lan englan tam

පුවත්

සිනමාව දිනූ මනි රත්නම් හා බිදුණු සිනමාවක මනුසත්කම පෙන්වූ ප්‍රසන්නගේ එක් වීම; Paradise

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස්තලයේ කී ආකාරයටම මාර්තු 12 වැනිදා ඉන්දියාවේ සුපිරි සිනමාකරු මනි රත්නම්ගේ සිනමා නිෂ්පාදන ආයතනය වන මැඩ්‍රාස් ටෝකීස් යූටියුබ් නාළිකාවෙන්, ‘පැරඩයිස්‘ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක වීඩියෝව නිකුත් වෙනවා.

හවස 5ට එය නිකුත් වීමට නියමිතයි. 2023 වසරේදී දකුණු කොරියාවේ බූසාන් සිනමා උළෙලේදී එළිදැක්වූ පැරඩයිස් චිත්‍රපටියට එම උළෙලේ දී කිම් ජෙසුක් සම්මානය හිමි වුණා. එමෙන්ම මාර්තු 10 වැනිදා පැවැත්වූ ආසියානු සිනමා ඇකඩමියේ සම්මාන උළෙලේදී හොදම අධ්‍යක්ෂ, හොදම චිත්‍රපටිය, හොදම තිර රචනය ඇතුළු සම්මාන ගණනාවකට නිර්දේශ වී තිබුණා.

 
 
මනි රත්නම් නිෂ්පාදනය කරන ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටියක් යනු මීට අවුරුදු ගණනාවකට කලින් නම් සිහිනෙන්වත් අනුමාන කළ නොහැකි දෙයක් වෙන්නට තිබුණා. විශේෂයෙන් අපේ කතාබහට ලක් වෙන, අද දින පූර්ව ප්‍රචාරක වීඩියෝව එළිදක්වනු ලබන පැරඩයිස් චිත්‍රපටියේ ප්‍රධාන චරිත රගපාන්නේ මලයාලම් සිනමාවේ ප්‍රකට තරු වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන්. (ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු ලාංකේය නළුනිළි කණ්ඩායමක් සමග.)
 
මනිරත්නම් සතු මැඩ්‍රාස් ටෝකීස් නිෂ්පාදන සමාගම ප්‍රසන්නගේ චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම, මේ මොහොත වෙද්දී ප්‍රවෘත්ති පත්‍ර කළඹන මායාවක් නොවනවා විය හැක්කේ එක්කෝ මාධ්‍ය මේ ගැන නොදන්න නිසා විය හැකියි. නැත්නම්, මේ ප්‍රවෘත්තියෙන් අමන්දානන්දයට පත් වෙන්නට තරම් මාධ්‍යයට එහි වැදගත්කම අවබෝධ නොවීම නිසා විය හැකියි. නැත්නම්, දැනටමත් ප්‍රසන්න රජීව් රවී නම් වූ අද්විතීය කැමරා අධ්‍යක්ෂවරයා (සහ අධ්‍යක්ෂවරයා) සේවයට ගෙන හමාර නිසා ප්‍රසන්න සහ මනි රත්නම් හමුව අලුත් දෙයක් නොවෙනවා විහ හැකියි. කොහොමටත් ප්‍රසන්න විතානගේ දන්න කාලයේ සිට දකුණු ඉන්දියාවේ අංක එකේ සිනමා සංස්කරණ ශිල්පියා වන ශේකර් ප්‍රසාද් ලවා චිත්‍රපටි සංස්කරණය කරවාගන්නවා. මෑත චිත්‍රපටි දෙකතුනක, තරුණ සංගීත ශිල්පී කේ (ක්‍රිෂ්ණ කුමාර්) ඔහුට සංගිත අධ්‍යක්ෂණය කළා.
 
ප්‍රසන්නගේ පහුගිය චිත්‍රපටි කිහිපයක්ම, අපේ සිනමාවට දේශසීමා තරණය කරන්නට ඇති හැකියාව පිළිබද ඊළග පරපුරේ සිනමාකරුවන්ට පාඩම් පොතක් විය හැකියි. සංජීව පුෂ්පකුමාර, විමුක්ති ජයසුන්දර සහ අනෝමා රාජකාරුණා ආදී තව අපේ සිනමාකරුවන්/කාරියන් කිහිපදෙනෙක්ම තම තමන්ට ගැළපෙන ආකාරයට ජාත්‍යන්තර ඇයිහොදැයිකම් පවත්වාගෙන යන බව මෙතැනදී සටහන් කර තැබිය යුතුයි. ප්‍රසන්න විතානගේ විශේෂ වන්නේ ඔහු අපට අසල්වැසි දකුණු ඉන්දීය සිනමාවේ පහසුකම් මෙරටදී නිෂ්පාදනය කරන චිත්‍රපටි වෙනුවෙන් පාවිච්චි කිරීමයි.
 
