රැජිනට ලිව්වා ෴෴෴ 2 කොටස
රැජිනට ලිව්වා පසුගිය කොටස කියවපු මගේ හිතමිත්ර ප්රවීණ මාධ්යවේදී ජයසිරි ජයසේකර මෙහෙම කතාවක් කිව්වා.
" විහිළුවට එහා ගිය ලොකු ඉතිහාස කතාවක් ඒකෙ තියෙනවා. බොහෝ විට ඒක කවදාවත් නොලියවෙන්න ඉඩ තිබුණ එකක්. මේවා මෙහෙම හරි ලියවෙන එක ගොඩක් හොඳයි "
ජයසිරි කිව්වා වගේ මම අද කතාව පටන් ගන්නේ මම නොදන්න කාලෙ අතීතයෙන්. නොදන්න අතීතයෙන් දන්න අතීතයට එන එක හොඳයි කියල හිතුණා. හේතුව, දන්න අතීතයට එන්න නොදන්න අතීතය හොඳ මාවතක් පෙන්වන නිසයි.
රැජින පත්තරේ ආරම්භ කරල තියෙන්නේ 1986 අවුරුද්දේ සැප්තැම්බර් 15 වෙනිදා. ඊට කලින් 1983 දි සරසි පත්තරයත්, ඊටපසුව 85 දි සත්සර පත්තරයත් ආරම්භ කර තිබෙනවා. බන්දුල පද්ම කුමාර මහත්තයා, එහෙම නැත්නම් හැමෝම කියන විදිහට බන්දු මහත්තයා මේ කාලයේ මල්ටිපැක්ස් ආයතනයෙන් පළ කළ කුමරි පත්තරේ කර්තෘ. කුමරි පත්තරේ කර්තෘ මණ්ඩලයේ ධර්මරත්න පෙරේරා, කුමාර සිරිවර්ධන, ජෙහාන් නවාස් වගේම දිවයින පත්තරෙන් ඉවත් වී "කුමරි"යට එක්වූ ප්රදීප් කුමාර බාලසූරියත්, තිලක් අය්යාත් ( තිලක් සේනාසිංහ ) සේවය කරමින් හිඳ තිබෙනවා. ඒ වගේම එවකට විශ්ව විද්යාල ශිෂ්යයන් ව සිටි ප්රණීත් අභයසුන්දර, උපුල් ශාන්ත සන්නස්ගල, ධම්මික බණ්ඩාර, ලලිත ප්රියංකර ඇතාකඩ ත්, අනුර හොරේෂස්, ගැමුණු රත්නායක, සුදේශ් කරුණාතිලක වැනි අයත් ඔවුන්ගේ මාධ්ය ජීවිතයේ මුල්ම යුගයේ කුමරි පත්තරේට බාහිර ලේඛකයන් වශයෙන් සම්බන්ධ වී හිඳ තිබෙනවා.
බන්දු මහත්තයා කුමරි පත්තරේ රාජකාරී කටයුතු කරන අතරේම මල්ටිපැක්ස් ආයතනයෙන් විශේෂ අවසරයක් ගෙන සමාධි ප්රකාශන නමින් වෙනමම පුවත්පත් ආයතනයක් ලියාපදිංචි කර එමගින් තමයි මුලින් ම සරසිත්, ඊළඟට සත්සරත්, ඉන්පසු රැජිනත් ආරම්භ කර තිබෙන්නේ. මේ පුවත්පත් මුද්රණය කළේ සුමති ප්රකාශකයන්ට අයත් මුද්රණාලයේයි.
මේ පත්තර තුන පවත්වාගෙන යන්න වෙනම කාර්යාලයක් එකල තිබිල නෑ. මල්ටිපැක්ස් ආයතනයේ කුමරි පත්තරේ කරන අතර තුර මේ පත්තර තුනත් එම කාර්යාලයේ ම ඒ කර්තෘ මණ්ඩලයේ අයම කරගෙන ගොස් තිබෙනවා.
