*මහින්ද සහ ගෝඨා සමඟ සංකල්පීයව වලපල්ලට ගිය ශ්‍රී ලාංකේය අභිමානය*
"කලින් නම් ස්වර්ණවාහිනිය කියන්නෙ දේශීය අභිමානය කරේ තියං වේගයෙන් වයසට යන අහංකාර වැඩිහිටියෙක්. ඒත් දැන්.... wow.. soo sexy..."
පත්තර කලාව "හික්" ගෑවුන යුගයක ඇරඹෙන "මොණරා"!!! සෙබඩ කියලා කාන්තා අතිරේකයක් ?
ස්වර්ණවාහිනිය මේ දවස්වල අමුතුම ගේම් එකක් ඉස්ස“රහට” ගහනවා. පත්තර කලාවට හික් ගෑවිලා තියන යුගයක ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය ඇතුලෙම මොණරා කියලා පත්තරයක් පටන්ගන්න ගත්ත අවදානම් සහගත තීරණය ම මාරයි! යම් ජනමාධ්‍ය ආයතනයක්, සනත් ජයසූරිය වගේ ලොකු අවදානමක් අරගෙන ඉස්ස-රහට පැනලා ගහනවා බලන්න වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් විදිහට මම පට්ට ආසයි.
ඉස්සරහට පැනල ගහන්න ගිහිල්ලා සනත් ජයසූරිය ඕන තරම් අවුට් වෙලා තියනවා. ඒත් සනත් ජයසූරිය සාර්ථක වුණේ බය නැතුව ඉස්සරහට පැනලා ගහපු නිසා. එදා සාජාවල 189 ක් ගහලා ලෝක වාර්තාව ළඟටම ආපු සනත්, 189 ට අවුට් වුනෙත් ඉස්සරහට පැනලා ගහන්න ගිහිල්ලා. එදා සනත්ට ලෝක වාර්තාව අහිමි වුනත්, ඉස්සරහට පැනලා ගහන එක සනත් නැවැත්තුවෙ නෑ. අන්තිමේදී සනත් නැවතුනේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා. අන්න ඒ වගේ මේ දවස්වල ස්වර්ණවාහිනිය හිටු කියලා හරිම රහට ඉස්ස"රහට" පැනලා ගහනවා. බය නැතුව වැඩසටහන් වෙනස් කරනවා, අමුතු ප්‍රොමෝෂන් කරනවා, තරුණ වෙන්න සහ අලුත් වෙන්න ට්‍රයි කරනවා, අත්හදාබැලීම් කරනවා. අතීත කාමයේ ගිලිලා සාම්ප්‍රදායික ගමනක් යනවා වෙනුවට රැඩිකල් වෙනසක් කරනවා. ඒ වෙනස නියමයි.
TV චැනල් එකක් සමස්තයක් විදිහට සාර්ථක වෙන්න නම් ඒ චැනල් එකේ යන හැම වැඩසටහනක්ම අතිසාර්ථක වෙලා, හැම වැඩසටහනක්ම ශතක රැස් කරන්න ඕනෙ නෑ. ඒ ඒ තැනට අදාළව හරියට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ක්‍රිකට් කණ්ඩායමක ඉන්නවා වගේ... TV චැනල් එකේ තියන වැඩසටහන්, ඒ ඒ තැනට අදාළව හරියට සෙල්ලම් කරනවා නම් වැඩේ ගොඩ. සමහරු ශතක ගහන්න ඕනෙ, සමහරු අර්ධ ශතක ගහන්න ඕනෙ, සමහරු බෝල 6කට ලකුණු 20ක් ගහන්න ඕන. තවත් සමහරුන්ට කරන්න තියෙන්නෙ පන්දු ඕවරයේ අන්තිම බෝලෙට තට්ටුවක් දාලා ඊළඟ ඕවරේ පන්දුවට පහර දෙන්න අනිත් අන්තයේ ඉන්න කෙනාට අවස්ථාව දෙන එක. සමහරු කරන්න ඕනෙ එක ලකුණක් දාන එක. TV චැනල් එකක තියෙන්න ඕන වැඩසටහනුත් ඒ වගේ තමයි.
සමහර වෙලාවට බෝල 130 කට ගහපු ලකුණු 100 කට වඩා බෝල 6කට ගහපු ලකුණු 20 ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා වැඩසටහන් නිර්මාණය කරද්දි හැම වර්ගයකම වැඩසටහන් හදන්න ඕනෙ. සමහර වැඩසටහන් ලොකුවට ලකුණු ගහන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් සමස්තයක් විදිහට... ඒ කියන්නෙ කණ්ඩායමක් විදිහට ගත්තොත් ඒ වැඩසටහන් සියල්ලම එකට තියලා බලද්දි ඒ තියන විවිධත්වය නිසාම චැනල් එකේ සමස්ත ස්වභාවය (Brand tone) ආකර්ෂණීය වෙන්න පුළුවන්.
ක්‍රිකට් ක්‍රීඩාවේදි වැඩිය ලකුණු ගැහුවේ නැති වුනත්, සාර්ථක උඩ පන්දුවක් රැකගෙන තරගය කණපිට හරවන්න එක ක්‍රීඩකයෙක්ට පුළුවන්. අන්න ඒ වගේ, ලකුණු ගැහුවෙ නැතත් එක උඩ පන්දුවකින් තරගය කණපිට හරවන්න පුළුවන් වැඩසටහනුත් TV චැනල්වලට ඕනෙ. මෙන්න මේ විද්‍යාත්මක සාස්තරේ ස්රණවාහිනිය ඇතුලෙ ඉන්න කවුරු හරි කෙනෙක්ට අහුවෙලා ඇති කියලා මට දැන් හිතෙනවා.