ප්‍රසන්න සහ මනි රත්නම් අතර වයස් පරතරය අවුරුදු හයයි. එහෙත්, ප්‍රසන්න පළවැනි චිත්‍රපටිය එළිදක්වන මොහොත වෙද්දී මෞන රාගම්, නායගන් හා තලපති ඇතුළු චිත්‍රපටි 10ක් නිෂ්පාදනය කර හමාරයි. 1991 දී ප්‍රසන්න සිසිල ගිනිගනී එළිදක්වන මොහොත වෙද්දී, මනි රත්නම් රැජිණිකාන්ත් හා මම්මුති රගපාන තලපති චිත්‍රපටිය එළිදැක්වුවා. ඒ වෙද්දී කන්නඩ සිනමාවෙන් අරඹා, මලයාලම්, තෙලුගු සහ දෙමළ සිනමා කර්මාන්තවල මනි රත්නම් වැඩ කර තිබුණා. මෝහන්ලාල්, මම්මුති, කමල් හසන්, අනිල් කපූර්, ප්‍රභූදේවා සහ රැජිණිකාන්ත් ඇතුළු නළුනිළියන් සමග වැඩ කර තිබුණා. මනි රත්නම් ඒ වෙද්දී ජනප්‍රියම සිනමාකරුවෙක් වුණා.
 
ඒ ඒ සිනමාකරුවන් චිත්‍රපටි එළිදක්වන ප්‍රමාණය පිළිබද වෙනස්කම් තිබෙන බව කියන අතරේම, ප්‍රසන්න අද දක්වාම නිෂ්පාදනය කර ඇත්තේ තමන්ගේ සිනමා ආගමනයට කලින් මනි රත්නම් නිර්මාණය කළ චිත්‍රපටි සංඛ්‍යාවම බව, එනම් චිත්‍රපටි 10ක් බව කියන්න ඕනෑ.
 
කෙසේ නමුත්, අනූ ගණන්වලදී මනි රත්නම් රෙහ්මාන්ව සිනමාවට ගෙන එමින් (අප්‍රකට කරුණක් වන්නේ රෙහ්මාන්ව ඇත්තටම සිනමාවට ආවේ මනි රත්නම් නිසාම නොව මහා සිනමා ගුරු කේ. බාලචන්දර් නිසා බව. රැජිණිගේ- කමල්ගේ ගුරුවරයා බාලචන්දර්. ඔහු නිෂ්පාදනය කරන චිත්‍රපටිවලට ඉලයරාජාගේ දින ලබා ගන්න තියෙන අසීරුව එක්ක විකල්පයක් සොයද්දී රෙහ්මාන්ව හදුනාගෙන තිබුණා. රෝජා චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ. බාලචන්දර්ගේ නිෂ්පාදන ආයතනය විසින්.
 
මනි රත්නම් දකුණු ඉන්දියාව දිග්විජය කොට බොලිවුඩයට පාලම් තනමින් රෙහ්මාන්ලාගේ සිට ආර් මාධවන් දක්වා බොහෝ අයට බොලිවුඩයේ දොරටු විවර කරද්දී ප්‍රසන්න අයියා ලංකාවේ බිදුණු සිනමා කර්මාන්තයක, පාලකයන් ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර යුද්ධයක් වවාගෙන කෑ මොහොතක, මනුෂ්‍යත්වයේ භාෂාවක් ලෙස සිනමාව පාවිච්චි කිරීම නම් වූ අරගලයටම මුහුණදෙමින් සිටියා. මනි රත්නම්ගේ සිනමාව සංගීතයෙන්, ඓශ්චර්යා, රේවදී, මනීෂා කොයිරාල නර්තනයන්හි යෙදෙන වෛවර්ණ රූපවලින් හැඩ වෙමින්, ෂාරුක් ඛාන්ලා- අභිෂේක්ලා- අරවින්ද් සාමිලාගේ ප්‍රේමය මුහුවෙමින් වාණිජ කර්මාන්තයක අපේක්ෂාවන් වෙත තල්ලු වෙද්දී ප්‍රසන්න විතානගේ ලංකාවේ කතාව වඩාත් සිනමාත්මක භාෂාවක් තුළ කියන්නට උත්සාහ කළා. ලංකාවේ කතා සිනමා මාදිලියෙන් ලෝකයට රැගෙන යන්නට ප්‍රසන්න- මහින්දපාල (කැමරා අධ්‍යක්ෂ) යුගලය විසින් මැවූ සිනෙරූ සමත් වුණා.
 
ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරයක් හෝ සිනමා නිෂ්පාදන කර්මාන්තයක් ඉතිරි වි තිබුණේ නැති තරම්. ජනප්‍රිය සිනමාව පුස්සක් වෙද්දී, යහපත් චිත්‍රපටියක් කිරීම යනු උණ තිබෙන සිනමාකරුවන් පිරිසක් විසින් අතින් කා හරක් බැලීමක් වුණා. සිනමාවෙන් මුදල් ඉපැයීම මුලාවක් වුණා. මාවතකට තිබුණේ සිනමා ශිෂ්‍යත්ව, ත්‍යාග ප්‍රදාන මෙන්ම චිත්‍රපටියක ප්‍රමිතිය පිළිබද සහතිකය (ඒ එක්ක ලැබෙන ආත්ම අභිමානය) සැපයීමේ හැකියාව තිබුණු උසස්- ජාත්‍යන්තර සිනමා උළෙලවල් වෙත යොමු වීමයි.
 
ඉතින්, ඔන්න ඔය විදියට සිනමා කර්මාන්ත මෙන්ම, සිනමාවෙන් අපේක්ෂිත දේවල් එකිනෙකට වෙනස් වූ රටවල් දෙකක සිනමාකරුවන් දෙදෙනෙකුගේ දෙවිදියක කතාන්දර පැරඩයිස් චිත්‍රපටියෙදී හමුවෙනවා.
 
පැරඩයිස් චිත්‍රපටිය කොරියාවේ බූසාන් සම්මාන උළෙලට 2023 දී සහභාගී වුණා. එය හරිම වැදගත්. කලක් තිස්සේ විශිෂ්ට වූ දකුණු කොරියානු සිනමාව මෑත කාලයේදී ජාත්‍යන්තරය තුළ විශාල පිම්මක් පැන්නා. ප්‍රමිතිය පමණක් නොව, සංඛ්‍යාත්මකව ගත්තත් දකුණු කොරියාව හොලිවුඩයට හා බ්‍රිතාන්‍යයට වඩා ඉහළින් සිටින සිනමා කර්මාන්තයක් ලෙස දක්ෂිණ කොරියන් සිනමාව අපට නම් කළ හැකියි. ඒ් නිසා ඔස්කාර් දිහා කට ඇරගෙන බලා සිටින මොහොතේ බූසාන් සම්මාන උළෙලේ වැදගත්කම අවතක්සේරු කරන්න බැහැ. පැරසයිට් චිත්‍රපටිය බටහිරදී ලැබූ සාර්ථකත්වය සහ බොන්ග් ජුන් හූ ප්‍රමුඛව කොරියානු සිනමාකරුවන්ට මේ වෙද්දී (නෙට්ෆ්ලික්ස් වැනි වේදිකාවලත් සහායෙන්) ලැබෙන ආවරණය නිසා මෑත කාලයේදී බූසාන් සිනමා උළෙල දෙස බොහෝ අය ඇස ගසාගෙන සිටිනවා. ප්‍රසන්නව එහිදී ඇගයීමට ලක් වීම වටින්නේ ඒ නිසා. (ජගත් මනුවර්ණත් බූසාන් සිනමා උළෙලට සහභාගී වුණා.)
 
පසුගියදා ප්‍රසන්නගේ චිත්‍රපටිය නිර්දේශ ගණනාවක් ලැබූ ආසියානු සිනමා ඇකඩමි සම්මාන උළෙලත් වැදගත්. ආසියානු සිනමා ඇකඩමිය බූසාන්, ටෝකියෝ සහ හොංකොං යන සිනමා උළෙලවල් තුන ඒකාබද්ධව පවත්වන උසස් සම්මාන උළෙලක්.
 