මේ පුවත්පත් තුනේම ප්රධාන කර්තෘවරයා ලෙස බන්දු මහත්තයා ඉන්න අතරේ සරසි පත්තරේ කර්තෘ (විශේෂාංග ) ලෙස පත් කර ගත්තේ එවකට ප්රවීණ සිනමා පුවත්පත් කලාවේදියෙකු වූ අර්නස්ට් වඩුගේ යි. සත්සර ආනන්ද පද්මසිරිට පවරා තිබුණා. රැජින පත්තරේට මුලින්ම බන්දු මහත්තයා සම්බන්ධ කරගත්තේ ප්රවීණ ලේඛිකා සහ මාධ්යවේදිනී අනුල ද සිල්වා මහත්මියයි. එවකට සති දෙකකට වරක් වශයෙන් එළිදැක්වූ රැජිනෙහි මුල් කලාපය පමණක් කළ අනුල ද සිල්වා ඉන් ඉවත් වී තිබුණා.
" තිලක් ඔයා රැජිනෙ වැඩ ටික බලා ගන්න"
බන්දු මහත්තයා ඒ කටයුත්ත තිලක් අයියාට පැවරුවත් තිලක් අයියා එය ප්රතික්ෂේප කර තිබෙනවා.
" බන්දු අයියේ මම කාන්තා පත්තරයක් කරනවා තියා අතින්වත් අල්ලලා නෑ. මට මේක කරන්න බෑ"
" හරි හරි මල්ලි ඔයා සති දෙක තුනක් කරන්නකො. මම කවුරු හරි වෙන කෙනෙක් හොයා ගන්නව ඔය පත්තරේ කරගෙන යන්න . එතකල් සති දෙක තුනකට මේක බාර අරගෙන මට කරල දෙන්න"
එවකට තම ප්රධානියා වශයෙන් කටයුතු කළ බන්දු මහත්තයාගේ ඒ ඉල්ලීම ප්රතික්ෂේප කරන්නට තිලක් අයියා ට හැකිවී නෑ . ඉන්පසු රැජින කරගෙන යන අතරේ තිලක් අයියා වරින්වර රැජිනට වෙනත් කර්තෘ කෙනෙක් බඳවා ගන්නා ලෙස බන්දු මහත්තයාට කන්කෙඳිරි ගෑවත් ඒ හැම විටෙකම බන්දු මහත්තයා
" තිලක් මට වැඩ තියෙනවා,වද නොදී මෙතනින් යන්න" වැනි කුමක් හෝ දෙයක් කියා රැජින පත්තරේට කර්තෘවරයකු සෙවීම හිතාමතාම හෝ අතහැර දමා තිබෙනවා. ඒ වනවිට රැජින පත්තරේ අලෙවිය සීග්රයෙන් ඉහළ ගොස් තිබීම ඊට හේතුව වෙන්න ඇති. පසුව තිලක් අයියා ඉබේම වාගේ රැජිනට හුරු වී ඇති අතර, සිදුවූයේ ඒ සති දෙක තුන අවුරුදු තිහක් දක්වා දීර්ඝ වීමයි. 2019 ජූනි 31 දා ලක්බිම පුවත්පත් සමාගම වසා දමන විට රැජිනට වයස අවුරුදු තිස්තුනක් පිරෙන්නට තව තිබුණේ මාස තුනකටත් අඩු කාලයක් . ඒ තිස්තුනෙන් අවුරුදු තිහක් ම තිලක් අයියා රැජිනේ කර්තෘ වී සිටියා. ඉන්පසු 2016 සැප්තැම්බර් 16 දා රැජිනට අවුරුදු 30 පිරෙන දවසේ එහි කර්තෘත්වය මට පැවරුණා. 2019දී ලක්බිම පුවත්පත් සමාගම වසා දමන තුරුම ඉන්පසු රැජින කර්තෘ වශයෙන් කටයුතු කළේ මමයි.
දැන් අපි ආයෙත් අතීතයේ නතර කළ තැනට යමු.
