේ අතර අද දින ආරම්භ වීමට නියමිතව තිබූ 'රූ රේඩියෝ' නම් වෙබ් නාලිකාවද සේවයන්ගේ විරෝධය මැද නවතා දමා ඇති අතර සේවකයන් චෝදනා කරන්නේ වැටුප් ගෙවා ගැනීමටත් නොමැති අවස්ථාවක මෙවැනි දෙයක් ආරම්භ කිරීම තවත් මුදල් කබාසිනියා කිරීමක් බවයි.
රූපවාහිනියේ විකාශනය වූ ටෙලි නාට්‍යවලට ගෙවිය යුතු හිඟ මුදල් පවා ගෙවා ගැනීමට සංස්ථාවට වත්කමක් නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
රූපවාහිනියේ වත්මන් පරිපාලනයේ කළමනාකරණ ප්රතිපත්තීන් හේතුවෙන් රජයට ගෙවිය යුතු වැට් මුදල් වසර ගණනාවක් ගෙවා නැත. සේවකයින්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් මාස ගණනාවකින් ගෙවා නැති අතර විශ්‍රාම පාරිතෝශිකය ගෙවිය යුතු විශ්‍රාමිකයින් ගණන 40කට අධික බවයි සේවකයෝ පවසති.
දිනෙන් දින පාඩු ලබන රූපවාහිනි සංස්ථා සේවකයන්ගේ වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත් වී තිබෙන මොහොතක එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සිය තනතුරෙන් ඉවත් වී විදෙස් ගත වීමට සුදානම් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.