ඒ සියල්ල මැද එකම එක දෙයක් කිව යුතුයි. ලාංකික සිංහලයෙකු වන ප්‍රසන්න විතානගේට දකුණු ඉන්දියානු සිනමාවත් එක්ක මේ වගේ ගනුදෙනුවක් කරන්න හැකි වුණේ ඔහුගේ සිනමා විශිෂ්ඨත්වය නිසා විතරක් නෙවෙයි. මනුෂ්‍යයෙකු ලෙස, පුරවැසියෙකු ලෙස, දේශපාලන අවබෝධයක් ඇති මිනිසෙකු ලෙස ඔහුගේ විශිෂ්ඨත්වය සහ දැක්ම පවා එයට හේතු වුණා.
 
මගෙන් කවුරුහරි විමසුවොත් ප්‍රසන්න මේ වැඩේ කළේ කොහොමද කියා, මගේ පළවැනි ප්‍රතිචාරය වන්නේ ජාතිවාදී නැති, මනුෂ්‍යත්වයට ගරු කළ, ජනවාර්ගික යුද්ධයකින් තලා පෙළා දැමූ ලංකාව තුළ වෙමින් පවතින විනාසය විනිවිද දකින්නට සිනමාකරුවෙකු ලෙස ප්‍රසන්නට හැකි වූ නිසා ප්‍රසන්න මේ වැඩේ කළා කියා. (මෙතැනදී ලංකාවේ කලාත්මක සිනමාව යුද්ධය පිළිබද දැක්වූ ආකල්ප සහ ඒ පසුපස ඇති තවත් කාරණා ගැන වෙනස් ආකාරයක කතාබහක් පසුව වෙනම තැනක කළ හැකියි. මේ සිනමාවට ‘බටහිර ගැති‘ සිනමාවක් ලෙස ලේබල් ඇලවී තිබීමත්, එයට එල්ල වූ විවේචනත් ගැන ටිකක් විස්තර ඇතිව කරන අදහස් දැක්වීමක් ඉදිරි දවසකට කල් දැමිය යුතුයි.)
 
ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටියක්, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලයි ප්‍රභාකරන් විසින් තමන්ගේ අතට දුන් බව මට කීවේ අකාලයේ අපට අහිමි වූ ආදරණීය සිනමාකරුවා කේසවරාජන් නවරත්නම්. (ප්‍රසන්න කේසාව ඇමතුවේ ‘කේශව්‘ කියා. කේසා අයාලේ මිය යන්න කලින් ප්‍රසන්නට කේසා ගැන චිත්‍රපටියක් කරන්න ඕනෑ වුණා. මට කේසා ගැන පොතක් ලියන්න ඕනෑ වුණා. ප්‍රසන්න තුන්දෙනෙක් චිත්‍රපටියේදී කේසා ඇසුරෙන් කෙටි චිත්‍රපටියක් කළා පමණක් නෙවෙයි එහි කේසාට රගපාන්නත් ඇරයුම් කළා. ප්‍රසන්නගේ මේ අලුත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නම් කර ඇත්තේ කේශව් යන නමින්.) කේසවරාජන් ප්‍රසන්නගේ චිත්‍රපටි නැරඹීමෙන් පසු දකුණේ සිනමාකරුවන් එක්ක සම්බන්ධතා හදා ගත්තා.
 
ඒ සියල්ල මැද (විවිධ පැතිවලට ඇදී ගිය) මේ සටහන නිමා කළ යුත්තේ ලාංකික සිනමාවට ඇති අවස්ථා සිහිපත් කරමින්. තරුණ සිනමාකරුවන් වෙහෙස වී වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්.
 
මිත්‍රවරුනි, සිනමාවට කවදාවත් දේශ සීමා තිබුණේ නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෝකෙට ගියේ සියල්ලන්ට කලින්. එහෙත්, අද අන් කවරදාටත් වඩා සිනමාවේ දේශසීමා බොද වෙලා. තවමත් සිනමා ධනවාදයකට වගේම සිනමා අධිරාජ්‍යවාදයකට ඇති බලය අපට අවතක්සේරු කරලා දාන්න බැහැ. එහෙත්, සිනමාවේ යෙදෙන්නන්ට අද වැඩි වැඩියෙන් මාවත් විවර වී තිබෙනවා. එය කොහොම කෙසේ විය යුතුද කියා විස්තරාත්මකව කියන්නට තරම් මා සිනමා විශාරදයෙකු නොවෙයි. එහෙත්, අප ඉදිරියේ ඇති මහගු අවස්ථාව පෙනෙන්නට තිබෙනවා. කෙසේ නමුත්, කෙටියෙන් තරුණ සිනමාකරුවන්- අත්දැකීම් සහිත සිනමාකරුවන් සහ සිනමාලෝලී ලේඛකයන් හා මාධ්‍යවේදීන් යන ත්‍රෛපාර්ශ්වයට අපේ සත දෙක ඉදිරිපත් කළ හැකියි.
 
