අපි ඉතාමත් ම තරුණ කාලෙ දි තමයි සුදත් ගාමිණී බණ්ඩාර කවීන්ද්රයගෙ, එහෙම නැත්තං ආදරණීය සුදත් අයියගෙ 'උමා' ගේය කවිය අපේ හදවත් ආමන්ත්රණය කෙරුවෙ. සුදත් අයියා කියන්නෙ මාරම බොක්කක්. ඒ තරං මිනිස්සු යහපත් වෙන්නෙ කොහොමද කියලා, පුද්ගලිකව මට තේරෙන්නෙ නෑ.
90 දශකයෙ මුල එක අවුරුද්දක ස්වාධීන සාහිත්ය උළෙලෙ විශිෂ්ටතම ගේය කාව්යය වුණේ සුදත් ගාමිණී බණ්ඩාර ගෙ 'උමා'. ඒ කවිය හෝ ගීතමය රචනාව අපිට කට පාඩම්. තාමත් ඒ මතකය නොවෙනස්. ඒ කියන්නෙ තාමත් කට පාඩම්.
'තුමුල නමුණුකුල ගිරිහිස' කියල පටන් ගන්න "උමා'' ඒ ආසන්න කාලෙක ලස්සන ගීතයක් බවට පත්වුණා. සමන් ජයනාත් ජිනදාසගෙ භාවපූර්ණ හඬ තමයි හඬ. ආනන්ද පෙරේරා ඒකට සංගීතය හදල තිබුණේ පරම රමනීය තනුවක රඳවල. එහෙම තනු තමන් නිමග්න දේශපාලන දෘෂ්ටිවාදයන්ට මේච්චල් කරන්න බෑ. වික්ටගෙ ඇතැම් තනුත් එහෙමයි. කර්ණ රසායන කර්ණාඨක් සංගීත විශ්වයට ඇතුළු වෙද්දි ස්තීරවම දේශපාලන දෘෂ්ටිවාදයන් උලුවස්ස ළඟ තියල යන්න වෙන්නෙ නිරුත්සාහකව.
'උමා' ගැන මතකය මගේ හදවතේ කැලැත්තෙමින් තිබුණෙ මෙන්න මේ හේතුව හින්දා. පවන් අංජන නම් කවි ලියන තරුණ හාදයා සතියකට හමාරකට කලින් 'තාරා' කියල ලිව්ව ඔහුගෙ පළමු ගීතය වට්සැප් කරල තිබ්බා. මං ඒක ඇහැව්වා. ෆීල් වෙන වැඩක්. මං පවන්ට ලියල යැව්වා 'මරු. චාමෙට තියෙනවා. ලස්සනයි' කියලා. 'තාරා' මං නිතර අහන ප්ලේ ලිස්ට් එකට සේව් කර ගත්තා. තාරා කියන්නෙ කොහොමත් මගේ ආත්මය එක්ක බැඳිලා තියෙන නමක්. නමක් ඉක්මවා යන හැඟුමක්.
නමුත් පවන් ලියපු තාරා අහද්දි මට උමා මතක් වෙන එක නවත්තන්න බෑ. මෙලඩියත්, හැඟුම්බර ගැයුමත් ගීත දෙකේම සමාන්තරයි. ඒකමත් නෙමෙයි තාර අහද්දි උමා මතක් වෙන්නෙ. තාරා ගීතයෙ පිවිසුම් පෙළ හින්දා.
උඳුල සඳමඩල විලසින
ඉරා වේදනා කළුවර"
එහෙමයි 'තාරා' ඇරඹෙන්නෙ. උමා ඇරඹෙන්නෙ මෙහෙමයි.