මේ අතරේ බන්දු මහත්තයා තම පත්තර තුන සුමති ප්රකාශකයෝ සමාගමට පවරා තිබුණා. එම පත්තරවල ඒ වන විට රාජකාරී කළ සේවකයන් සමඟම මෙම පත්තර තුන පවරා ගන්නට සුමති ප්රකාශකයෝ අධිපති තිලංග සුමතිපාල මහත්තයා එකඟ වූ බවත්, ඒ සමගම යෞවන යෞවනියන් සඳහා ම අලුත් පුවත්පතක් ආරම්භ කරන්නට සාකච්ඡාවක්ද ඇති වූ බවත්, එය සාර්ථක වූ බවත් තිලක් අයියලා ට කියා තිබුණේ බන්දු මහත්තයා යි.
" මල්ලි, අපි තවදුරටත් මෙතන ඔෆිස් එකේ ඉඳන් ඒ පත්තරවල වැඩ කරන්න ඕන නෑ. අපිට ඔෆිස් එකක් හම්බවෙනවා. යමුකො පොඩ්ඩක් මාත් එක්ක ඒක බලන්න "
ඊට පසුදිනෙක බන්දු මහත්තයා තිලක් අයියාට යෝජනා කර තිබෙනවා.
අසෝකා සිනමාහලට යාබදව වසා දමා තිබූ මේ පැරණි ගොඩනැගිල්ල බලන්නට බන්දු මහත්තයාත්, තිලක් අයියාත් ගොස් තිබුණේ ඊට ආසන්න දිනයකදීමයි. දූවිල්ලෙන් සහ මකුළු දැල්වලින් පිරී තිබූ ඒ ගොඩනැගිල්ල සෑහෙන කාලයක් විවර කර නොතිබූ බවට එයම සාක්ෂියක් වුණා. බන්දු මහත්තයාත්, තිලක් අය්යාත් දූවිලිවලින් නැහැවී ගිය අත් වැටක් සහිත පඩිපෙළේ උඩට නැග දෙවන මහලට යන විට එහි අසෝකා සිනමාහලේ සේවකයන්ගේ රෙදි දැමූ රෙදි වැල්, චිත්රපට ප්රචාරක දැන්වීම් ඇඳීමට ගෙනා තීන්ත බාල්දි, බුරුසු, හිස් තීන්ත ටින්, කාඩ්බෝඩ්, පැරණි චිත්රපට ප්රචාරක පුවරු වැනි නොයෙකුත් දෑ ගොඩ ගසා තිබෙනු ඔවුන්ට දැක ගත හැකි වුණා. මේ ගොඩනැගිල්ලට පිටතින් ඇතුළු වීම සඳහා දොරක් තිබුණේ අසෝකා සිනමාහලට වම් පසිනුයි. බොහෝ කාලයකින් එම දොර විවර කර තිබූ බවක් නොපෙනුණත්, අසෝකා සිනමාහල ඇතුළෙන් මේ ගොඩනැගිල්ලට පිවිසීමේ හැකියාවක් තිබුණා. ඒ මෙය එම සිනමාහල් ගොඩනැගිල්ලේම කොටසක් වූ නිසයි.
මේ විදිහට 1987 වැනි කාලයක කුමරියෙන් ඉවත් වී මේ පත්තර තුනේ කර්තෘ මණ්ඩලය ඇතුළු තවත් සෑහෙන පිරිසක් බන්දු මහත්තයා සමඟ සුමති ප්රකාශකයෝ ආයතනයට සම්බන්ධ වුණා. අසෝකා සිනමාහල් ගොඩනැගිල්ලේ පිහිටුවනු ලැබුවේ පත්තර තුනේ කර්තෘ මණ්ඩලය සහ පිටු සැලසුම් අංශය යන අංශ දෙක පමණයි. සුමති මුද්රණාලය ඇතුළු තවත් අංශ ගණනාවක් අසෝකා සිනමාහලට පිටුපසින් තිබූ ගොඩනැගිලිවල පිහිටා තිබුණා. ටයිප් සෙටින් අංශය බම්බලපිටියේ සුමති ප්රධාන කාර්යාලය පිහිටි මහල් ගොඩනැගිල්ලේ තමයි ඒ වනවිට තිබුණේ.
