මිනිසුන් බහුතරය අතීතකාමීන්ය. එනම් මල ඊයේට ආදරය කරනවුන්ය. ඔවුන් ඒ තරමට අතීතයට ආදරය කරති. එනමුත් ඒ මළ අතීතය යලි ගොඩනැගිය හැක්කක්ද නොවේය. එය කිසිදා කිසි ලෙසිකින් එලෙසින්ම ගොඩ නැගිය හැකිවක්ද නොවේය. අතීතය යනු එවැන්නකි.
එනමුත් අපිට ඒ අතීතය ගැන අපූරුවට ලියා ඇති අතීත කතා කියවා ඒ යුගය ගැන අප සිත්හි අප හට කැමති ආකාරයෙන් චිත්ත රූප මවා ගත හැකිය. ඒවා කැන්වස මත පින්තාරුද කල හැකිය. එනමුත් සිනමා මායාව තුළ මේ අතීතය අප දෙනෙත් අභියස විසිතුරු ලෙසින් ප්රාදූර්භුත කර පෙන්වීමේ හැකියාවක් පවති. ලෝක සිනමාවේ එවැනි අතීත කතා නිර්මාණයන් අනන්තව බිහි වී තිබේ. දැනුදු බිහිවෙමින් පවති. ඒ සදහා විශාල ප්රෙක්ශකාගාරයක්ද පවති. ලෝක සිනමාවේ තාක්ෂණික සහ නිර්මාණාත්මක දියුණුවත් සමගින් එලෙසින් බිහිවෙන අතීත කතා චිත්රපටද දිනෙන් දින තාක්ෂණය අතින් සහ නිර්මාණාත්මකභාවයෙන් විශාල දියුණුවක් පෙන්වමින් පෙරගමනක් යන බව පෙනුනත් ශ්රි ලාංකේය සිනමාව තුළ නම් එය සිදුවන්නේ ආපස්සට බව කරළියට එන අතීත කතා නොහොත් රජකතා චිත්රපට දෙස බැලූවිට පෙනීයයි. ඊට ඉතා අසන්නතම උදාහරණය සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්රපටයයි.
ප්රථමයෙන්ම කිව යුත්තේ සිංහබාහු චිත්රපටයෙන් සෝමරත්න දිසානායකට අවශ්ය වූයේ මේරට සිංහලයින් පැවත එන ලේ ධාතුවේ උරුමය පිරිසිදු කිරිමක් කිරීමට බව යැයි හැඟේ. එනම් වංශකතාවට අනුව එකම ලේ සහෝදරිය සහ සහෝදරයාගේ විවාහයෙන් ඇතිවන දරුවන්ගෙන් කෙනෙකු වන තම්බපණියට ගොඩ බට මෙරට ඉතිහාසයේ ප්රථම රජ ලෙස සැලකෙන විජයගේ ලේ ධාතුව පිරිසිදු කිරීමයි. එනම් සිංහභාහු සහ සිංහ සීවලි යනු එකම මවකගේ සහ පියෙකුගේ දරුවන් නොව ඊට හාත්පසින්ම වෙනස් ඥාති සම්බන්ධයක්වත් නොමැති රජ පෙළපතක සහ සිංහයාගේ පිරිසිදු ලේ ධාතුවෙන් හැදි වැඩුනු දෙදෙනෙකු වන බවත් ඔවුන්ගේ සම්භෝගයෙන් ඇති වුන විජයත් විජයගේ පරම්පරාවත් සුපිරිසිදු ලේ ධාතුවෙන් පැවත එන්නන් බව පැවසීමට උත්සහ දැරීමය.
පසුගිය වසර කීපය තුළ මෙරට නිපද වූ අනෙකුත් රජකතා සේ (ආලෝකෝ උදපාදි හැර) සිංහබාහුටද අන්දවා ඇත්තේ මහරගම පමුණුවෙන් හෝ පිටකොටුව කෙලින්වීදීයෙන් ලාබෙට අරගත් රෙදි ආභරණ සහ ආයිත්තම් නම් විය හැකිමය. සිංහබාහු චිත්රපටයේ බාසාවෙන්ම කිවහොත් අලංකාර ස්වභාවික ගල්පර්වත සහ කැලෑ පරිසරයක් සමගින් මුසුවුන රූප රාමුවලට එවැනි වර්ණවත් ඇදුම් සහ රෙජිෆෝමයට පාට ගෑ වර්ණවත් උපකරණ මුසු වූ විට ඇසට දැනෙන කැත අධ්යක්ෂකට නොපෙනුනේ කෙලෙස. සිතුවත් මා එලෙස ෆිල්ම් එක ඔහු තනා අවසන් මෙවිට. කට #ක වහගෙන හිදගෙන බලපල්ලා හදපු දේ රසකර. එහෙමද ඉන්න කියන්න අපට? නොතේරෙයි මාහට.
