ඉන්දු පෙරේරා සුමති පුවත්පත් සමාගමේ 'රැජින' පුවත්පතේ සේවය කළ අවදියේ මතක කතා පෙළක් ලිවීම ආරම්භ කර තිබේ.
එම පළමු කොටස ඇය අද (29) පළ කර තිබිණි.
ලක්බිම පත්තර කන්තෝරුව , එහෙමත් නැත්නම් ඊටත් කලින් තිබුණ විදිහට කිව්වොත් සුමති පත්තර කන්තෝරුව කියන්නේ හරිම නිදහස්, සුන්දර තැනක්. එවැනි තැනක් ලංකාවෙ කොහේවත් තියෙන්නත් නැතුව ඇති, දැනටත් නැතුව ඇති කියලා මම කියන්නේ මට වෙන පත්තර කන්තෝරුවක රැකියාව කරලා අත්දැකීමක් නැති නිසාම නොවෙයි. ඒක අපේ හිටපු ගොඩක් දෙනෙක් කියපු කතාවක් නිසයි. 1992 දි මැයි මාසෙ මම බාහිර ලේඛිකාවක් විදිහට රැජිනට සම්බන්ධ වුණා. 1992 දෙසැම්බර් 01 දා මට රැජින කර්තෘ මණ්ඩලයට ස්ථිර පත්වීමක් ලැබුණා.
ඒ කාලෙ ලක්බිම පුවත්පත් සමාගම හෝ සුමති පුවත්පත් සමාගම නමින් පුවත්පත් සමාගමක් තිබුණේ නෑ. අපි බඳවා ගනු ලැබුවේ "සුමති ප්රකාශකයෝ" කියන සමාගමට. ඒ සමාගම විසින් රැජින කාන්තා පුවත්පත, සරසි සිනමා පුවත්පත, සත්සර සංගීත පුවත්පත, අරලිය යොවුන් පුවත්පත, කුමුදු නව යෞවන යෞවනියන් සඳහා වූ පුවත්පත වශයෙන් පුවත්පත් පහක් කරගෙන ගියා. ඒ අතරේ සංකලන නමින් චිත්ර කතා පත්තරයකුත් ආරම්භ කළත් පසුකලෙක ඒ පත්තරය වැසී ගියා. අන්තර්ජාල පහසුකම් අපේ රටේ නොතිබුණු ඒ කාලෙ, විදෙස් සඟරාවලින් උපුටා ගත් වටිනා ප්රයෝජනවත් ලිපි සිංහලට පරිවර්තනය කර පළ කළ සමුදුර පත්තරේ ආරම්භ වුණේ 1993 දි. එය ඒ කාලේ ඉතාමත් ජනප්රිය පුවත්පතක් වුණා.
මේ සියලු පත්තරවල ප්රධාන කර්තෘවරයා වුණේ ජ්යෙෂ්ඨ මාධ්යවේදී බන්දුල පද්ම කුමාර. ඔහු යටතේ සියලු පුවත්පත්වලට වෙනම කර්තෘවරුන් සිටියා.
1994 දි සුමති පුවත්පත් සමාගම නමින් පුවත්පත් සමාගමක් ලියාපදිංචි කොට එම සමාගම මගින් ඉරිදා ලක්බිම පුවත්පත ආරම්භ කරනු ලැබුවා. ඉන්පසු අපි එම පුවත්පත් සමාගමේ සේවකයන් බවට පත්වුණා. ඉරිදා ලක්බිම ආරම්භ වීමත් සමග බන්දුල පද්ම කුමාර එහි ප්රධාන කර්තෘ පදවියට පත්වීමෙන් අනතුරුව අනෙකුත් පුවත්පත් එවකට හිටපු කර්තෘවරුන් වෙතම පැවරුණා. ඒ අනුව රැජින තිලක් සේනාසිංහ, අරලිය ප්රදීප් කුමාර බාලසූරිය, සමුදුර භාරතී වීරසිංහ, සත්සර ආනන්ද පද්මසිරි කර්තෘවරුන් වශයෙන් දිගටම කටයුතු කළ අතරේ සරසි පත්තරේට එවකට ප්රවීණ සිනමා පුවත්පත් කතුවරයකු වූ ඒ. ඩී. රංජිත් කුමාර බඳවා ගනු ලැබුවා. ඒ හැරුණු විට එහි දිගුකලක් තිස්සේ ප්රවීණ නවකතාකරුවකු සහ ගීත රචකයෙකුද වන ලක්ෂ්මන් මල්ලවාරච්චි කටයුතු කරමින් සිටියා. මගෙ මතකය නිවැරදි නම් මේ වනවිට කුමුදු පත්තරේ නතර කරලයි තිබුණේ.