අලුත් පත්තර කන්තෝරුවට පැමිණි පසු අරලිය පත්තරය ආරම්භ කරනු ලැබුවා. අරලිය පාඨකයන් ඉතා ආදරයෙන් වැළඳගත් යොවුන් පුවත්පතක් බවට පත් වුණේ කෙටි කලක් තුළදී මයි. ඒ වගේම මුලදී දෙසතියකට වරක් වශයෙන් පිටවූ රැජින පත්තරේ සතිපතා පිටවෙන කාන්තා පුවත්පතක් බවටත් පත් වුණා සරසි , සත්සර, රැජින , අරලිය පත්තර හතරම මේ කාලයේ ඉතා ඉහළ අලෙවියක් පැවති පුවත්පත් වී තිබුණා.
තිලක් අයියා රැජින කර්තෘ වශයෙන් කටයුතු කරන අතරේ මුල් යුගයේ එහි සහකාර කර්තෘ වුණේ ලක්ෂ්මන් ( ලක්ෂ්මන් මල්ලවාරච්චි ) අය්යායි. අර්නස්ට් වඩුගේ සරසි පත්තරෙන් සමුගෙන යාම නිසා බන්දු මහත්තයා සරසි පත්තරේ කරගෙන යන්න ලක්ෂ්මන් අයියාට පැවරුවා. ඉන්පසු ටික කාලයක් රැජින උප කර්තෘ ලෙස සෑම් පෙරේරා කටයුතු කර තිබුණා. ඔහුගේ ඉවත් වීමෙන් පසු රැජිනට එක් වූයේ අනුර එස්. පී. පෙරේරා සහ පද්මිනී කිඳෙල්පිටිය යි.
අනුර ගැන කතා කරන විට විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. ප්රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහත්තයා පළමුවෙන්ම පුවත්පත් මාධ්යයට ආවේ රැජින පත්තරෙන්. "කන්දඋඩරට රජවාසල භෝජනයක රහ බලමු " නම්වූ ඒ ලිපිය අනුර, ගල්කිස්ස මහ හෝටලයට ගොස් පබිලිස් සිල්වා මහත්තයා හමුවී සාකච්ඡා කර රැජිනට ලියා තිබුණා. ඒ කාලයේ සිරස ටීවී තිබුණේ නෑ. එම් ටී වී නමින් තිබූ එම චැනලයෙහි නිෂ්පාදකවරයෙකු වශයෙන් කටයුතු කළ සනත් නන්දන රැජිනෙහි මේ ලිපිය දැක තිලක් අයියාට කතා කර තිබුණා. එම් ටී වී චැනලයෙන් විකාශය කළ "ලියතඹරා" නම් වැඩසටහනෙහි එක් අංගයකට සනත් නන්දන ඉන්පසු පබිලිස් මහත්තයාව සම්බන්ධ කර ගත්තා. පබිලිස් මහත්තයාගේ මුල්ම රූපවාහිනී වැඩසටහනත් එය බව සැලකෙනවා. අනුර ඉන්පසු පබ්ලිස් මහත්තයාගෙන් සූප ශාස්ත්ර ලිපි ගණනාවක් රැජිනට දිගින් දිගටම ලිව්වා. මේ කාලයේ තමයි බාහිර ලේඛිකාවක් විදිහට මම රැජින පත්තරේට සම්බන්ධ වුණේ. මම රැජිනට ඒ විදිහට සම්බන්ධ වෙන කාලයේ මනෝජ් රත්නායක, නිශානි දිසානායක, ප්රියන්ත ගලගෙදර වගේම මට නම් වශයෙන් මේ මොහොතේ මතකයට නොනැගෙන තවත් බොහෝ දෙනෙක් බාහිර ලේඛක ලේඛිකාවන් වශයෙන් රැජිනට සම්බන්ධ වී සිටියා.
සත්සර දිගටම කරගෙන ගියේ ආනන්ද පද්මසිරි.
අරලිය කර්තෘ තනතුර දැරුවේ ප්රදීප් කුමාර බාලසූරිය. ඔහු සමග එහි ජෙහාන් නවාස් සිටියා.