ජගත් මනුවර්ණ රහස් කියන කදු චිත්‍රපටිය එළියට දැම්මේ ඓතිහාසික මොහොතක. ඔහුට ජාත්‍යන්තර ජයගන්නට පමණක් නොව, ලාංකික ප්‍රේක්ෂකාගාරය තුළ අවධානය ලබන්නටත් හැකි වුණා. මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා හෝ ඩෙනිස්ගේ ත්‍රීවීල් ඩයරීස් වාගේ චිත්‍රපටි ගොඩක් සිනමාහල්වලට එන්න ඕනෑ. (මෙතැන සදහන් කළේ ක්ෂණිකව මතකයට ආ ෆිල්ම් දෙකක් විතරයි. දෙවැන්නේ සවුන්ඩ්වල තිබුණ අවුල කොහොමහරි හදාගන්න වෙයි) තිසර ඉඹුලානලා, තිසර මංගලලා, සුදත් අබේසිරිවර්ධනලා, කෞෂල්‍ය පතිරණලා, ලංකා බණ්ඩාරණායකලා, කසුන් පතිරණලා විතරක් නෙවෙයි- සිනමා උණ තියෙන බොහෝ තරුණ උං අවදානමක් අරගෙන චිත්‍රපටි හදන වැඩේ බොක්කෙන් කරන්න ඕනෑ. කර්මාන්ත ගොඩ යන්නේ පිපාසාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ සාමූහික අරගලයක් විදියට.
 
ඒ වගේම, අපේ ප්‍රවීණයන් සිනමාකරුවන් තම තමන්ගේ වෙහෙස මහන්සිය එක්ක ජාත්‍යන්තර සිනමාව එක්ක තියෙන සම්බන්ධතා ටික තවත් වැඩිපුර තීව්‍ර කරමින් ලංකාවට ඉඩහසර හදන්න ඕනෑ. අනෝමා රාජකරුණා යාපනය සිනමා උළෙල ආදිය කරනවා. තවමත් සිනමා සංවාද කරන්නට වෙහෙස වෙනවා. නමුත් කලකට පෙර අපේ සිනමාකරුවන් එක්ව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලක් කළා. අතිසාර්ථකද දන්නේ නෑ, ඒත් හොද චිත්‍රපටි අතර සැරිසරන්නට පුළුවන් විදියේ අපූරු රසායනයක් ඒ වැඩේ ඇතුළේ අපට තිබුණා.
 
අප වැනි සිනමා ලාලසාවක් ඇති ලියන්නන් ඒ ගැන ලියන්න, කතා කරන්න කාලය වෙන් කරන්නත් ඕනෑ. පුද්ගලිකව මමත් කඨොර දේශපාලන ලිවීම්වල කරවටක් ගිලී ඉන්නේ සිනමාව කියා එකක් නැහැ වගේ සිතමිනුයි. අනෝමා රාජකරුණා සංවිධානය කළ සිනමා දැක්මවල්ම කීයක් පුද්ගලිකවම මගහැරුණාද? එය අවසන් කරමින් සිනමාලෝලය පුබුදුවාගත යුතුයි. රාජ්‍යය සහ කර්මාන්තය කෙතරම් අසමර්ථ වුණත්, ලාංකිකයන්ගේ ඇගේ සිනමාව තිබෙන බව ලියුම්කරු විශ්වාස කරනවා. එකම දේ ලාංකිකයන්ගේ පිපාසාව සංසිදුවන්නට සමත් කර්මාන්තයක් නොමැති වීමයි.
 
පුංචිම පුංචි මනි රත්නම්- ප්‍රසන්න විතානගේ පූර්ව ප්‍රචාරක එළිදැක්වීමක් නිසා සිනමාව ගැන වටේ යෑමක් ලෙස මේ සටහනේ උඩ කොටස් දෙස නැවත හැරී බලද්දී හැගෙනවා. ඒත් ඉතින් මනි රත්නම්- ප්‍රසන්න විතානගේ වැඩක් ගැන මේ ඔක්කොම අදහස් ගලා නාවොත් තමයි පුදුම විය යුත්තේ.
 
Back to top
Go to bottom

Popular News