මම මුලින්ම 1992 දි රැජිනට යන කොට ඒ පත්තර කන්තෝරුව තිබුණු ගොඩනැගිල්ලවත් අද නෑ. කොළඹ 14 ග්රෑන්ඩ්පාස්වල අසෝකා සිනමාහල තිබුණු ගොඩනැගිල්ලේ තමයි අපේ පත්තර කන්තෝරුව තිබුණේ. සිනමාහල එක පසෙකත්, ඒ පැරණි තට්ටු ගොඩනැගිල්ලේ අනෙක් පැත්තේ කර්තෘ මණ්ඩල අංශයත් තිබුණා. එහි පඩිපෙළ නගිනකොට දෙවන තට්ටුවේ වම් අතින් තිබුණේ රැජින, සරසි, සත්සර පත්තර තුනේ කර්තෘ මණ්ඩලය හිටපු ලොකු කාමරය. ඒ කාමරයේ එක පැත්තක තිබුණු තවත් පොඩි කාමරයක මේ පත්තර තුනේ පිටු සකස් කරන පිටු සැලසුම් ශිල්පීන් හිටියා.
ඒ කාලයේ කම්පියුටරයෙන් පිටු සකස් කරලා පිටුව පිටතට ගන්න ක්රමය බිහිවෙලා තිබුණේ නෑ. කර්තෘ මණ්ඩලය මගින් අවශ්ය ලිපි සංස්කරණය කර ටයිප් සෙටින් අංශයට යැවූ පසු කොලමක ප්රමාණයේ පළලට ( සෙ.මී. 4) තීරු වශයෙන් ටයිප් කර, සෝදුපත් කියවීමේ අංශයෙන් ඒ ලිපි කියවා වැරදි තිබේ නම් නිවැරදි කර අවසාන ප්රින්ට්අවුට් එක කර්තෘ මණ්ඩලයට එවනවා. A4 කඩදාසිවල එන ඒ ලිපි, තීරු වශයෙන් කපා පත්තරේ පිටුවේ ප්රමාණයෙන් යුතු බ්රිස්ල් බෝඩ්වල කොලම් වශයෙන් අලවා, ලිපියට අවශ්ය හෙඩිම, පින්තූර යන මේ සියල්ලමත් එකතු කර පිටුව නිර්මාණය කර, පත්තර භාෂාවෙන් කිව්වොත් ලේඅවුට් කර, කර්තෘවරයා අවසන් වරට එය අනුමත කළාට පස්සේ ඒ පිටු මුද්රණය සඳහා අදාළ අංශයට යවනවා.
මේ වැඩවලට නිතර එහාට මෙහාට යන්නේ ඒ ඒ අංශවල හිටපු පියන්ලායි. අපේ අංශයටත් එක එක කාලවලට එක එක පියන්ලා හිටියා. අවුරුදු විසි ගණන්වල මුල් කාලයේ රැජිනෙ පියන් විදිහට ඇවිත් අවුරුදු හතළිස් ගණන්වලදී රැකියාවෙන් ඉවත් ව යනතුරුම අපේ පියන් විදිහට දීර්ඝ කාලයක් හිටපු කෙනා තමයි මාධව. හැබැයි මේ දීර්ඝ කාලය තුළ ඉතාමත් කෙටි කාලයක් වරින් වර සමාගමේ වෙනත් අංශ කීපයකත් මාධව සේවය කළා. කොහේ හිටියත් අන්තිමට මාධව අපේ අංශයට තමයි වැටෙන්නේ.
