lan englan tam

පුවත්

වියැකී යන පරපුරක ගුරුන්නාන්සේ කෙනෙකුගේ කතාව 'ශේෂ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වියැකී යමින් පවතින පාරම්පරික නර්තන කලාව රැකගන්නට තවමත් වෙර දරන ගුරුන්නාන්සේ කෙනෙකුගේ ආදරණීය කතාවයි 'ශේෂ' යනුවෙන් සටහන් කරමින් 'සිළුමිණ' රසඳුන අතිරේකයේ පසුගියදා 'ශේෂ' චිත්‍රපටය ගැන විශේෂාංගයක් පළ කර තිබුණේ පුවත්පතේ විශේෂාංග රචිකාවියක වන නාමලී ගමගේ විසිනි.

 

පසුගිය දා ප්‍රංශයේ පැවැති Cannes World Film Festival හි Best Dance Film කැටගරි එක යටතේ ඉසුරු ගුණතිලක විසින් නිර්මාණය කරන ලද ශේෂ සිනමාපටය හොඳම නර්තන සිනමාපටය ලෙස සම්මානිත විය. එය අපට ආවේණික සාම්ප්‍රදායික නර්තනය මූලික කරගෙන නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මින් පෙර ද නර්තනය පාදක කරගෙන සිනමා නිර්මාණ බිහිවී තිබුණ ද නර්තනය පමණක් මූලික කරගෙන නිපදවනු ලැබූ ප්‍රථම සිනමාපටය ලෙස මෙය සිනමා ඉතිහාසයට එක්වනු ඇත. ශ්‍රී ලාංකේය නර්තනයේ සන්නාමයක් බවට පත්ව සිටින ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහයන් ප්‍රථම වරට ප්‍රධාන චරිතයකින් එක් වන මෙම සිනමාපටය සඳහා දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් දායක වී තිබේ. අපට උරුම අපේ සංස්කෘතික අංගයන් ලොවටම විවෘත කෙරෙන මෙම සිනමාපටය විදේශීය විනිශ්චය මණ්ඩලයකගේ අවධානයට ලක්ව තිබීම ශ්‍රී ලාංකේය අපට ද මහත් ආඩම්බරයකි. ශේෂ සිනමාපටය ලද සම්මානය පිළිබඳ අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක අප හා පැවසුවේ මෙවැන්නකි.

ශේෂ කියන්නේ තනිකරම නර්තනය මූලික කරගෙන හැදුන සිනමාපටයක්. අපේ දෙයක් අපේ රටෙන් එළියට ගෙනියන්න තියෙන හොඳම විදිහ ගැන කල්පනා කරද්දි මට මතක් වුණේ අපේ සංස්කෘතික අංගයක් වන සාම්ප්‍රදායික නර්තන කලාව. අපේ රටේ දෙයක් වෙනත් රටකට ගෙනයන්න පුළුවන් හොඳම මාධ්‍ය නර්තනය. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ නුවර පෙරහර මුළු ලෝකෙම අවධානයට යොමුවුණු සංස්කෘතික අංගයක්. විදේශිකයන් හරිම කැමතියි ලාංකේය සංස්කෘතියට. එහෙම හිතද්දි තමයි ශේෂ තුළට මේ නර්තනය ඇතුළු වෙන්නේ. ශේෂ සිනමාපටයේ අධ්‍යක්ෂ විදිහට මට ගොඩක් සතුටුයි අපේ දෙයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වෙලා මේ වගේ සම්මානයකින් අගය කිරීම ගැන.

රටක් වශයෙන් ඉදිරියට යද්දී රටේ සංස්කෘතිය ඉතාම වැදගත් සාධකයක්. සංස්කෘතිය රැකගැනීම ඕනෑම රටක ප්‍රධාන වගකීමක්. ඒක නීතිරීති දාල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හෙළ ප්‍රෞඬ ඉතිහාසයක් හිමි අපට ඉතිහාසයේ ඉඳන්ම පැවත එන අපේ මේ සාම්ප්‍රදායික නර්තනය වර්තමානය වෙද්දි ගිලිහෙමින් තියෙන්නෙ. පාරම්පරික නර්තන පරම්පරාවල්, ගුරුන්නාන්සේලා වගේම අදටත් නර්තනයට ආදරය කරන පිරිස හරිම අල්පයි. අන්න ඒ අල්පය ආරක්ෂා කරලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න අණපනත් පිහිටුවල නෑ. අපිමයි රැක ගත යුත්තේ. ඉස්සර නම් පරම්පරාවෙන් පරම්පරාවට උරුමයක් විදිහට මේ නර්තන කලාව අරගෙන ආවත් අද වෙද්දි එය ක්ෂය වේගෙන යන බව පේනවා. නර්තනය රැකගන්න වෙර දරන මානවීය ගුණාංගයන්ගෙන් හෙබි අහිංසක ග්‍රාමීය කලාකරුවෙක් එහෙම නැත්නම් ගුරුන්නාන්සේ කෙනෙක් තවමත් ඉතිරිව පවතින කලාව අනාගතයට උරුම කරන්න තවමත් බලා ඉන්නවා. සංස්කෘතිය විකිණීමට සැදී පැහැදී සිටින දේශපාලන හස්තයන් සමඟ ගැටෙමින් දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ සංස්කෘතික වශයෙන් ජරාජීර්ණ වූ සමාජයක තම පාරම්පරික කලාව පණ සේ රැක ගන්නට වෙර දරන ගුරුන්නාන්සේ කෙනෙක් සහ අපේ කාලයේ ගන්ධබ්බ පුතෙකුගේ ආදරණීය කතාව තමයි ශේෂ කියන්නේ.”