මේ අතර කුමක් හෝ හේතුවක් මත අනුර එස්.පී. පෙරේරාට රැජිනෙන් සමු ගැනීමට සිදු වුණා. ඒ අතරේ පද්මිණී කිඳෙල්පිටියට ග්රාම නිලධාරිනියක ලෙස රජයේ රැකියාවක් ලැබීම නිසා ඇය ද රැජිනෙන් ඉවත් ව ගියා. ඉන්පසුව තමයි රැජින කර්තෘ මණ්ඩලයට මාව නිර්දේශ වුණේ. මම ඇවිත් මාස කීපයකට විතර පස්සෙ සුගත් ශාන්ත මොරගහකුඹුර රැජින කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වුණා.
මට මතක විදියට කුමුදු පත්තරේ මේ කාලෙ වහලා දාලා.
සමුදුර ආරම්භ වුණේ මා එහි ගොස් මාස ගණනකට පසුවයි.
මේ පත්තර ඉතාමත්ම හොඳින් ඒ ඒ කර්තෘවරුන් විසින් කරගෙන ගිය නිසා ඔවුන්ට ඒ සඳහා නිදහස දුන්නා මිස බන්දු මහත්තයා කවදාවත් අනවශ්ය ඇඟිලි ගැහීම් කළේ නෑ. තවත් බොහෝ බාහිර වැඩකටයුතු සමඟ සම්බන්ධ වී සිටි බන්දු මහත්තයා වරින් වර කාර්යාලයෙන් පිටතට යෑම සාමාන්ය සිද්ධියක් වී තිබුණා.
පසුගිය කොටසේදීත් මා පැවසූ පරිදි රැජින, සරසි, සත්සර කර්තෘ මණ්ඩලය එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ වම් පස පිහිටි අතර එම මහලේම දකුණු අත පැත්තේ එම කාමරයට මුහුණ ලා අරලිය සහ සමුදුර කර්තෘ මණ්ඩලයත් ඒ පත්තරවල පිටු සැලසුම් අංශයත් තිබුණා.
විවිධ අවශ්යතාවයන් සඳහා බන්දු මහත්තයා කන්තෝරුවෙන් එළියට යන විට අපි හිටපු අංශයේ දොර බාගෙට විවර කර එබී බලා
" මල්ලි මම අහවල් දිහාට ගිහින් එන්නම්. පත්තරේ වැඩ ටික බලාගන්න" යනුවෙන් තිලක් අයියාටත්, ලක්ෂ්මන් අයියාටත් පොදුවේ පැවසීම බන්දු මහත්තයාගේ සිරිතක්. බන්දු මහත්තයා එළියට යන වෙලාවල් බොහොම වුවමනාවෙන් බලාගෙන හිටපු දෙන්නෙක් හිටියා. ඒ තිලක් අයියයි ප්රදීපුයි. බන්දු මහත්තයා එළියට යන හැම දවසකම නොවුණත්, එහෙම ගිය ඇතැම් දිනවලදී ඒ කියන්නේ, සතියකට හමාරකට සැරයක් දවල් එකොළහට විතර තිලක් අයියාත්, ප්රදීපුත් කොස්ගස් හන්දියේ බාර් එකට ගියා. හරියටම බන්දු මහත්තයා කන්තෝරුවෙන් පිටවී විනාඩි දහයකට විතර පස්සේ ප්රදීප් රැජින කාමරයේ දොරෙන් එබී බලා "යමං" යනුවෙන් තිලක් අය්යාට කතා කරනවා. ඉන්පස්සෙ තිලක් අයියා ප්රදීප් සමඟ පිට වෙනවා. නමුත් මේ ගමන් නිසා රැජිනෙවත් අරලියේවත් වැඩ පාඩු වුණේ නම් නෑ. පත්තර දෙකේ කර්තෘ මණ්ඩලයේ අනික් අයට වැඩ පවරලා තමයි මේ දෙන්නා පිටවුණේ. ඉඩක් ලැබුණොත් මේ ගමනට සරසි පිටු සැලසුම් අංශයේ සිටි අජිත් රවීන්ද්රත් සම්බන්ධ වුණා. සමහර දවස්වලට තවත් එක එක අය ඒ ඒ වෙලාවට සම්බන්ධ වූ බව මතකයි. ඒත් නම් වශයෙන් කියන්න නම් මතකයක් නෑ.