රැජින කර්තෘ මණ්ඩලයට මම මුලින්ම සම්බන්ධ වුණු කාලයේ කර්තෘ විදිහට තිලක් අයියා හිටියා. කර්තෘ මණ්ඩලයේ හිටියේ මමයි සුගත් ශාන්ත මොරගහකුඹුරයි. ඊට අවුරුද්දකට දෙකකට විතර පස්සේ සුගත් අපෙන් අයින් වෙලා නවලිය පත්තරේට ගියා. මම ගිය මුල් කාලයේ අපේ
ලේඅවුට් ආටිස්ට්ලා විදිහට වැඩ කරපු සුනිල් දයාරත්න සහ පාලිත රණසිංහ ඉරිදා ලක්බිම පුවත්පත ආරම්භ වීමත් සමග එහි පිටු සැලසුම් අංශයට සම්බන්ධ වුණා. ඊට පස්සේ රැජින ලේඅවුට් ආටිස්ට්ලා වුණේ සුරංජිත් ගුණසේකර සහ ක්රිස්ටෝපර් රංජිත්. හැබැයි මේ දෙදෙනාම පත්තරේ පිටු සැලසුම් කරන අතරේ පත්තරේට ලිපිත් ලිව්වා. ඊට අවුරුදු ගාණකට පස්සේ ක්රිස්ටෝපර් වෙනත් රැකියාවක් සඳහා අපේ සමාගමෙන් ඉවත් වී ගියා. තවත් අවුරුදු ගාණකට පස්සේ සුරංජිත් රැජින උපකර්තෘ තනතුරට අනුයුක්ත කරනු ලැබුවා. ඒ වෙනකොට මම රැජින නියෝජ්ය කර්තෘ.
මාධව අපිට ඉතාම හිතවත්. ඒ වගේම හරි අවංකයි. යමක් මතුපිටින් තේරුම් ගැනීම මිස ඒ ගැන ගැඹුරට සිතීමේ ශක්තියක් මාධවට නෑ. කරන වැඩ හින්දා බැනුම් අහන එකේ කෙළවරකුත් නෑ. නමුත් තිලක් අයියාත්, මමත්, සුරංජිතුත්, ක්රිස්ටෝපර් හිටපු කාලයේ ක්රිස්ටෝපරුත් ඇතුළුව අපි හැමෝම මාධවට හරි ආදරෙයි. මාධවත් ඒක දන්නවා.
පත්තර කන්තෝරුවල වැඩ කරන අපට සෙනසුරාදා ඉරිදා හැර වෙනත් කිසිම අමතර රජයේ හෝ වෙළඳ නිවාඩු දිනවලට නිවාඩු නෑ. ඒක පත්තර රස්සාවේ ස්වභාවය. ගෙදර මළ ගෙයක් තිබුණත් මිනිය ඉස්සුවාට පස්සේ පහුවදා ඉඳලා අපි වැඩට යනවා. හත් දවසේ බණ යෙදෙන දවසෙදිත් අපි උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කරලා හවසට ගෙදර එනවා හරියට පිටින් එන අමුත්තෙක් වගේ බණට සහභාගි වෙන්න බලාගෙන. ඊට පස්සේ දානෙ දවසට නිවාඩුවක් ගන්නවා නොගෙන බැරිකමට. එහෙම නැත්නම් කර්තෘ මණ්ඩලයේ අනික් අය ලොකු අපහසුතාවයකට පත් වෙනවා . සිංහල අවුරුද්දට දවස් තුනක් හතරක් නිවාඩු ගන්න අපට පත්තර කලාප දෙකක විතර වැඩ කලින් ඉවර කරන්න සිද්ධ වෙනව.
මේ වගේ සතියේ මැද යෙදෙන නිවාඩු දවසක වැඩට එනකොට ටී ෂර්ට් එකයි කලිසමයි ඇඳගෙන ආපු තිලක් අයියාට එක දවසකදි කලිසමට බෙල්ට් එක දාගන්න අමතක වෙලා. බෙල්ට් එක නැතිවුණා කියලා කලිසම බිමට කඩාගෙන වැටුණේ නැති වුණත් බෙල්ට් එක නැති බව දැන ගත්තට පස්සේ මානසිකව ඒක ලොකු අඩුපාඩුවක් වගේ දැනිලා තිලක් අය්යා ඉඳලා තියෙන්නේ ලොකු අපහසුවක.
" බලනවකො මාධව මට මේ කලිසමට පටිය බඳින්න අමතක වුණානේ. මට නිකන් කලිසම ඇඳලා නෑ නෑ වගේ දැනෙන්නේ. ලණුකෑල්ලක් අරන් බැඳ ගන්න තරම් හිතෙනවා බං"
තිලක් අයියා මාධවට කියලා තියෙන්නේ විහිළුවට. සාමාන්යයෙන් තිලක් අයියා නිතර විහිළු තහළු කරන කෙනෙක්.