ශ්‍රී ලංකාවේ තියන TV චැනල් තරුණ මදි වීම ඉස්සර ඉඳල මට තිබුණ ප්‍රශ්නයක්. 2010 ට කලින්, ඒ කාලේ හිටපු තාරුණ්‍යයට ඕනවටත් වඩා ගැලපෙන දේවල් සිරස කළා. Narada Bakmeewewa , Thanuja Jayawardanaවිතරක් නෙමෙයි... Shihan Mihiranga, Shalani Tharaka පවා ආවෙ සිරසෙන්. ඒත් දැන් සිරස ස්වභාවිකවම වයසයි වගේ. ඒත් ඉතිං තියන තත්වයන් යටතේ සිරස, දෙරණ සහ හිරු, තරුණ පැත්තට බරයි කියලා අපිට ටිකක් හිතන්න පුළුවන්.
ජාතික රූපවාහිනිය, ITN සහ ස්වර්ණවාහිනිය තරුණ චැනල් විදිහට පහුගිය කාලෙ මට පෙනුනේ නෑ. සමහර විට ඒක මගේ අවුලක් වෙන්නත් පුළුවන්. ස්වර්ණවාහිනිය මම දැක්කෙ දේශීය අභිමානය කරපින්නාගෙන වේගයෙන් වයසට යන අහංකාර වැඩිහිටියෙක් විදිහට. ඒත් පහුගිය කාලේ BIO කියලා ටෙලි නාට්‍යයක් ස්වර්ණවාහිනියෙ විකාශය වෙද්දි ගැඹුරු තරුණ සුවඳක් ස්වර්ණවාහිනියෙන් දැනුනා. ඒත් ඒ ටෙලිනාට්‍යයේ සමහර දර්ශන සංස්කරණය කරපු විදිය අපරාදෙ කියල මට හිතුනා. එතනදි ස්වර්ණවාහිනිය අඩියක් පිටිපස්සට තියද්දී ඒ අඩියම ITN එක ඉස්සරහට තිබ්බා.
දැන් ස්වර්ණවාහිනිය ඉන්නෙ වෙනමම game plan එකක. උඩ බැලුවත් බිම බැලුවත් ඉස්ස-රහට පැන පැන ගහනවා. අමුතු වැඩසටහන් දියත් කරනවා. මේ නිසා තව ටික දවසකින් ශ්‍රී ලාංකේය අභිමානය කරේ තියාගත්ත අහංකාර ස්වර්ණවාහිනිය ලලයි ලිලයි ලයි වෙලා ඉස්ස-රහට යයි කියලා මට හිතෙනවා.
අලුතෙන් කරන්න ගිය සමහර දේවල් ස්වර්ණවාහිනියට වැරදුනා තමයි. ඒත් අත්හදා බැලීම් සහ පරීක්ෂණ කරද්දි වැරදි වෙන එක පට්ට සාධාරණයි සහ අනිවාර්යෙන්ම සමාව දිය හැකියි. ඉස්සර අර්ජුන රණතුංග සනත්තටයි කළුවිතාරණටයි කියලා තියෙන්නෙ මැච් එකේ පළවෙනි බෝල දෙකෙන් ඒ දෙන්නා අවුට් වුන්ත කමක් නෑ කැමති විදහට බය නැතුව බෝලෙට ගහලා එන්න කියලා. ස්වර්ණවාහිනියටත් කියන්න තියෙන්නෙ ඒදා අර්ජුන කියපු කතාවමයි. බය නැතුව ඉස්ස“රහට” පැනලා ගහන්න. අනුග්‍රාහකයින් පවා ඒ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඉදිරිපත් වෙන්න ඕනෙ සහ ඉදිරිපත් වෙනවා.
ස්වර්ණවාහිනිය මේ විදිහට වෙනස් වෙන්න ගත්ත තීරණය හරිම රහයි. තරුණ පැත්තට දෙන බර ගොඩක් හොඳයි. ටෙලිනාට්‍ය තෝරාගැනීමේදීත් ගොඩක් ඉදිරියට ඇවිල්ලා ඉන්නෙ. කොලිටිය ගැන ගැටළු තිබුනත් අවුලක් නෑ. ඔහොම යං. අන්තිමටම කියන්න තියෙන්නෙ.... මහින්ද මහත්තයා පරාදයි.. ගෝඨා සර් පරාදයි..... ශ්‍රී ලාංකේය අභිමානය සංකල්පීයවත්, මහපොළව මතත් දැන් ඉවරයි. ශ්‍රී ලාංකේය දේශය ලෝකෙට ණයයි. යක්ඛ පුත්තු ලෝකෙට බරයි. මං මේ කියන්නෙ ශ්‍රී ලාංකේය අභිමානය කියන බෝඩ් එක පවා වෙනස් කරන්න කාලෙ හරි කියලා. අහංකාර නොවී වෙනස් කළ යුතු දේවල් බය නැතුව වෙනස් කරන්න. ඒත් ඒ බෝඩ් එක වෙනස් කරන්නම බැරි නම්, දෙරණ කළා වගේ “අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන” වගේ වංගුවක්වත් ගහන්න.
අලුත් දෙයක් වෙනස් වැඩක් කරද්දි ඒකට බනින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒත් ඒක පිටිපස්සෙ තියන දුෂ්කර කටුක කතාව කවුරුත් දන්නෙ නෑ. දැන් සිද්ධවෙන දේවල් සමීපව නිරීක්ෂණය කරද්දි ස්වර්ණවාහිනියේ ස්වර්ණමය යුගය ඉස්ස"රහට" උදාවෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියනවා. බය නැතුව ඉස්ස“රහට” පැනලා ගහන්න...
ලක්මිණ රණසිංහ විසින් තබනු ලැබූ ෆේස්බුක් සටහනකි.