තිලක් අයියලා ආපහු ඔෆිස් එක ඇතුලට එන්නේ දවල් දෙකට, තුනට විතර.
කොහොම හරි බන්දු මහත්තයා තිලක් අයියලාගේ මේ ගමන ගැන දැනගෙන තිබුණා. රාජකාරී වෙලාවෙදි බොන්න එපා කියලා බන්දු මහත්තයා කීප වතාවක් ම තිලක් අයියලාට අවවාද කළා .
" ඔයගොල්ලො මෙහෙම බීල ඉන්නවා කියලා ටොප් මැනේජ්මන්ට් එක දැන ගත්තොත් කොච්චර නරකද? මම මෙතනින් ගියා විතරයි ඔයගොල්ලො නෑ කන්තෝරුවෙ. බලන්න කොච්චර නරක වැඩක්ද කියලා"
බන්දු මහත්තයා මේ වගේ දේවල් කිව්වට තිලක් අයියලාට ඒකෙ වගක් තිබුණේ නෑ. සමහර දවස්වල තිලක් අයියයි ප්රදීපුයි බාර් එකේ ඉඳලා එනකොට බන්දු මහත්තයා ඔෆිස් එකට ඇවිත්. බන්දු මහත්තයාගේ කාර් එක ඔෆිස් එක ඉස්සරහ නතර කරලා තියෙනවා දකිනකොට තිලක් අයියලාට හීන් දාඩිය දානවා. ඊට පස්සේ අසෝකා හෝල් එකේ බාර් එකට ගිහින් චෙස්ටෝ ටොෆි කාලා පුළුවන් තරම් කට හෝදලා උඩට එනවා. තමන් ගිය ගමන ගැන ඒ දෙන්නා බන්දු මහත්තයාට මොනවා හෝ කියා කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරන වෙලාවලුත් තියෙනවා. නමුත් කිසි දවසක බීලා ඉන්නකොට කතා කරන්න බන්දු මහත්තයා කැමති වුණේ නෑ.
" යන්න යන්න යන්න තිලක් යන්න. හෙට එන්න "
එලෙස කියමින් බන්දු මහත්තයා තිලක් අයියලාව මග ඇරලා යනවා.
කොහොම වුණත් මේ දෙන්නගේ මේ පුරුද්ද නැති කරන්න ඒ දවස්වල බන්දු මහත්තයා ගත්තු උත්සාහයන් සාර්ථක වුණේ නෑ. බැරිම තැන බන්දු මහත්තයා තිලක් අයියලාට මෙහෙම කියලා තිබුණා.
" මල්ලි ආයෙ තව එක දවසක් හරි බීලා මෙහාට ආවොත් මම මෙහෙන් ඉල්ලා අස්වෙනවා. මම ඉන්නවාට කැමති නම් ඔයාලා ඔය ඔෆිස් වෙලාවෙ බොන එක නවත්තන්න"
බන්දු මහත්තයා තමන් යටතේ වැඩ කළ අයට පොළොවෙ අඩි හප්පමින් කෑගහන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තිලක් අයියලාත් බන්දු මහත්තයා කෙරෙහි ආදරයක්, ගෞරවයක් තිබුණා වුණත් එයා කියන දේවල් ලොකුවට ඔළුවට ගත්තේ නෑ.