ටික වෙලාවකට පස්සේ බලනකොට මාධව නෑ. ඒ කාලේ අපේ බිල්ඩින් එකට ඇතුළු වෙන තැන සිකියුරිටි එකේ හිටියෙ ඕ අයි සී සිල්වා. වැඩි වෙලා ගියේ නෑ සිල්වාගෙන් තිලක් අයියාට කෝල් එකක් ආවා.
" තිලක් මහත්තයා ලණුවක් හෙව්වද?"
" ලණුවක් ?"
" ඔව්, මේ මාධව කිව්වා"
එහෙම කියනකොටම සිල්වාට හයියෙන් හිනාවක් ගිහින්.
" ඕකගෙ අම්මට .......කෝ ඕකා?"
" ඔන්න ඔහෙ පිස්සා වගේ දුවනවා ලණුවක් හොය හොයා"
විනාඩි පහක්වත් ගියේ නෑ ස්ටෝස් එකෙන් කෝල් එකක් ආවා.
" තිලක් මහත්තයා මෙහෙ ලණු නෑනෙ"
ස්ටෝර්ස් එකේ කෙනෙක් උත්තර දුන්නා.
" ලණු ?"
" ඔව් ඇයි තිලක් මහත්තයා කලිසම කඩා වැටෙනවා කියලා බැඳ ගන්න ලණුවක් හොයනව කියල මාධව කිව්වා "
" කෝ දැන් ඕකා ?"
" ස්ටෝස් එකේ ලණු නැති හින්දා ලණුවක් හොයන්න මං හිතන්නේ වෙන කොහාට හරි යන්න ඇති"
දැන් තිලක් අයියා පිපිරි පිපිරී මාධව එනකල් බලා ඉන්නවා. ඒ කාලේ මාධවට හෑන්ඩ් ෆෝන් එකක් තිබුණේ නැති හින්දා කාමරේට එනකල්ම ඉවසන් ඉන්නත් වෙනවා.
තිලක් අයියාගේ මේසය උඩ තිබුණු ලෑන්ඩ් ෆෝන් එක ආයෙත් රිං වුණා. කෝල් එක ආවේ ගිණුම් අංශයෙන්. තිලක් අයියා "හලෝ" කියනකොටම ඒකෙ හිටපු ගෑනු ළමයි කට්ටිය හයියෙන් කිචිකිචි ගගා හිනාවෙන සද්දෙ තිලක් අයියාට ඇහිලා.
" තිලක් අයියේ මෙහෙ ලණු නෑනේ" එක ගෑනු ළමයෙක් එහෙම කියනකොටම අනිත් ඔක්කොම මහ හයියෙන් හිනා වෙන්න පටන් අරන්.
දැන් තිලක් අයියාගේ යකා ඔලුවටත් උඩින් නැගලා ඉන්නේ. ටික වෙලාවකට පස්සේ දාඩිය පෙරාගෙන හති දාගෙන රැජින කාමරයේ දොර ඇරගෙන ආපු මාධව අත මිටි කරලා ගෙනාපු දෙයක් තිලක් අයියාගේ මේසයේ වීදුරුව උඩින් තිබ්බා. ඒ දිග මහත නූලක්.
" ඈ බොල මෝඩයෝ......." එහෙම පටන් ගත්තු තිලක් අයියා නොසෑහෙන්න මාධවට බැණ වැදුනා.
කොච්චර බැන්නත් ඊළඟට ඒ සියලු තරහ මරහ අමතක කරලා හොඳට කතා කරන බව දන්න හින්දම මාධවත් ඒ වෙලාවට බිම බලාගෙන මූණ දික් කරගෙන හිටියට කවදාවත් ඔය බැනුම් ගණන් ගත්තු එකෙක් නෙවෙයි.
මේ සිද්ධිය ලිව්වේ තිලක් අයියාගේ පූර්ණ අවසරය ඇතිවයි.
"රැජින ට ලිව්වා " තුළින් නැවතත් පත්තර කන්තෝරුවේ රස කතාවකින් හමුවෙමු.
මෙවැනි ලිපි පෙළක් ලියන අදහස මගේ සිතේ රෝපණය කළ භාරතී වීරසිංහ සොහොයුරාට ස්තුතියි.
ඉන්දු පෙරේරා