'"තුමුල නමුණුකුල ගිරිහිස
උඳුල සඳමඬල දුටු නෙත
රැවටුණා තමයි'
ඔය උඳුල සඳමඩල යෙදුම මා'තිනුත් භාවිත වුණා. නමුත් වෙනත් සන්දර්භයක කවියකට. කවිය තමයි 'ද්වාරකා'. කවියෙ ආමන්ත්රණය තිබ්බෙ එකල අන්තරේ කැඳවුම්කාර උදුල් ප්රේමරත්නට. හැබැයි මේ යෙදුම නිරුත්සාහකව මතුවුණේ උමා කවිය සන්තානගතව තිබ්බ හින්ද කියලයි මං හිතන්නෙ. ඒක පටන් ගන්නෙ මෙහෙමයි."උදුල සඳමඩල සැතපුණ හිරගෙදර
කඳුළු සියුමැලිද රිදුණිද හද මඬල"
සමහර කවීන් නිර්මාණය කරන යෙදුම් සහ රූපක තියෙනවා , ඒවා පසුකාලීනව ඒ සමස්ත භාෂාවෙම යෙදුම් සහ රූපක බවට පත්වෙනවා.
මං හිතනවා පවන්ට නිරුත්සාහකව හරි මේ භාෂා යෙදුම බලපාන්න ඇති කියලා. ඒක ලිවීමෙදි සාමාන්ය දෙයක්. එහෙම වෙනවා. කොහොම වුණත් 'තාරා' විඳගන්න මේ කිසිඳු මතකයක් බාධාවක් නෙමෙයි. මේ සටහන ෆේස් බුක් පිටුවෙ ඇඩ්මින්වරයට වට්සැප් කරල, මං ආයෙ වතාවක් 'තාරා' අහන්නයි හදන්නෙ.
(වෙනත් කාරණා දෙකක් ;
1. මං 'තාරා අහපු තුන්වැනි දවසෙ 'උමා' ගැනත් සඳහන් කරමින් යමක් ලියන්න ඕනි කියල හිතුවා. මගේ මනසේ හෝ හදවතේ රිදම් එකට වඩා 'ඇල්ගො රිදම්' එක බලවත්. ' ' තාරා'හිටපු ලයින් අප් එකේ ගීත කිහිපෙකට පහලින් මෙන්න 'උමා'. ඒක කාගේ චැනල් එකද මතක නෑ විෂුවල්ස් වල හිටියෙ පූජා උමාශංකර්.
2. අපි කොහොමත් සිංදු අහන්න පුරුදු වෙච්ච පරම්පරාවක මිනිස්සු. රූපවාහිනිය ලංකාවට ආව කාලෙ MTV එකේ Music වීඩියෝස් තමයි මුලින්ම අපි දැක්කෙ. ඒ කාලෙ ඉංග්ලිසියෙන් අහපු සමහර සිංදු විෂුවල්ස් එක්කම තාම මතකයි. ඔරිජිනල් විෂුවල්ස් විදිහට තිබ්බෙ නන්දන-වින්දන වගේ වැඩ සටහන් වලට ආර්ටිස්ට්ල ගෙන්නල ස්ටූඩියෝ එක ඇතුළෙ සිංග් කරද්දී ගත්ත රූප. යූ ට්යූබ් වගේ දේ නොතිබ්බ, රූප රචනා කලාවකුත් නොතිබ්බ සමයක ජාතික රූපවාහිනියෙ 'යාත්රා' වැඩසටහනේ 'උමා' රමනීය රූපාවලියක වෙලී මතුවුණා. මගේ මතකය නිවැරදි නම් අප මිත්ර සමන් ජයනාත් එක්ක විෂුවල්ස් වල 'උමා'ට පෙනී උන්නී චමිලා වික්රමසිංහ. අප මිත්ර සෙනේෂ් දිසානායක බණ්ඩාර තමයි ඒ පුරෝගාමී වැඩේ කළේ. මෙහෙම සටහනක් ඇතුළෙ සෙනේෂ්ව මෙනෙහි නොකර යන එක මරනීය පාපයක්)
- මංජුල වෙඩිවර්ධන