දවසක් මේ විදිහට උදෙන්ම එළියට ගිය බන්දු මහත්තයා වේලාසනින් ආවා. වෙනද වගේ කන්තෝරුව ඉස්සරහ කාර් එක නවත්තන්නෙ නැතුව කන්තෝරුව පිටිපස්සේ වාහනේ නවත්තලා උඩට ඇවිත්. එනකොට තිලක් අය්යයි, ප්රදීපුයි කන්තෝරුවෙ නෑ. ඒ දෙන්නා කොහෙද ගියේ, කීයටද ගියේ කියල බන්දු මහත්තයා පියන්ලගෙන් අහගන්න ඇති. පියන්ලත් හරි තොරතුරු දැන හෝ නොදැන කටට එන උත්තර දෙන්නත් ඇති. බන්දු මහත්තයා තමන්ගේ කැබින් එකේ වාඩි වෙලා හිටියා. මේ කාලෙ මොබයිල් ෆෝන් කියල ජාතියක් අපේ රටේ තිබුණේ නෑ . ලෝකෙවත් තිබුණද දන්නෙ නෑ. ඔය අතරෙ ප්රදීප් ටිකක් අපහසුවෙන් වගේ ඇවිද ගෙන කන්තෝරුව ඇතුළට ආවා. එතකොට තමයි ප්රදීප් දැන ගත්තේ බන්දු මහත්තයා ඇවිත් බව. බන්දු මහත්තයාට කේන්ති යන්න ඇති. ඒත් ප්රදීප්ට වචනයක්වත් කිව්වෙ නෑ. බන්දු මහත්තයා කෙළින්ම ගියා රැජින, සරසි කර්තෘ මණ්ඩලය ඉන්න කාමරේට. ලක්ෂ්මන් අයියා තමන්ගේ සීට් එකේ ඉඳන් වැඩ.
" බලන්නකො ලකී, මම මුන් දෙන්නට කිව්වා ආයෙ කන්තෝරුව වෙලාවෙ ගිහින් බීලා ආවොත් මම ඉල්ලා අස් වෙනවා. මම ඉන්නවට කැමති නම් බොන්න එපා කියල. වෙනද 11ට බාර් එකට යන උන් අද උදේ ඉඳල බොන්න පටන් අරන්නේ...."
බන්දුල පද්මකුමාර කිරි උතුරවා කාර්යාල කටයුතු ඇරඹීම (වමේ සිට දකුණට)අර්නස්ට් වඩුගේ, තිලක් සේනාසිංහ, සුදේශ් කරුණාතිලක, ආනන්ද පද්මසිරි, ලක්ෂ්මන් මල්ලවාආරච්චි, ජගත් ජයසුන්දර, ආනන්ද ප්රේමලාල්, උපුල් ශාන්ත සන්නස්ගල, ප්රදීප් කුමාර බාලසූරිය
බන්දු මහත්තයා බොහොම කනස්සල්ලෙන් වගේ කියනකොට ලක්ෂ්මන් අයියා නිරුත්තර වුණා. බන්දු මහත්තයා ඒ ටික කියපු ආකාරය අනුව මූණට සිනාවක් නැගුණත් ලක්ෂ්මන් අය්යා බන්දු මහත්තයාට නොපෙනෙන්න ඒ සිනාව සඟවාගෙන.
කොහොම වුණත් ප්රදීප් උඩට ඇවිත් දැන් ටික වෙලාවක්. තිලක් අයියා නෑ. "එහෙනම් තිලක් බොන්න නෙමෙයි වෙන කොහෙ හරි ගිහින් වෙන්න ඇති" කියලා බන්දු මහත්තයා බොහොම සතුටින් උපකල්පනය කරන්න ඇති.
" හැබැයි ලකී අද එකයි ගිහින් තියෙන්නෙ නේද . අනිකා ගිහින් නෑ වගේ "
බන්දු මහත්තයා කියනකොටම ලක්ෂ්මන් අයියාට අර කලින් නැගුණු පුංචි හිනාව තව දුරටත් සඟවා ගන්න බැරි වෙලා.
" මොන පිස්සුද බන්දු අයියේ, අන්න මිනිහා හොඳටම වැඩි වෙලා පඩිපෙළ නැග ගන්න වාරු නැතුව පඩිපෙළේ වැට බදාගෙන ඉන්නව "
ලක්ෂ්මන් අයියා එහෙම කියනකොටම කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන බිම බලාගෙනම බන්දු මහත්තයා එතැනින් පිටවෙලා ගිහින් . ඒ වෙලාවේ බන්දු මහත්තයාට ඇති වුණු හැඟීම මොකක්ද කියන්න අදටත් කවුරුත් දන්නෙ නැතුව ඇති.
මේ පළවෙන දුර්ලභ ඡායාරූපය සපයා දුන් තිලක් අයියාටත්, මෙම ලිපි පෙළ ලිවීමට මුලින්ම අදහස දුන් භාරතී වීරසිංහ සොයුරාටත් ස්තුතියි.
- ඉන්දු පෙරේරා