මා ඉහත දැක්වූයේ සිංහබාහු චිත්රපටය පුරාවටම යොදාගෙන ඇති දෙබස් උච්චාරණ විලාශයයි. කාව්ය දෙබස් නිර්මාණයන්ට ගත්තාට කිසිඳු කම් නැත. එහෙත්? මේ භාවිතය තුල අපට නිතැතින්ම සිහිවන්නේ හැත්තෑව අසූව දශකයේ මෙරට හන්දි ගානේ සත දහයට අලවිකරා යැයි සැලකෙන එළිසමය රැකීම ගැන පමණක්ම සිතා ලියන ලද කවි කොලයි. එහි එළිසමය රැකීම වෙනුවෙන් කතාවට හෙණ ගහලා ගියත් සක්ක පද හෝ යොදා කවිය නිම කරන්නා සේ මෙහිද ‘තොට මට බල ශොට වට පිට’ වැනි සූරපප්පා වදන් එමටය. මෙම චිත්රපටය පුරාවටම එවැනි වදන් ඇසෙත්ම කාව්යම බස නිවැරැදිව යොදාගෙන නිර්මාණයටද හානියක් නොවන සේ රඟදැක්වූ මහගම සේකරගේ කාව්ය රැසක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ජයලත් මනෝරත්නගේ ලෝකය තනි යායක් වේදිකා නාට්යය මා හට නිතැතින් සිහියට නැංවිණි. සිනමාව සහ වේදිකාව දෙකක් බව ඇත්ත නමුඳු එම වේදිකා දිගහැරුමේ භාෂා රිද්මය සිංහබාහු චිත්රපටයට වඩා සියදහස් වාරයක් ඉදිරියෙන් තිබෙන බව නම් කිව යුතුමය.
කතාවේ අන්තීම පයිට් එක ගැන නොකියාම බැරිය. අන්න පයිට්. පයිට් නං පයිට්. මෙරට දෙවන කතා නාද චිත්රපටය වූ අශෝකමාලාහී එහෙන් මෙහෙන් සැකසූ කෑලි සහිත කොටසක් පසුගිය දිනක සමාජමාධ්ය ඔස්සේ මා නැරඹීමී. එහි රජු සහ හේවායෝ මීට වඩා අපූරුවට සටන් කරති. සිංහබාහු චිත්රපටයේ අවසන් සටනේදි සිංහබාහු තමාට අඩි විස්සක් විතර ඈතින් ඉන්න සිංහයාට දුන්නෙන් විද ඊතලය ගුවනට ගිය පසු තමා විද්දේ තම පියාට යැයි හඳුනා ගනියි. සිංහයාද සිංහබාහුව කල්තියාම හදුනාගෙන මගේ පුතේ බාහු කියමින් දුවගෙන එයි. ඊතලය තාමත් උඩින් එයි. ඈත මගේ පුතේ කියාගෙන දුවගෙන එන සිංහ තාත්තාය.., මෑත මාගේ පියාණෙනි ඔන්න ඊතලේ කියාගෙන දුවගෙන එන සිංහබාහුය. දෙදෙනාට මැද්දෙන් සුළග කපාගෙන යන ඊතලයය. සිංහබාහු දුන්නෙන් විදලා ඒ විදියට ඊතලේ පස්සේ දුවගෙන ගිය විදියට මං නං හිතුවේ මිනිහා ඊතලේට කලින් සිංහයා ළගට දුවගෙන ගිහින් ඊතලේ අතින් අල්ලලා නවත්තලා සිංහ තාත්තාව බේර ගනියි කියලා. එහෙම උනානනං මෙරට ඉතිහාසේම එහෙම පිටින්ම කණපිට ගහන්න තිබ්බා. අපරාදේ ඒ චාන්ස් එක මිස් කරගත්තානේ.
මාද ඇතුලුව මෙය කියවන ඔබගෙන් සැළකිය යුතු පිරිසක් සිංහබාහු ඉතිහාස කතාව කියවා ඇති. අසා ඇති. එසේම ඒ අනුසාරයෙන් එදිරිවීර සරච්චන්ද්ර සෑදූ සිංහබාහු වේදීකා නාට්ය නරඹාද ඇති. ඇත්තෙන්ම කිව්වෝත් මීට වසර හතලිහකට එහා සරච්චන්ද්ර සෑදු ඒ සිංහබාහු වේදිකා නාට්ය 2024 දි සෝමරත්න දිසානායක තැනු සිංහබාහු චිත්රපටයට වඩා දහස් ගුණයකින් අපූරුය. අප යන්නේ ආපස්සටදැයි කියා සිතෙන සිතුවිල්ල කොයි තරම් නිවරැදිද කියා වැටහෙන්නේ මෙවැනි නිර්මාණත් එවැනි නිර්මාණයන් ෂා මරු යැයි කියමින් ඒවාට ආවඩන අයවලුනුත් දකිනා විටය. (රසවින්දනය පුද්ගලයාගෙන පුද්ගලයාට වෙනස් බව පිළිගනිමි.) කෙසේ නමුත් සිංහබාහු මෙරට ප්රේකෂකයන්ගේ නොමද ප්රතිචාර ලැබෙන චිත්රපටයක් නං වනු නොඅනුමානය. සතියේ දිනක රුපියල් දහසක ටිකට් පතක් රැගෙන මා සමගින් එදින මෙය නැරඹු පිරිස දෙසීයකට ආසන්නය. සතියේ දිනක තත්වය එසේ නම් සති අන්තය රුපියල් හරසිය පනහේ ටිකට් පතක් රැගෙන නැරඹිය හැකි සිනමා ශාලාවල් කෙසේ වනු ඇත්ද? ඇත්තෙන්ම සිනමා කර්මාන්තයක් වශයෙන් එය ඉතා හොඳ යැයි ඔනෑම කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් සිනමාව යනු සිනමා ශාලාව ප්රෙක්ශකයන්ගෙන් පිරවීම පමණක්මද?
මාලක ප්‍රභාෂ් විශ්වජිත් සිනමාවේදීන් වෙත ලියූවකි.