ශේෂ නිර්මාණයේ දී දුෂ්කරතා, ගැටලු, අභියෝගයන් ජයගත් අයුරු ඉසුරු අප හා පැවසුවේ එහි ප්‍රතිඵලය ද අතැතිවය.

“ශේෂ සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ. ඒත් මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ. මම එහේ මගේ කාස්ට් එකයි කෘ එකයි ලංකාවේ. ප්‍රධානම ගැටලුව වුණේ මම ලංකාවෙ නැති එක. ශ්‍රී ලංකාවයි ප්‍රංශයයි අතරේ කාලයේ වෙනසක් තියෙන නිසා ඔන්ලයින් සම්බන්ධතාව ගොඩනඟා ගැනීමේදීත් ගැටලුවලට මුහුණ පාන්න සිදුවුණා. ස්ක්‍රිප්ට් රීඩින්, රිහර්සල්වලදි ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. ඒ නිසා කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලුව තමයි ලොකුවටම බලපෑවේ. ඒ වගේම රූගත කරද්දි වර්ෂාවෙන් බලපෑම් ඇති වුණා. පෝස්ට් ප්‍රඩක්ෂන් එකේදිත් ඒ ගැටලු මතුවුණා. කොහොමත් අවුරුද්දක විතර කාලයක් ගියා මේ වැඩේට. හැමෝගෙම සහයෝගයෙන් අන්තිමේදී වැඩේ හොඳින් කෙරුණා.”

ශේෂ සිනමාපටයට ලස්සන නිමාවක් ගෙන දීමට දායක වුණු පිරිස ස්තුතිපූර්වකව සිහිපත් කරන්නත් ඉසුරු අමතක කළේ නැහැ.

“ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, නලින් ප්‍රදීප් උඩුවෙල, මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නවක නළු තිළිණ ද සිල්වා, යොහාන් ජේස් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගන දායකත්වය දුන්නා. නර්තන අධ්‍යක්ෂණය ප්‍රවීණ නර්තන අධ්‍යක්ෂ රවිබන්දු විද්‍යාපති සූරීන්. සංගීතය ගයාත්‍රී කේමදාස. කැමරාකරණයෙන් චින්තක බණ්ඩාර සමඟින් නිරෝෂන් කොඩිප්පිලි දායක වුණා. කලා අධ්‍යක්ෂණය ආනන්ද බණ්ඩාර. තිර පිටපත සමන්ත කුමාර ගමගේ. සම්බන්ධ වුණු බොහෝ දෙනා ප්‍රවීණයන් නිසා ඔවුන්ගේ අත්දැකීම් එක්ක වැඩේ ගොඩක් පහසු වුණා. ඒ හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. ප්‍රෞඬ ඉතිහාසයක් තියෙන අපේ සාම්ප්‍රදායික උරුමයන් රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව ශේෂ තුළින් සමාජයට යම් පණිවුඩයක් දෙන්න අපි උත්සාහ කළා. නර්තන කලාවට ආදරේ කරන එය රැකගන්න වෙර දරන ලොකු පිරිසක් තවමත් ලංකාවේ ඉන්නවා. ඒ අයටත් මෙය උපහාරයක් වේවි. ඒ වගේම අපේ රටේ සංස්කෘතික අංගයන් පිළිබඳව විදේශිකයන්ට දැනුමක්, අවබෝධයක් ලබාදීම තුළින් සංචාරක ආකර්ෂණයක් ඇති කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් මෙය ඉවහල් වේවි කියලත් හිතනවා.”

රංගන ශිල්පියෙක් වීමේ ආසාව නිසාම වේදිකාව, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් කළ ඉසුරුට එදා ප්‍රඩක්ෂන් කෙරෙහි කැමැත්තක් ඇතිවීම මෙම සම්මානයට පෙරමඟ විය. ඒ අනුව යමින් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ ඔහුට ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ප්‍රඩක්ෂන් හවුස්වල රැකියාව කිරීමේ අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාවේදී සම්මානයට පාත්‍ර වුණු ගිජුලිහිණියෝ කෙටි චිත්‍රපටය ඔහු අතින් නිර්මාණය වෙන්නේ ඒ ඔස්සේය. ඉන් ලද පන්නරය ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශය බලා ගිය ඉසුරු එහිදී ද Cercle of life සහ The Dammy නමින් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. සාම්ප්‍රදායික නර්තන කලාව පාදක කර ගනිමින් ඔහු අතින් නිමවුණු පළමු දිගු චිත්‍රපටය වූ ශේෂ පසුගියදා Cannes World Film Festival හි හොඳම නර්තන චිත්‍රපටයට සම්මානිත වීම ඔහුගේ ඉදිරි ගමනට ආශීර්වාදයක් වනු ඇත.

නාමලී ගමගේ

Back to top
Go to bottom

Popular News